[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තමන්ගේ මතයට නොව නිවැරැදි මතයට ඉඩදෙන්න

තමන්ගේ මතයට නොව නිවැරැදි මතයට ඉඩදෙන්න

වසරක් ගෙවී නව වසරක උදාව සිදුව පවතී. ගිය වර්ෂය තුළ අප බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නෙමු. ආර්ථික අභියෝග මැදින් ගලා ආ ප්‍රශ්න සමාජයීය හා දේශපාලනික අර්බුද දක්වා ගමන් කළ ආකාරය අප දුටුවෙමු.

එම අභියෝග මැදින් වසරක් ගෙවී නව වසරකට අප පා තබා ඇත්තෙමු. නව වසරක ආරම්භය අලුත් අත්දැකීම් සමූහයකට මඟ පාදන අතර, ජීවිතයේ නව බලාපොරොත්තු ඇති කර ගැනීමටත්, ඒවා සඵල කර ගැනීමටත් අධිෂ්ඨාන කර ගැනීමටත් අවස්ථාව සලසයි.

අද අප වෙනදා මුහුණ දුන් අභියෝගයන්ට වාගේම ඊටත් වඩා සංකීර්ණ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින්නෙමු.

විශේෂයෙන් මුළු මහත් සමාජය ම වෙළාගෙන සිටින මත් උවදුර අපේ අනාගත පරම්පරාව විනාශ මුඛයට ඇද දමන ආකාරය ඛේදනීය ය. එය තරුණ පරම්පරාව පමණක් නොව පාසල් දරුවන් පවා ගොදුරු කරගෙන තිබීම භයානක සමාජ පරිහානියක ලක්ෂණයකි. මත්ද්‍රව්‍ය එම ස්වරූපයෙන් ම නොව ටොෆි, චොකලට් වශයෙන් ද පාසල් තුළට ඇතුල්වීම විනාශකාරී සමාජයක් නිර්මාණය වීමේ අසුබ පෙර නිමිත්තකි.

පසුගිය වර්ෂයේ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අත්අඩංගුවට පත් සංඛ්‍යාව අනූදහසකට අධික බව වාර්තා වේ. නීතියේ රැහැනට හසු වූ ප්‍රමාණය එතෙක් වුවත් සත්‍ය වශයෙන් හසු නොවූ ප්‍රමාණය කොතෙක්’දැයි කිව නොහැකි ය. එබැවින් මේ තත්ත්වය මනාව වටහාගෙන විශේෂයෙන් තරුණ හා බාල පරම්පරාව මතින් නිදහස් කර ගැනීමට අවශ්‍ය විධි විධාන ගත යුතු ය.

එමෙන්ම මවුපියන් ඇතුළු වැඩිහිටියන්ගේ අවධානයත්, පාසල්වල දී ගුරුවරුන්ගේ අවධානයත් දැඩි ලෙස යොමු විය යුතු ය. එසේම දරුවන් සමාජයට වැඩි වශයෙන් නිරාවරණය වන තැන් පිළිබඳ හා ඔවුන් ඇසුරු කරන්නන් පිළිබඳ මවුපියන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ය.

එමෙන්ම සමඟි සම්පන්නවීම ද රටේ යහ පැවැත්මට ප්‍රමුඛ හේතුවකි. ජාති වශයෙන්, ආගම් වශයෙන් හා කුල මල වශයෙන් බෙදී ජීවත් වන තාක් අප රට ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි ය.

සමගිය ඇති කර ගත යුත්තේ පළමුව සිය පවුල තුළින් ම ය. එකිනෙකාට ගෞරව කිරීමත්, එකිනෙකාගේ අදහස්වලට ඇහුම්කන් දීමත් සමගි සම්පන්න බව වර්ධනය වීමට හේතු වේ. අන්‍ය මතයට ගරු නොකරන තාක් සාමකාමී පරිසරයක් ගොඩනොනැඟෙනු ඇත.

එබැවින් සැමියා, බිරිඳ අතරත්, මවුපිය දූදරුවන් අතරත්, ගුරු ශිෂ්‍යයන් අතරත්, පාලක පාලිතයන් අතරත්, ගිහි පැවිද්දන් අතරත්, සමගි සම්පන්න බව වර්ධනය කර ගැනීමට කටයුතු කිරීමෙන් යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව නිර්මාණය වනු ඇත.

ස්වයං හික්මීමක් ඇති කර ගැනීම ද අතිශය වැදගත් කරුණකි. අප හැමවිටම පැන නඟින ප්‍රශ්නවල දී ඇඟිල්ල දිගු කරන්නේ වෙනත් පාර්ශ්වයකට ය. තමන්ගේ අතින් සිදුවූ හෝ සිදු වන අඩුපාඩු දෙස බලන්නේ කලාතුරකිනි. සෑම විටම ආත්ම ප්‍රත්‍යවෙක්ෂණයක නිරතවීම ජීවිතය නිවැරැදි මාවතට යොමු කර ගැනීමට ඉවහල් වේ.

එමෙන්ම තමන් කවුදැයි හඳුනාගෙන කටයුතු කිරීමත් සාර්ථක දිවියකට මඟ පාදයි. අඥානයා තමන් අඥාන බව දන්නේ නම්, එය ඥානවන්තභවේ ලක්ෂණයක් බව බුද්ධ දේශනයයි. එහෙත් අඥානයා තමන් ඥානවන්ත යැයි සිතන්නේ නම්, එය අඥානභවේ ලක්ෂණයක් බව වටහා ගත යුතු ය.

තමාගේ තත්වය හා ප්‍රමාණය හඳුනාගෙන කටයුතු කිරීම වැදගත් ය. එවිට තමන්ගේ අඩුපාඩු නිවැරැදි කර ගැනීමට අවස්ථාව සැලසෙයි.

අද ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම පවතින අඩුපාඩුවක් ලෙස වැඩිහිටි උපදේශයන්ට සවන් නොදීම සඳහන් කළ යුතු ය. තම මතයම නිවැරැදි යැයි සිතන තරුණ පරම්පරාව නොදැනම ගමන් කරන්නේ විශාල පරිහානියකට බව ඔවුහු නොදනිති.

අතිගරු මහා නායක මාහිමියන් වහන්සේ ඇතුළු වැඩිහිටි මහා යතිවරයන් වහන්සේ පවා විවේචනය කරමින් සමහර භික්ෂූන් වහන්සේ පවා ගමන් කරන අලුත් මාවත විශාල පරිහානිකර සමාජයකට අතවනන බව අප තරයේ සිහි තබා ගත යුතු ය. ප්‍රශ්න දෙස එකිනෙකා බලන ආකාරය වෙනස් ය. තරුණ ප්‍රජාව තම කායික ජවය හා මානසික ආවේගයන් තුළින් ප්‍රශ්න දෙස බලන ආකාරයට වැඩිහිටියන්ට එම ප්‍රශ්න දෙස බැලිය නොහැකි ය. වැඩිහිටි මහා යතිවරයන් වහන්සේ ප්‍රශ්න දෙස බලන්නේ ඊටත් වඩා උපේක්ෂා සහගතව ය. එහෙයින් තම මතය අන්‍යයන්ගේ ද මතය විය යුතු ය.

ඉවසීම, අන්‍ය මතයන්ට සවන් දීම, එකිනෙකාට ගෞරව දැක්වීම, තම අඩුපාඩු කවුරුන් හෝ විසින් පෙන්වාදීමේ දී මෙත් සිතින් එම උපදෙස් පිළිගැනීම තුළින් සන්තෘෂ්ටිදායක සමාජයක් සකස් කර ගැනීමටත්, සන්තෘෂ්ටිදායක මානසික තත්ත්වයක් නිර්මාණය කර ගැනීමටත් හැකි බව සිතට ගත යුතු ය.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]