[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අව අටවක 2022-11-16

ආකල්පමය වෙනසක් ඕනෑ

දියුණුව මිස පරිහානියට යන්නට කිසිවෙක් අකැමැති ය. ඒ අභිලාෂයට ළං වෙන්නට වෙර දරන අය අතර හොඳින් මෙන් ම නරකින් ද කටයුතු කරන්නෝ වෙති. පව පින හඳුනන, කර්මය, කර්ම පලය විශ්වාස කරන්නෝ යහපත් මාර්ගයෙන් ම ඒ තැනට ළං වෙති. ඔවුහු සැබෑ දියුණුව අත්පත් කරගන්නෝ වෙති. ඒ අතර තවත් පිරිසකි. ඔවුහු අනුන්ට කුමක් වුව ද තමන්ගේ අරමුණ ඉටුවනවා නම් යනුවෙන් සිතන්නෝ ය. ඔවුන්ට හොඳ නරක අවැසි නැත. ආධ්‍යාත්මයට වැට බැඳ භෞතික දියුණුව පමණක් අපේක්ෂා කරන ඔවුහු ඒ අරමුණ තුළ පමණක් නොව මේ සසර ද අතර මං වෙති. ඒ ඔවුන් අපේක්ෂා කරන දියුණුව තුළ ම විනාශය සැඟවී ඇති බැවිනි.

සමාජය උඩුයටිකුරු වන්නේ ද මෙවැන්නෝ නිසා ය. සමාජ වටිනාකම් ගිලිහී නොවටිනාකම් මතු වන්නේ ඔවුහු සුලභ නිසා ය. එහෙයින් ආකල්පමය වෙනසකින් චර්යාමය වෙනසකට ගමන් කළ යුතු කාලය දැන් එළඹ ඇත. අස්වයා ගියාට පසු ඉස්තාලය වසා ප්‍රයෝජනයක් නැති සේ, සමාජ පරිහානියේ සීමාව ඉක්මවා ගියේ නම් සිදුවන්නේ පසුතැවිලි වන්නට ය. එය සියලු දෙනා එක්වී විඳින්නට වන අභාග්‍යයකි. එහෙයින් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම ආගමානුකූලව හැඩගැසීමට වෙර වීරිය දැරිය යුතු ව ඇත.

ජාතකකතා පොත් වහන්සේ තුළ අන්තර්ගත අත්ථස්සද්වාර ජාතක කතාව දියුණුව කැමැති බෞද්ධයාට මහඟු මිණකි. එහි දරුවෙක් තම පියාගෙන් දියුණුවට හේතුවන කරුණු විමසයි.

ඒ දරුවා ගේ දැක්ම, සමස්ත ළමා පරපුරට ම ආදර්ශයකි. ඒ පැනය බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජීවිතයේ අභිවෘද්ධියට හේතුවන කරුණු සයක් පිළිබඳ උන්වහන්සේ දේශනා කොට වදාළහ. ඒ කරුණු සය ජීවිතයේ බාල, තරුණ, මහලු යන කවර අවස්ථාවකට වුව ද උචිත ය. විපුල පල දෙන්නේ ය.

ඒ කරුණු අතර නීරෝගී බව ප්‍රධාන ය. ඕනෑම කාර්යයක් සපල කර ගත හැකි නිරෝගී නම් ය. කය, මනස රෝගී වූ විට දැනෙන වෙහෙසකාරි බව හා පීඩාකාරි බව බොහෝ අතපසුවීම් ඇති කරයි. යමක් නිවැරැදිව තීරණය කරන්නට, ක්‍රියාවේ යෙදවීමට බාධා ගෙන දෙයි.

අපේ සමාජයේ බොහෝ දෙනා රෝගී වන්නේ තමන්ගේ ම වරදිනි. බොහෝ විට කට පරිස්සම් කර ගැනීමට නොහැකි වීම නිසා ය. ආහාරයේ පමණ නොදැනීම, නිවැරැදි ව්‍යායාම නොමැතිකම, වැරැදි ආහාර රටාව හා පැවැත්ම අද බොහෝ දෙනෙක් දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලට ඇද දමා තිබේ.

රෝගී බව ජීවිතයේ ක්‍රියාකාරකම් පහළට ඇද දමනවා සේ ම ආර්ථිකව ද වෙසෙස් බලපෑම් ඇති කරයි. එය තම තමන් විමසීමෙන් ම අවබෝධ කරගත හැකි ය. එහෙයින් මනා සෞඛ්‍ය පුරුදු ගැන ආකල්පය කුඩා කල සිටම පුරුදු පුහුණු කොට කායික, මානසික නිරෝගී බව රැක ගන්නට වෙහෙසිය යුතු ය. අප ලබන පරම ලාභය එය වන බැවිනි.

දියුණුව ලද හැකි තවත් වැදගත් කරුණක් වන්නේ සීලයයි. හැදියාව, සංවරකම නැති තැන ය බොහෝ දේ විපරීත ලෙස විසඳෙන්නේ. අසංවර, නොහික්මුණු තැනැත්තාට තමන් ගැන හෝ අනුන් ගැන වගවිභාගයක් නැත. එහෙයින් චර්යාමය වෙනසක් ගැන වහ වහා පිළියම් යෙදිය යුතුව ඇත්තේ ඒ සඳහා නිවැරැදි මඟ සක් සුදක් සේ පැහැදිලි වුව ද ඒ මඟ යන්නට බොහෝ දෙනෙක් මැළි වන නිසා ය. පංච සීලය මිනිසා හික්මවන ප්‍රතිපදාවකි. එය කුඩා කල සිට ම කටට හුරු කළ ද කයට, මනසට ගෝචර නොකිරීම නිසා බොහෝ දෙනා වචනයට පමණක් සීමා කරනු පෙනේ. ආකල්පමය වෙනසක් වහ වහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු යැයි කියන්නේ එහෙයිනි.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 16 බදාදා
පූ.භා. 05.51 අව අටවක ලබා 17 බ්‍රහස්පතින්දා පූ.භා. 07.57 ගෙවේ 16 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]