[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තනතුර අනතුරක් කර නොගන්නට නම් ත්‍රිකුණාමලය ජයසුමනාරාමාධිපති

තනතුර අනතුරක් කර නොගන්නට නම්

එකිනෙකාගේ දක්ෂතාව හා කැමැත්ත මත විවිධ වෘත්තීන්හි නිරතවීම මෙලොව උපන් බොහෝ දෙනාට අයත් අනිවාර්ය වූ කාර්යයකි.

එම වෘත්තිකයාගේ ජීවනෝපාය වන්නේ ද අන් කිසිවක් නොව එම වෘත්තියයි. තවද එම වෘත්තියෙන් වෘත්තිකයා පමණක් නොව සිය පවුල් සංස්ථාව ම යැපෙමින් පෝෂණය වේ.

එලෙස මිනිසා රකින, පෝෂණය කරන වෘත්තීන් අනේකාකාරයෙන් විවිධ වන අතර සමාජයේ ඇතැම් වෘත්තීන් උසස් හා පහත් වශයෙන් බෙදා සලකන බව දක්නට ලැබේ. එහෙත් ශාන්තිනායක බුදුපියාණන් වහන්සේට අනුව වෘත්තීය විවිධත්වය පිළිගැනෙන මුත් ඒවාහි උසස් හෝ පහත් භේදයක් නැත.

තවද යමක විවිධත්වය එහි උසස් හෝ පහත් බව සැලකීමේ නිර්ණායක් ද නොවේ. එසේම විවිධ වෘත්තීන් මගින් සිදුවන සියලු කාර්යයන් මානව සංහතියේ උන්නතියටත්, සුභසිද්ධියටත් ඉවහල් වන බව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයයි.

කෙසේ වෙතත් ඇතැම් වෘත්තිකයන් තම වෘත්තියෙන් ලද තනතුරු තාන්න මාන්න පිළිබඳ උඩඟුවෙන් හා අහංකාරයෙන් පෙළෙනු දක්නට ලැබේ. එලෙස තනතුරෙන් උඩඟු වූවෝ තම තනතුරු ශක්තිය හා බලය අනෙකා පෙළීමටත්, පීඩනයට ලක්කිරීමටත්, පළිගැනීමටත් යොදාගනිති. එවැනි ක්‍රියා උසස් මානව ගුණ ධර්මයන්ගෙන් හෙබි සත්පුරුෂ සමාජයේ පැසසුමට ලක් නොවන අතර, එලෙසින් තනතුරු බලයෙන් අනිකා පෙළීම අඥාන අමනෝඥ අඳ බාල අසත්පුරුෂයන්ගේ පාපි මුග්ධ ස්වභාවයකි.

මොනම දහමකවත් එය අනුමත නොකරන ඉතා පහත් හා නීච ක්‍රියාවක් ලෙස සැලකේ. එනිසා විවිධ වෘත්තීන්හි යෙදෙන්නන් තනතුරු මාන්නය හා උඩඟු බව මුලිනුපුටා දමා නිහතමානීව තම වෘත්තියේ තනතුරෙන් අනිකාට උපරිමයෙන් සේවය කිරීම බෙහෙවින් යහපත් ය.

ඊට හේතුව නම් ‘සබ්බං පහාය ගමනීයං’ ‘සියල්ල අත්හැර යා යුතු ය’ යන බුද්ධ භාෂිතය දක්වන පරිදි සත්‍ය වශයෙන් ම රැගෙන යන දෙයක් ඇත්තේ ම නැත. එනිසා සදාකාලික වූ කිසිවක් ද මෙලොව ඇත්තේම නැත. අපට හිමි සියල්ලට උරුම වූයේ අහිමිවීම පමණි. එසේ නම් වෘත්තියෙන් ලද තනතුරු තාන්න මාන්න සැමදා පවතින්නේ කෙසේද? එනිසා ඒ ලද තනතුරෙන් අනෙකාගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියා කළ යුතු ය. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බව බුදු දහම බෝහෝ තැන්හි පෙන්වා දී තිබේ. පින්වත් ඔබට ඒ තනතුරු තාන්න මාන්න ලැබී ඇත්තේ ඒ සඳහා ය. එනිසා අනෙකා වෙනුවෙන් උපරිමයෙන් සේවය කරන්න. එවිට ඔබ කරන වෘත්තිය සැබැවින් ම සාර්ථක වේ. එයයි තෘප්තිමත් වෘත්තියේ සැබෑ සාර්ථකත්වය.

එලෙස වෘත්තිය සාර්ථක වූ පමණින් ජීවිතය සාර්ථක වන්නේ නැත. සාර්ථක ජීවිතයකට වෘත්තිය ඉවහල් වන බව සැබෑ ය. ඊට හේතුව නම් ජීවිතය යනු වෘත්තිය පමණක් ම නොවන නිසා ය.

මානව සමාජයේ සාමාජිකයකු ලෙස අපි සියලු දෙනාට උපතේ දී ම උරුම වූ අනේක විධ භූමිකා රැසක් ලැබී තිබේ. එම භූමිකා අපේ ජීවිතය හා නිරන්තරයෙන් බැඳී පවතින අතර, ජීවිතය සාර්ථක වීමට නම් ඒ භූමිකාවන්හි වගකීම හා යුතුකම අනිවාර්යයෙන් ම ඉටු කළ යුතු ය.

වෘත්තියෙන් ලද තනතුර අනුව ඔබ කිසියම් ආයතනයක අධ්‍යක්ෂකවරයෙක් හෝ අධ්‍යක්‍ෂවරියක් වියහැක. එහෙත් ඔබේ දෙමාපියන් ඉදිරියේ ඔබ ඔවුන්ගේ දරුවා ය. ඒ ඔබේ දරු භූමිකාවයි. එහි කෙතරම් වගකීම් හා යුතුකම් පින්වත් ඔබට තිබේද?

වෘත්තිය නිසා හෝ නොසැලකිල්ල නිසා හෝ දරු භූමිකාවේ යුතුකම් හා වගකීම් පැහැර හැරිය නොහැක. පැහැර හරින්නේ නම්, දරු භූමිකාව අසාර්ථක ය. එවන් තැනැත්තන්ගේ ජීවිතය සාර්ථක වේ ද?

එලෙසින් සහෝදර සහෝදරි භූමිකාව, ස්වාමි භාර්යා භූමිකාව, දෙමාපිය භූමිකාව වශයෙන් භූමිකා රාශියකි. මේ හැම භූමිකාවකට ම යුතුකම් හා වගකීම් ද රාශියකි. ඒ වගකීම් හා යුතුකම් ඉටුනොකරන්නේ නම් ජිවිතයේ බොහෝ තැන් අසාර්ථක වූ හිස් පුද්ලයෙක් වනු ඇත.

මේ භූමිකාවන් අතර ඤාති භූමිකාව, අසල්වැසි භූමිකාව හා රටවැසි භුමිකාව ආදිය ද අතිශයින් වැදගත් වේ. ඤාති හා අසල්වැසි භූමිකාවන්හි ද අනේක විධ යුතුකම් හා වගකීම් පවතින අතර, සත්පුරුෂ යහපත් මානවයා තම ඤාතීන් හා අසල්වැසියන් වෙනුවෙන් තම භූමිකාව තුළ පැවරී ඇති යුතුකම් සපුරා ඉටුකරන්නේ ය.

එසේම තමා උපන් දේශයේ උන්නතිය වෙනුවෙන් ද ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් රැසක් රටවැසි භූමිකාවේ අන්තර්ගත වේ. මේ සියලු භූමිකා සාර්ථක වූ කල්හි ජීවිතය සාර්ථක වේ. නිහතමානීව අනෙකාට සේවය කිරීමෙන් වෘත්තියේ සාර්ථකත්වයත්, භූමිකාවන්හි යුතුකම් හා වගකීම් ඉටුකිරීමෙන් ජීවිතයේ සාර්ථකත්වත් සැලසේ.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]