[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා 91 කොටස:

දුටුගැමුණු මහ රජතුමා 91 කොටස:

අමතර බල ඇණි නොලැබුණොත් අපේ පරාජය සිකුරුයි

“අද හෙටම එහි උපතිස්ස යවාවි.”

“මම මෙහි පැමිණියේ මගේ කටයුතු සංවිධානය කොට විසිමහ යෝධයන් ඇතුළු සේනාංක අදාළ කඳවුරුවලට ඇතුළත් කොට” “අම්බතිත්ථයෙන් මොබට ගැමුණු රජුට එන්නට බැරිවේවි.”

“ළිං මැඩියෙක් වෙන්නට එපා තුණ්ඩිල.” “තිත්ථම්භ සෙනෙවියා ඝාතනය කොට, අම්බතිත්ථ බලකොටුවේ සියලුම සෙබළුන් කඩුගා දමා බලකොටුවෙහි ගිනිලා ඇති බව තොප දන්නේ නැද්ද?”

“කුමරියනි, ඔබේ සිහින ලෝකයට මට ළං වන්නට බැරි බව ඇත්ත. එහෙත් ගැමුණු බළඇණි පන්නා හැර අනුරාධපුර රාජධානිය ඔබේ පියතුමාට සුරක්ෂිත කොට දී ඉක්බිති මාත් සමඟ සොළී රටට යාමට සූදානම්ව ඉන්න.”

“තුණ්ඩිල එය තොපේ සිහිනයක් විතරයි. සිහිනයක් කෙදිනකවත් සැබෑ නොවන බව සිතට ගනුව.”

කුමරියගේ කෝප සහගත වචන හා දැඩි බව දුටු එතෙක් ඈතට වී සිටි දන්තීත් පුණ්ණාත් වහා එතැනට පැමිණියහ. ඔවුන් දෙස කෝපයෙන් බැලූ තුණ්ඩිල යන්නට සූදානම් වුණා පමණකි.

ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවන සිරිනාග මහසෙනෙවි දුටු ඔහු මදකට නතර විය. තුණ්ඩිල ගැන වැඩි සැලකිල්ලක් නොදැක් වූ සිරිනාග කුමරියට ආචාර කළේ ය. දන්තීත් පුණ්ණාත් දෙස බලා සිනාහවකින් සංග්‍රහ කළේ ය.

“කුමරිය රජතුමාගේ පණිවුඩයක් දොරමඬලාවට ලැබුණා. වහාම පැමිණෙන ලෙස දන්වා තිබුණා.”

“කවදා?”

“අද දවල්” “අද සියලුම සෙනෙවිවරු යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා තිබුණා. තුණ්ඩිල තොප ඒ බව දන්නවාද?”

“නැහැ. වට කැඳවීමක් කෙරෙන එකක් නැහැ. තවමත් මගේ රාජකාරිය මහවැලි ගං තීරයේ නිසා.”

“අපූරුයි තොප තොපගේ වගකීම් ඉටුකරන විලාසය. එහෙන් තොටමුණු ගිනි ගන්නවා. තොප මෙහි පෙම් කෙළිනවා.

කුමරියගේ මුහුණේ ඇති වූ වෙනසත්, කෝප සහගත බැල්මත් දුටු සිරිනාග පශ්චාත්තාප විය.

“සමාවෙන්න කුමරිය”

“පෙම්කෙළිනවා නොවෙයි.”

“ පෙම අයැදිනවා. නමුත් කෙදිනකවත් ඔහුගේ සිතැගි ඉටුවෙන්නේ නැහැ. ඔහු මෝඩයෙක්. තිත්ථම්භ සෙනෙවියා ඝාතනය කළ බවත්, සත්බෑ කෝට්ටේ බිඳ ලූ බවත්, සියලුම කඳවුරු වටලා ගිනි තැබීමට සූදානම් බවත් මම මොහුට කීවා. ඒ මගේ, සිහිනයක් යැයි මොහු කියනවා.”

සිරිනාග පුදුමයට පත්විය. විමතියෙන් ඇය දෙස මොහොතක් බලා සිටියේ ය.

“කුමරිය මේ සිදුවූ සියල්ල ඔබ දන්නේ කෙසේද?”

“තමන්ගේ රටටත් ජාතියටත් ආදරය ඇති කවුරුන් වුවත් විවෘත ඇස් කන් ඇතිව සිටිනවා නම් හොයා ගන්නට බැරි මොනවාද?

“මොහොතක් නොරැඳුණු තුණ්ඩිල තමාගේ අශ්වයා ගෙන්වා ගෙන වහා පිටත් විය. එහෙත් තමන් යා යුත්තේ කොතැනට දැයි ඔහුට අරමුණක් නොවීය.

සිරිනාග රජකුමරියගේ ඉල්ලීම අනුව රජතුමා බැහැ දකිනු පිණිස ඉහළ මාලයට නැඟුණේ ය. රජතුමා යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට යාමට සූදානම්ව සිටියේ ය.

“යමු සිරිනාග, එනතෙක් බලාගෙන සිටියේ, අපි යන ගමන් කතා කරමු.” “සිරිනාගගෙන් දැනගන්නා තොරතුරු මට යුද්ධ මණ්ඩල රැස්වීම සඳහා ප්‍රයෝජනවත් වේවි.”

“දියණිය, අප නොදන්නා බොහෝ දේ සිදු වී ඇති බව පෙනේ. බැහැර නොගොස් මාලිගයේම රැඳෙන්න”. එසේ කී රජතුමා අත්හළයා විසින් ගෙනෙන ලද පර්වත ඇතු පිට නැඟී පිටත් විය. සිරිනාග සිය අසු පිටට නැගී රජුට එක්වනු ඇය බලා සිටියා ය.

මහවැලි ගං තීරයේ බලකොටු හා කඳවුරුවල විනාශය එළාර රජතුමාට දැනගන්නට ඉඩ නොතැබීම දීඝජන්තුගේ අදහස විය. විශාල බල සේනාවක් යොදවා රුහුණු සේනා මහවැලි නදියෙන් මෙතෙරට ඒම වැළැක්වීම ඔහුගේ අදහස විය. සිරිනාගගෙන්, විසිමහ යෝධයන්ගේ සහ එම සේනාංකවල විනාශය දැනගත් රජතුමා කෝපයටද බයට ද පත්විය.”

“මේ විනාශය රාජ සභාවට හෝ මහ සෙනෙවි මණ්ඩලයට වාර්තා නොකළේ ඇයි?”

රජතුමා වේගයෙන් ඇසුවේ දීඝජන්තු මහ සෙනෙවිගෙනි. ඔහු පිළිතුරක් නැතිව බලා සිටියේ ය.

“මරජතුමනි, ඒ තොටමුණුවල බලකොටු විනාශය ගැන තුණ්ඩිල දන්නේ නැහැ. “තොප ඒ බව දන්නේ කෙසේද?”

“මහ රජතුමනි, ඔහු මට රාජාංගනයේ දී හමුවුණා.

“මහසෙනෙවි ඔහු මෙහි පැමිණියේ කවදාද? නොදනිමි මහ රජතුමනි.”

“සිරිනාග තොපට ඔහු හමුවූයේ කොයි වෙලේද?”

“ දැනට හෝරා දෙකකට පමණ පෙරදියි. විජිතපුර බලකොටුවේ මහසෙන්පති ලෙස ඔහු පත්කොට ඇති හෙයින් එහි යන ගමන් රාජ මාලිගයට පැමිණි බව කීවා. ”කෝපයට පත් රජතුමා කිසිවක් නොකීය.

රජු දීඝාභය දෙස බැලුවේ ය.

උපතිස්ස යුද්ධ මණ්ඩල රැස්වීමට පැමිණ නැත. පසුගිය යුද්ධ මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ කිසිවක් වෙනස් කිරීමට කැමැත්තක් මගේ නැහැ. එහි වගකීම් සියල්ල ඒ තීරණ ගත් අය දරන්නට ඕනෑ. සිදුවී ඇති විපතත්, පරාජයත් ගැන වගකියන්නේ කවුද?

"දුටුගැමුණු රජුගේ බල සේනා දවසින් දවස වර්ධනය වෙනවා. අපේ බලය දවසින් දවස අඩුවෙනවා. දුටුගැමුණු කසාතොටින් මෙතෙරට පැන්නොත් අපිට සොළී දේශයට යා ගන්නටත් ඉඩක් ලැබෙන එකක් නැහැ. අපි ඉල්ලා ඇති සේනාංක අපට අද හෙට නො ලැබුණොත් අපේ පරාජය සිකුරුයි."

" මහරජතුමනි කසාතොට බලසේනා තරකිරීම වෙනුවට විජිතපුර බලකොටුවෙහි ආරක්ෂා තර කිරීම රාජ්‍ය නගරයේ ආරක්ෂාවට වඩාත් වැදගත් බව මගේ හැඟීමයි."

“තොප කියන්නේ රුහුණු සේනාවට මේ රාජධානියට, ඇතුල්වීමට ඉඩදිය යුතුයි කියාද? රජු පුදුමයෙන් ඇසීය.”

“නැහැ රජතුමනි, කසාතොට අපට රැකවල් කළ හැකියි. ඔවුන් වඩමන් තොටින් හෝ දමුන්නරුවෙත් මෙතෙරට පනීවි. එය අපට වළක්වනන්නට බැහැ.” සිරිනාග කීය.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]