සංස්කරණය
-
දීපා පෙරේරා
දම් සිසිලෙන් ...
දම් සිසිලෙන් මගේ සිතේ මල් පිබිදෙන වා
ඒ මල්වල පෙති අමුණා ගී මුමුණන වා
ජය ශ්‍රී මහ බෝසමිඳුන් වෙත පැමිණෙන වා
බෝ සමිඳුට පූජාකර නිවන් පතන වා
අර පැත්තේ අහස දෙසින් කොත දිලිසෙනවා
ගැමුණු රජුගෙ විස්කම් ගැන පුදුම හිතෙනවා
සාධු සාධු රන්මැලි සෑ රදුන් වඳින වා
බුදු සමිඳුගෙ ධාතු නමැද නිවන් පතන වා
කේ.එම්.ඩී.සමිරු තමුදිත
නුංගමුව, පල්ලෙවෙල
සඳගිරි මහ සෑ රදුන් වහන්සේ
හන්තානේ කදු වළලු සිසාරා සීත සුළං රැළි විහිදෙනවා
අරුණළු උදයේ මිහිදුම් සේලය ඇදී ඇදීි ඈතට යනවා
ඒ අතරින් රන් හිරු රැස් වැටිලා මුළු පරිසරය ම හැඩ වෙනවා
සඳගිරි මහා සෑ රදුන් වහන්සේ මුතු අහුරක් සේ දිදුලනවා
මාවනැල්ලේ එස්.ආර්.එම්.ජයසේකර
අංවාරම , මාවනැල්ල
පෙම්ගීය
අඬමින් වැළපෙමින් දුක්වෙන සත අතරේ
අකම්පිත සිතක් වඩවා ගනු මිතුරේ
රැස්කරමින් දුවන නොපෙනෙන සංසාරේ
අවසන් තිත තබව් වීරිය ගෙන සොයුරේ
ඔළුවෙහි කෙස් අඩුය බණ ඇසුවා වැඩි ය
එනමුත් මතකයේ නැත දහමෙහි හරය
සරුකර ගැනීමට දහමෙන් සිය දිවිය
සතිමත් සිතක් වැඩුමට ගනු මැන දිරිය
ලාබ අලාබො අයසෝ යන දහම
හමුවේ සැළෙන සිත විඳවනවා දුකම
දුකමත පිහිටි ලෝකය හමුවේ සැවොම
පෙම් ගී ගයයි මරු කැන්දන් යන තුරුම
බිබිලේ ධම්මසිරි හිමි
කජුවත්ත සේනාසනය
දෙහිඅත්තකණ්ඩිය
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
බුදුරදුන්ගෙ පිරිනිවනින් තෙමසක් ගිය තැන දී
අනුබුදු කස්සප මුනිඳුගෙ අනුශාසන පරිදී
ශාක්‍ය මුනි බුදුරජුන්ගෙ ධර්මය නිසි පරිදී
රැස් කොට රක්ෂා කළාලු අනුබුදු නිසි තැන දී
වසර සියක් විස්සක් ආයුෂ වළඳා සොඳිනේ
සූ විසි දෙකකුත් අනුබුදු පදවිය දැරු ලෙසිනේ
සසර ගමන කෙළවර කොට අනුබුදු ලෙස සොඳිනේ
නිවන් පුරට සැපත් වුණා උත්තමයකු ලෙසිනේ
කේ. ආදිත්‍ය ප්‍රභාශ්වර ද සිල්වා
අම්බලන්ගොඩ
සැහැල්ලු සිත
සියලු සම්පත් අතහැර
පැවිදි වෙස් ගත් ඒ හිමියෝ
ගුරු හාමුදුරුවන්ගෙන් සමුගෙන
මහ වනයට වැඩියහ
සිත සැහැල්ලු ය ගත සැහැල්ලු ය
රකින්නට කිසිවක් නැත
සොබා දම් දිනිතිය තෙරණුවන්ට
ආශීර්වාද කළා ය
පිරිසුදු වාතය පැන් වනපල සෙවණ
දුන්නා ය
රුදුරු වනසතුන් ද හිමි දැක ආදරය කරුණාව
උපදවා ගත්හ
වන සෙනසුන වෙස්වළාගත් රැකවරණයක් විය
නිහඬව බවුන් වඩන ඒ තෙරණුවෝ
සදහම් අවබෝධ කර ගනිමින් වැඩ සිටියහ
චන්ද්‍රා සිරිසීලි වික්‍රමාරච්චි
නැදුන්ගමුව
සැනසීම
සමිඳුන් දෙසුව බණ ඇසුණා දෙසවනට
ගිහිගෙය බිය කරුයි හැඟුණා පොඩි සිතට
නිෂ්ඵල නිමක් නැති සසරේ බව දුකට
එනිසයි මඟ සොයන් ආවේ කහවතට
බෝපත් සිසිල හැමවිට මොනවද කීවා
ලොකු හිමි හිත හදා හොඳ බුදු බණ කීවා
එහෙ මෙහෙ දුවන සිත නිති සුවපත් වුවා
සැනසුම මෙයයි නිවනට නිසි මඟ කීවා
පෝදා පන්සලම එළියයි පින්පාටයි
සිල් ඇත්තන් පිරී හැම තැන සුදුපාටයි
වෙහෙරෙත් විහාරෙත් නිති දම් හඬ පැතිරෙයි
සාධුකාර හඬ එන විට සිත තුටුවෙයි
ආවත් විටෙක ගැරහුම් සහ දුක් ගැහැට
හැමවිට හිත හදන් හිටියේ පෙර පිනට
බුදු හිමි දෙසූ දහමට සිත යොමන විට
කිසිවිට දුකක් නැහැ සැනසීමයි සිතට
ඉංගිරියේ සීලරතන හිමි
හපුදණ්ඩාව
නව අරහාදී ගුණකඳ අබියස
හිමිගේ දහමින්
හද පුරවාගන
මහ මළුවේ
අපි සිල් ගත්තා
සියලු සත්වයෝ
නිදුක් වෙන්නැයි
දෙනෙත පියාගෙන
මෙත් වැඩුවා
හිත කළඹාගෙන
ආව කෙලෙස් රැලි
ඈතට පා කර
බුදු මහිමය
සිහියට නැඟුවා
නව අරහාදී ගුණකඳ
අබියස හිස නැමුවා
මාස්පොත ධම්මජෝති හිමි
මීරිගම
සිල් මාතාවක් වෙන්න
බුදු හිමි දෙසූ දම්පද සිහියට ගන්න
මගේ මුවග බුදු ගුණ දම් රැව් දෙන්න
භවයේ ඇති දුක අනියත බව සිතන්න
ආසයි මටත් සිල් මාතාවක් වෙන්න
එල්. මල්ලිකා ජයසිංහ
පාණදුර |