[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැක සංකා නැති ජීවිතයකට සීලය

සැක සංකා නැති ජීවිතයකට සීලය

සීල විපත්තියට පත් දුස්සීලයා ක්ෂත්‍රිය පිරිසකට වේවා, ශ්‍රමණ පිරිසකට වේවා යම් පිරිසක් වෙත එළඹේ නම්, බිය සහිත වූයේ, සැක සහිත වූයේ ම වෙයි. සීල විපත්තියට පත් දුස්සීලයා සිහි මුළා වී කළුරිය කරයි. සීල විපත්තියට පත් දුස්සීලයා මරණින් මතු අපාය වූ, දුගති වූ, විනිපාත වූ නිරයට ම පැමිණෙයි.

කවුරු කවර ආකාරයකින් කළත් ප්‍රාණඝාතාදී අකුසල් සැමටම දුක් විපාක එක සේ ලබා දෙන්නේ ය. සීලා දී ගුණධර්ම පිරීමෙන් කුමන හෝ පුද්ගලයකුට පොදු වශයෙන් ලැබෙන ආනිසංස 05ක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ දුච්චරිත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.

ඒ අනුව තමන් තමන්හට උපවාද නොකරයි. නුවණැත්තෝ සීලාදී ගුණදම් රකින ඔහු පසසති. යහපත් වූ කීර්ති රාවයක් උස්ව නැගෙයි. මුළා නොවී මරණයට පත් වෙයි. මරණින් මතු සුගති ලෝකයක උපත ලබයි.

මෙයට අමතරව සීලාදී ගුණදම් රකින්නාට ලැබෙන ආනිසංස 05ක් සහ සීලාදී ගුණදම් නොරකින්නාට ලැබෙන ආදීනව 05ක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අක්කෝසක වග්ගයේ දී “සීල සූත්‍රයෙන්” පෙන්වා දී තිබේ. එම ආදීනව නම්

මහණෙනි, සීල විපත්තියට පත් ගිහි දුස්සීලයා ප්‍රමාදය නිසා මහත් භෝග හානියට ද, පැවිදි දුස්සීලයා සප්තාර්ය ධන හානියට ද පැමිණෙයි.

සීල විපත්තියට පත් දුස්සීලයාගේ පවිටු කීර්තිරාවය දසත පැතිරී යයි.

සීල විපත්තියට පත් දුස්සීලයා ක්ෂත්‍රිය පිරිසකට වේවා, ශ්‍රමණ පිරිසකට වේවා යම් පිරිසක් වෙත එළඹේ නම්, බිය සහිත වූයේ, සැක සහිත වූයේ ම වෙයි. සීල විපත්තියට පත් දුස්සීලයා සිහි මුළා වී කළුරිය කරයි. සීල විපත්තියට පත් දුස්සීලයා මරණින් මතු අපාය වූ, දුගති වූ, විනිපාත වූ නිරයට ම පැමිණෙයි.

යම් පුද්ගලයකු කවර ජාතියකට, ආගමකට, කුලයකට, රටකට අයත් වුව ද සීලාදී ගුණධර්ම දියුණු කරයි ද මෙවන් ආනිසංසයක් ලබයි.

මහණෙනි, සිල් ගුණදම් පුරන සිල්වතා අප්‍රමාදය නිසා මහත් වූ භෝග සම්පත් ලබයි.

සිල් ගුණදම් පුරන්නාට යහපත් කීර්ති රාවයක් ගොඩනැඟෙයි.

සිල් ගුණදම් පුරන්නාට කවරකු අභිමුවට එළඹෙයි ද, විශාරදව නිර්භයව නිසැකව පිවිසිය හැක.

සිල් ගුණදම් පුරන්නා සිහි මුළා නොවී කළුරිය කරයි.

සිල් ගුණදම් පුරන්නා මරණින් මතු සුගති වූ ස්වර්ග ලෝකයකට පැමිණෙයි.

පොදුවේ ගත් විට ඉහත ආනිසංස සීලාදී ගුණධර්ම වර්ධනය කරන ඕනෑම කෙනකුට ලැබේ. මෙහිදි විශේෂයෙන් දැනගත යුත්තක් ද තිබේ. එනම් පංචසීල ප්‍රතිපදාවට අයත් එක් එක් සිල්පද වෙන වෙන ම ගත් කල ඒවාට ද විශේෂ වු ආනිසංස සමූහයක් ඇති බවයි. එබඳු ආනිසංස 97ක් කවර ජාතියකට, ආගමකට, රටකට, අයත් වූවකුට වුව ද පංචසීල ප්‍රතිපදාවෙහි සංවර වේ නම් ඒකාන්තයෙන් ලබා ගත හැකි බවයි.

සත්ව ඝාතනයෙන් වැළකී සිටීමෙන් ආනිසංස 23ක් ලැබේ. එනම්, ආරෝහ පරිනාහ දේහ සම්පත්තියක් ලැබීම, මනාවූ කායික ජවයකින් යුතුවීම, මනාව පොළොවෙහි පිහිටන පියවර ඇත්තකු වීම, රන්වන් වූ පැහැබර සමකින් යුතුවීම, මෘදු මොළොක් සිරුරක් ලැබීම, නිර්මල වූ පිරිසුදු පැවතුම් ඇත්තකු වීම, සූරවීර ගති ඇත්තකු වීම, මහා බලවන්තයකු වීම, නොපැකිළව කිව හැකි වචන ඇත්තකු වීම, ලෝක සත්වයන්ට පි‍්‍රය මනාප වූ පුද්ගලයකු වීම, පහකළ දොස් ඇත්තකු වීම, කෙනකුට කේළාම් කියා බිඳවිය නොහැකි පිරිවර සේනා ලැබීම, තැති නොගත් කෙනකු වීම, විනාශ කළ නොහැකි උතුමකු වීම, පර උපක්‍රම මගින් අකල් මරණයකට පත් නොවීම, සංඛ්‍යාවක් නොදැක්විය හැකි පිරිවර සේනා ලැබීම, සුරූපී පුද්ගලයකු වීම, මනා සටහන් ඇත්තකු වීම, අල්ප ආබාධ ඇත්තකු වීම, ශෝක නොකරන්නකු වීම, පි‍්‍රයමනාප පුද්ගලයන්ගෙන් ඈත්වන්නට සිදු නොවීම, දීර්ඝායුෂ ලබන්නකු වීම හා මනාව පිහිටි අඟපසඟ ඇත්තකු වීම ය.

සොරකමින් වැළකී සිටීමෙන් ලැබෙන ආනිසංස මෙසේ ය.

මහා ධනවතකු වීම, බොහෝ ධන ධාන්‍ය ලබන්නකු වීම, අප්‍රමාණ ලෙස භෝග සම්පත් ලැබීම, නූපන් වස්තුව උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තකුවීම, ලැබී ඇති භෝග සම්පත් රැක ගැනීමට වාසනාව තිබීම, කැමති යම් වස්තුවක් වේ ද, වහා එය ලබන්නකු වීම, රජුට, සොරුන්ට, ගින්නට, ජලයට, අපි‍්‍රය දරුවන්ට විනාශ කළ නොහැකි වස්තුව ලැබීම, වෙනත් කිසි කෙනකුට නොමැති පරිදි ධන වාසනා ඇත්තකු වීම, ලෝකයේ ම උත්තමයකු බවට පත්වීම, නැත යන වචනය අසන්නට නොලැබීම හා සැප විහරණ ඇත්තකු වීම ය.

බ්‍රහ්ම චර්යාවෙහි වාසය කිරීමෙන් වන ආනිසංස මෙසේ ය

සතුරන් නැත්තකු වීම, සියල්ලන්ට ම පි‍්‍රය අයකු වීම, ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් ලැබීමේ භාග්‍යය ඇත්තකු වීම, සැප සේ නින්ද යාම, සැප සේ පිබිදීම, අපාය බිය නැත්තකු වීම, ලබන ජීවිතය අභව්‍ය තත්වයන්ට පත් නොවීම, ක්‍රෝධය අඩු පුද්ගලයකු වීම, සුපරික්ෂාකාරි අයකු වීම, කර නොබාගත් පුද්ගලයකු නොවීම, සැක බය නිසා බිම බලා සිටින කෙනකු නොවීම, ඔවුනොවුන්ට පි‍්‍රය මනාප අඹු සැමියන් ලැබීම, සම්පූර්ණ ඉඳුරන් ලැබීම, පිරිපුන් දේහයක් ලැබීම, සැක නැති අයකු වීම, මහන්සි නොවී ධනය ලබන්නකු වීම, සැප විහරණ ඇත්තකු වීම, කුමක් නිසාවත් කිසි තැනක බිය නොවන්නකු වීම හා පි‍්‍රයයන්ගෙන් වෙන් නොවන්නකු වීම ය.

බොරු නොකීමේ අනුසස් මෙසේ ය.

අතිශයින් ප්‍රසන්න ඉඳුරන් ලැබීම, මිහිරි කටහඬක් ලැබීම, සමානව පිහිටි සුදුවන් දත් දෙපළක් ලැබීම, අශෝභන වූ මහත් ශරීරයක් නොලැබීම, අශෝභන වූ කෙට්ටු ශරීරයක් නොලැබීම, අශෝභන වූ මිටි ශරීරයයක් නොලැබීම, අශෝභන වූ උස ශරීරයක් නොලැබීම, සැප ස්පර්ශ ලබන්නකු වීම, මහනෙල් මල් සුවඳ ඇති මුඛයක් ලැබීම, සුවච කීකරු පිරිවර ජනයා ලැබීම, විශ්වාස කළ යුතු වචන ඇති අයකු වීම, මෘදු වූ රත්පැහැ ඇති දිවක් ලැබීම, උඩඟු නොවන්නකු වීම හා චපල වචන, වැඩ ක්‍රියා නැත්තකු වීම ය.

මත්වතුර, මත්ද්‍රව්‍ය පානය නොකිරීමෙන් ලැබෙන අනුසස් මෙසේ ය.

තුන්කල්හි කරන යම් කටයුත්තක් වේ ද, එය වහා වැටහෙයි, සෑම විට එළඹ සිටි සිහිය ඇත්තකු වීම, උම්මත්තක නොවීම, ඤාණවන්තයකු වීම, අලස නොවීම, නොහික්මුණු ක්‍රියා නොකිරීම, කෙළතොලු නොවීම, තරුණ මදයෙන් මත් නොවීම, අප්‍රමාද විහරණ ඇත්තකු වීම, මෝහයෙන් මුළා නොවීම, තැති ගැනීම් නැත්තකු වීම, එකට එක නොකිරීම, ඊර්ෂ්‍යා නොකරන්නකු වීම, සත්‍ය වචන කතා කරන්නකු වීම, කේළාම්, පරුෂ, හිස්වචන කතා නොකරන්නකු වීම, දිවා රාත්‍රී අනලස්ව කටයුතු කිරීම, කළගුණ දන්නකු වීම, ප්‍රතිඋපකාර කරන්නකු වීම, මසුරුබව නැත්තකු වීම, ත්‍යාගවන්තයකු වීම, මහා සීලවන්තයකු වීම, ඍජුගති ඇතිවීම, ක්‍රෝධ නැති සත්පුරුෂයකු වීම, පව් කිරීමට ලජ්ජා ඇති ගුණවතකු වීම, පව් කිරීමට බිය ඇත්තකු වීම, ඍජු අදහස් ඇති පණ්ඩිතයකු වීම, මහා ප්‍රඥාවන්තයෙක් වීම, මහා චිත්ත ශක්තියක් ඇත්තකු වීම, දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයකු වීම හා අර්ථය, අනර්ථය වැටහෙන බුද්ධිමතකු වීම ය.

සීලයෙන් කෙරෙනුයේ හැදියාව ඇති අයකු සකස් කිරීමයි. හැදියාවෙන් පූර්ණ සමාජය සැක, බිය, සංකා, නැති පරිසරයකි. එබඳු පරිසරයක ජීවත්වන්නට ලෝකයේ සියලු සත්වයන් කැමති ය.

එසේ නම් සීලය මානවයාට ම අයත් ධර්මයක් නොවන්නේ ද?

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 16 බදාදා
පූ.භා. 05.51 අව අටවක ලබා 17 බ්‍රහස්පතින්දා පූ.භා. 07.57 ගෙවේ 16 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]