[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

උඩරට අමරපුර මහා නිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමි

උඩරට අමරපුර මහා නිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ

දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමි

පන්නිපිටිය - දෙපානම සිරි දම්මින්ද විහාරය, හපුතලේ යහලබැද්ද බෝධිරාජාරාමය සහ බෝඹුහින්න අභිනවාරාමය යන විහාරත්‍රයාධිපති දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන් වෙත වසර දෙසීය දහයක ඉතිහාසයකට උරුමකම් කියන උඩරට අමරපුර මහා නිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධූරය සමඟින් “ශ්‍රී සුමනවංශ ධම්මින්ද වංශාලංකාර, ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝභන ” ගෞරව නාමය පිරිනැමීම නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව ඉදිරියේ දී පසුගියදා සිදුකෙරිණ.

බණ්ඩාරවෙල නගරයට ආසන්න දකුණු කැබිල්ලේවෙල ග්‍රාමයේ දී 1966 වසරේ මැයි මස 05 වැනිදා උපත ලැබූ පින්වත් කුමරා නමින් නන්දදාස නම් විය. මූලික අධ්‍යාපනය බණ්ඩාරවෙල සීවලී මහා විදුහලෙන් ලබා 8 වන ශ්‍රේණියේ දී පැවිදිවීමේ අරමුණින් බණ්ඩාරවෙල දකුණු කැබිල්ලේවෙල ශ්‍රී සුධර්මෝදය පිරිවෙනට ඇතුළත් වෙන ලදී. 1980 වසරේ මාර්තු මස 19 වන දින රාජකීය පණ්ඩිත කන්දෙගෙදර සුමනවංශ නාහිමිපාණන්ගේ ශිෂ්‍යභාවයෙන් දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක නමින් ප්‍රවෘජා භූමියට ඇතුළත් වූ උන්වහන්සේ 1987 වසරේ ජුනි මස 27 වෙනි දින ඵෙතිහාසික කැප්පෙටිපොල - විදුරුපොල ශ්‍රී සුමංගලාරාම මහා විහාරස්ථ විශුද්ධ බද්ධ සීමාමාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගන්නා ලදී.

දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන්ගේ ශාසනික මෙහෙවර ඇරඹෙන්නේ හපුතලේ යහලබැද්ද බෝධිරාජාරාමය කේන්ද්‍ර කර ගනිමිනි.1992 දී වසරේ දායක කාරකාදීන් එකමුතු කර ගනිමින් ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා බෞද්ධාගමික කටයුතු මෙන්ම සමාජ සේවා කටයුතු ද ආරම්භ කළ උන්වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනයට මඟ පෙන්වන ශ්‍රී ධම්මානන්ද මූලික පිරිවෙන පිහිටුවීම 1993 ජුනි මස දෙවෙනිදා සිදු කරන ලදී. එතැන් පටන් බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනය උදෙසා බොහෝ නිහඬ සේවාවක් ඉටුකළ උන්වහන්සේ දිවයිනේ නන් දෙසින් පැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වෙත ධම්මානන්ද මූලික පිරිවෙන හරහා දැනුම ලබා දෙන ලදී.

2003 වසරේදී හොරදොරොව්වේ ධම්මින්ද නාහිමියන්ගේ හදිසි අපවත් වීමෙන් පසු දෙපානම සිරි ධම්මින්ද විහාරය, බෝඹුහින්න අභිනවාරාමය සහ යහලබැද්ද බෝධිරාජාරාමය යන විහාරස්ථානයන්හි අධිපතිධූරයන් ලැබූ උන්වහන්සේගේ අල්පේච්ඡ ජීවිතයට හොඳම උදාහරණය වශයෙන් එම විහාරස්ථානවල පාලන කටයුතු හා අධිපතීත්වයන් තම ශිෂ්‍යයන් වෙත පවරාදීම දැක්විය හැකිවේ.

දශක තුනක කුරිරු ත්‍රස්තවාදී යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ජනතාව වෙත සහ රට ජාතිය වෙනුවෙන් දහඩිය - ශ්‍රමය මෙන්ම තම ජීවිතය ද කැප කළ වීරෝධාර රණවිරුවන් වෙත නොයෙක් ආකාරයේ ව්‍යාපෘතීන් හරහා සේවය ලබා දෙන්නට උන් වහන්සේ නායකත්වය ලබා දෙන ලදී.

2009 වසරේදී වසර 30 කට පසුව ත්‍රිකුණාමලය දිසාපතිතුමන්ගේ මූලිකත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ත්‍රිකුණාමල දිසාපති මැදුරේදී සංවිධාන කළ උන්වහන්සේ එදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් අඩුපාඩු සහිතව වැඩ වාසය කළ මහා සංඝරත්නය 140 නමක් වැඩම කරවා උන්වහන්සේ වෙත අවැසි සියලු පිරිකර පූජාකර මහා පින්කමක් සංවිධාන කිරීම විශේෂයෙන් අගය කළ යුතුව තිබේ.

ඉන් අනතුරුව රුධිර පරිත්‍යාග කිරීම්, වෛද්‍ය කඳවුරු ඇතුළු වැඩසටහන් රැසක් සංවිධාන කරන්නට මූලිකත්වය ගත්හ. සෑම වසරක දී ම තම ගුරු හාමුදුරුවන්ගේ අනුස්මරණය වෙනුවෙන් දිවයිනේ දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක්, පාසලක් හා ගම්මානයක් තෝරා ගනිමින් ඔවුන් වෙත උපරිමයෙන් උදව් උපකාර කිරීම නන්දාලෝක හිමියන් විසින් දියත් කරනු ලබන තවත් විශේෂ වැඩසටහනකි.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාතුගල වව්නියාව දිස්ත්‍රික්කයේ ඈත එපිට නන්දිමිත්‍ර ගම්මානය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පාසල් දරුවන් , මහා සංඝරත්නය හා ගැබිණි මාතාවන් වෙනුවෙන් වියළි ආහාර පාන, සනීපාරක්ෂක උපකරණ, ඇඳුම්, පාසල් උපකරණ, පොත්පත් හා පාසල් නිල ඇඳුම් ප්‍රදානය කිරීමේ දැවැන්ත වැඩසටහන් වාර්ෂිකව සංවිධාන කළ උන්වහන්සේ එම ගම්මානවල විහාරස්ථාන සියල්ලටම පාහේ ගිරිභාණ්ඩ පූජාවන් ද සිදුකරන ලදී.

කොරෝනා ව්‍යසනය හමුවේ ජිවත්වීමේ අරගලයක යෙදුණු ප්‍රදේශයේ දායක පින්වතුන් වෙනුවෙන් තමන්ට ලැබෙන පිරිකර සියල්ල සහ වියළි ආහාර එක්රැස් කර බෙදාදීමේ නිහඬ සේවාවක් උන්වහන්සේ වසර දෙකක කාලයක් මුළුල්ලේ සිදු කළේ අප්‍රසිද්ධියේ වීම විශේෂත්වයකි. උපසම්පදාවෙන් පසු ගෙවී ගිය දශක තුන හමාරක තම පැවිදි ජීවිතයේ දී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හතළිස් දෙනෙකුගේ ගුරු හාමුදුරුවන් ලෙස උන්වහන්සේ සිදු කරමින් සිටින්නා වූ ශාසනික මෙහෙවර මෙතෙකැයි කිව නොහැකි ය.

මෙවැනි සුවිශේෂී ගුණයන් රැසක් සහිත දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන්ගේ ආගමික- ශාසනික හා සමාජීය සේවාවන්, පරිත්‍යාගශීලීත්වය මෙන්ම නායකත්ව ගුණාංග හඳුනාගනිමින් මීට වසර හතරකට පෙරාතුව උඩරට අමරපුර මහා නිකායේ විනයවාදිනී කාරක සංඝ සභාවට උන්වහන්සේ තෝරා ගත් අතර, එම නිකායේ බස්නාහිර පළාත් උපප්‍රධාන සංඝනායක ධූරයට උන්වහන්සේ පත් කිරීමත් “ශ්‍රී සුමනවංශ ධම්මින්ද වංශාලංකාර, විචිත්‍ර භාණක, ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝභන” ගෞරව නාමය පිරිනැමීමත් පසුගිය දෙසැම්බර් මස 25 වැනි දින ඵෙතිහාසික කැප්පෙටිපොල - විදුරුපොල විශුද්ධ බද්ධ සීමාමාලකයේදී සිදු කෙරිණ. උන්වහන්සේ පිළිගැනීමේ උළෙල ජනවාරි 08 වෙනිදා අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටියේ දී සිදු කෙරේ.

සිය ජිවිතයම බුදු සසුනේ චිරස්ථිතිය සඳහා කැපකළ පූජ්‍ය දකුණු කැබිල්ලේවෙල නන්දාලෝක හිමිපාණන්ට තවදුරටත් සසුන් කෙත බබළවන්නට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]