[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආත්ම විශ්වාසය හීන දීන බව පරාජය කරයි

ආත්ම විශ්වාසය හීන දීන බව පරාජය කරයි

අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

බුද්ධ ධර්මය හේතුඵල වාදයකි. එහෙයින් බුද්ධ ධර්මය ලෝකයේ පවත්නා තාක් සියල්ල හේතු ප්‍රත්‍යයෙන් ඇති වේ යැයි දක්වයි. හේතුව නිසා ඵලයත්, ඵලය නිසා හේතුවක් ඇති විය හැකි අතර, මේ හේතු ප්‍රත්‍යයන්ගේ අන්‍යොන්‍ය සම්බන්ධතාව නිසා ලෝකයේ පැවැත්මත්, වෙනස්වීමත්, වර්ධනයත් වන බැව් දක්වයි. හේතු ප්‍රත්‍යයන්ගේ අභාවයෙන් ඔවුන්ගේ විනාශය දක්වයි.

බෞද්ධ ධර්මය මිනිසා ගේ ජීවිතය ක්‍රමවත් ව උසස් තත්ත්වයකට නංවන මාර්ගය පෙන්වන්නකි. එසේ දැක්වීමේ දී වුව ද උන්වහන්සේ පුද්ගලයා ගේ නිදහසට ගරු කළ සේක. උන්වහන්සේගේ දේශනයෙහි කවර තැනකවත් විධානයක් දක්නට නැත.

තුම්හෙහි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගත

නුඹලා විසින් ක්‍රියා කළ යුතු ය. තථාගතයන් වහන්සේ මාර්ග දේශකයෙක් පමණි.

එදා දඹදිව උන්වහන්සේගේ කීර්ති ඝෝෂාව මගධ – කාසි – කෝසල ආදී ජනපදයන් ඔස්සේ පැතිරී ගියේ ය. ශ්‍රෙණිය – බිම්බිසාර, ප්‍රශෙනජිත් කොශල වැනි මහ රජවරුන්, උපාලි – උග්ග වැනි සිටුවරුනුත් ප්‍රමුඛ කොට නොයෙක් තරාතිරම්වල අය උන්වහන්සේ සමඟ සාකච්ඡා කිරීමට, දහම් ඇසීමට පැමිණියාහු වෙති. ඔවුන්ගේ හැඟීම් බලයෙන් තමා කෙරෙහි නතු කර ගැනීමට උන්වහන්සේ කැමති නොවූ හ.

උපාලි සිටුතුමා උන්වහන්සේ කෙරෙහි පැහැද එය ප්‍රකාශ කරන විටත් ප්‍රකාශ කළේ ඔබ වැනි අය යම් යම් නිගමනවලට බසින විට සිතා බලා ම එසේ කළ යුතු ය යන්න යි. එයින් පුද්ගලයා ගේ නිදාසත්වය මෙන් ම බුද්ධි ගරුකත්වය ද කෙරෙහි සැලකිල්ලක් දැක්වූ බව පෙනේ.

බුද්ධ ධර්මය හේතුඵල වාදයකි. එහෙයින් බුද්ධ ධර්මය ලෝකයේ පවත්නා තාක් සියල්ල හේතු ප්‍රත්‍යයෙන් ඇති වේ යැයි දක්වයි. හේතුව නිසා ඵලයත්, ඵලය නිසා හේතුවක් ඇති විය හැකි අතර, මේ හේතු ප්‍රත්‍යයන්ගේ අන්‍යොන්‍ය සම්බන්ධතාව නිසා ලෝකයේ පැවැත්මත්, වෙනස්වීමත්, වර්ධනයත් වන බැව් දක්වයි. හේතු ප්‍රත්‍යයන්ගේ අභාවයෙන් ඔවුන්ගේ විනාශය දක්වයි.

හේතු පටිච්ච සම්භූතං
හේතු භංගා නිරුජ්ඣති

යනුවෙන් බුදුන් වහන්සේ එය ඉගැන්වූහ. හේතූන් නිසා ඇති වන යම් යම් දේ ඒවායේ වෙනස්වීමෙන් අභාවයට පත්වෙයි.

බුදුදහම උගන්වන මේ හේතුඵලවාදය නූතන විද්‍යාත්මක ලෝකයේ විශාල විප්ලවයක් කොට ඇත. ඉතිහාසය, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයයන් අද විග්‍රහ කරනු ලබන්නේ මේ හේතුප්‍රත්‍යයන් මත පිහිටා ය.

එදා ස්වභවික සිද්ධීන් හරි හැටි තේරුම් නොගත් මිනිසා දේව රහස් සේ, දෙවියන්ගේ කැමැත්ත පරිදි සිදුවන දේ මෙන් සලකා සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙත පැවරූ යම් යම් සිද්ධාන්තයන් අද විද්‍යාත්මක නිගමනයනට පින් සිදු වන්නට, හේතු ඵලයන්ගේ සමවාය ය නිසා සිදු වන බැව් වටහා ගෙන ඇත. මෙසේ ලෝකයේ පවත්නා සියලුම ධර්මතාවන්ට තුඩු දුන් මූලික හේතුවක් හැටියට හේතුඵල වාදය හැඳින්විය හැකි ය. ලෝකයෙහි පවත්නා විවිධත්වය – විෂමත්වය ආදි සියල්ලට ම හේතුව මේ ය.

බුද්ධ ධර්මය සාංදෘෂ්ටික ය. අකාලික ය. එහෙයින් එයින් ලබන ප්‍රයෝජනය මතු සසරට සීමා කරන්නෙක් නොවේ. මේ ලොව දී ම තමන්ගේ අඩුපාඩු සකස් කර ගෙන ඒවායේ ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂයෙන් ම දත හැකි වීම වැදගත් ම දෙයකි.

මිනිසා බලාපොරොත්තු වන සියලු යහපත ඔහුගේ උත්සාහයෙන් ම ඔහුට ලැබිය හැකි ය. ‘අත්ත දීපා විහරථ’ තමාගේ විමුක්තිය පාදා ගැනීමේ සම්පූර්ණ වගකීම ඔහු සතු ය. එහෙයින් මනුෂ්‍යයා පිළිබඳ සම්පූර්ණ ස්වාධීනත්වය ම බුද්ධ ධර්මයෙන් පිළිගැනී ඇත. එහෙයින් ඔහු නිවහල් පුද්ගලයකු බවට පත් කිරීමේ පරම වාසනාව ද ඉන් ඔහුට ලැබී ඇත.

බෞද්ධ ධර්මය පරලොව සැපතට සීමා වූවක් නොවේ.

එහෙයින් මෙලොව ජීවිතය සකස් කර ගැනමට අවශ්‍ය සැප

අත්ථි සුඛ, භෝග සුඛ, අනණ සුඛ හා අනවජ්ජ සුඛ වශයෙන් දක්වා ඇත. ස්ථිර අධිෂ්ඨානයත් – අප්‍රතිහත ධෛර්යයත් යන දෙකින් යුක්ත වූ කවර පුද්ගලයකුට වුව ද දියුණු වීමට මාර්ගයක් වශයෙන් එය දක්වා ඇත්තේ ය. මේ අනුව බුදු දහමේ ඉතා වැදගත් වූ ජීවිත දර්ශනයක් ද ගැබ් ව ඇත. අනුන් ගේ, නොපෙනෙන, නො දක්නා බලවේගයනට නතු නොවී තමාගේ ම උත්සාහයෙන්, තමාගේ ම වටපිටාව තමනට අවශ්‍ය සේ සකසා ගැනීමේ මාර්ගය ඔහුට විවෘතව ඇත.

ලෝකය වාසනාවන්ත වූවක් හෝ අවාසනාවන්ත වූවක් කිරීමේ සම්පූර්ණ වගකීම ඔහු සතු ය.

බුදුදහමේ දැක්වෙන මානුෂික ධර්මත්, ආත්ම ශක්තියත්, නිවැරැදි විසඳුමත් යන කරුණු ඔස්සේ මිනිසාගේ ස්වාමිත්වය ඔහු කෙරෙහි පවරා ඇත. නො පෙනෙන බලවේගයන් කෙරෙහි ගැතිවීමෙන් ආත්ම හීන භාවයට මිනිසා පත් වන බව පෙනේ.

ආගමික අදහස් පිළිබඳ ප්‍රාථමික යුගයෙහි මිනිසා තමාට නොපෙනෙන අද්භූත බලවේගයන් කෙරෙහි විශ්වාසය තැබී ය. එය ක්‍රමයෙන් දියුණුවත් ම දේව විශ්වාසයක් බවට පත්විය. මිනිසා ගේ බුද්ධිය මුහුකුරායත් ම විද්‍යාත්මක පර්යේෂණයන්ගේ සත්‍යය එළිදරවුවත් ම දේව විශ්වාසයන් දෙදරා යන්නට විය.

බුදුන් වහන්සේ දේවත්වයට වඩා උසස් කොට, අගය කොට මනුෂ්‍යත්වය සැලකූහ. ලොව ඇති ශ්‍රේෂ්ඨම තත්ත්වය වූ බුද්ධත්වයට පත් විය යුත්තේ දෙවියෙක් නො වේ. බ්‍රහ්මයෙක් නොවේ. මනුෂ්‍යයෙකි. මනුෂ්‍යයකු ඒ අනුත්තර ශ්‍රේෂ්ඨත්වයට පත් වූ පසු එතුමාට සේවාව කිරීමට ඔවුහු පැමිණෙති.

එපමණක් ද නොවේ. සිල්වත්, ගුණගරුක ගිහියාට ද වඩා දෙවියා පහත් ය. දෙදෙව් ලොවට ම අධිපති ශක්‍රයා පවා ධාර්මික, අඹුදරුවන් පෝෂණය කරන, සිල්වත් ගිහි උපාසකයනට වඳින බව,

‘යෙ ගහට්ඨා පුඤ්ඤකරා
සිලවන්තා උපාසකා
ධම්මේන දාරං පොසෙන්ති
තං නමස්සාමි මාතලී’

යන දේශනයෙන් පැහැදිලි වෙයි.

සියලු සත්ව ප්‍රජාව ගේ ම උසස් තැන මිනිසාට හිමි වී ඇත. ඒ මිනිසුන් අතර පරමාර්ථි මනුෂ්‍යයෙක් වෙයි.

බ්‍රාහ්මණයෝ බ්‍රහ්මන් ලෝකයේ මැවුම්කාරයා කොට සැලකූහ. එහෙයින් සෑම දෙයක් කෙරෙහි ම බ්‍රහ්මගේ ඒකාධිකාරි ස්වභාවය පැතිරී ඇතැයි සිතූ හ. එහෙත් බෞද්ධ දර්ශනයේ එන අනාත්ම වාදයත්, ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයත් දෙක නිසා, ඊට පහර වැදිණ. බ්‍රහ්ම – ඊශ්වර දේ ව වාද එයින් දෙදරා ගියේ ය. දෙවියන්ගේ තත්ත්වය, සාමාන්‍ය තත්ත්වයකට වැටිණ. මුල දි දෙවියන්ගේ සේවකයකුවූ මිනිසා, පසු යුගයේ දී දෙවියන්ගෙන් වැඳුම් පිදුම් ලබන්නෙක් විය.

බෞද්ධ සාහිත්‍යයට අනුව සහම්පති, ඝටීකාර, නාරද, බක වැනි බ්‍රහ්මයෝ බුදුන් වහන්සේට සේවාව කිරීමට පැමිණියෝ වූහ. මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්ම නිමන්ත්‍රණ සූත්‍රයෙහි බක බ්‍රහ්මයා ගේ බලය බිඳ දමා ඇති අයුරු දැක්ක හැකිය. කේවට්ට සූත්‍රයේ දි බ්‍රහ්මයා උපහාසයට ලක් කොට ඇත. මින් පෙර බ්‍රාහ්මණයනට, දෙවියනට, තුබූ තත්ත්වය බුදු දහමේ උදාවත් සමඟ මිනිසා කෙරෙහි පැවරුණේ විය.

විවිධත්වයෙන් හා සංකීර්ණත්වයෙන් පිරුණු ජීවිතයකට ආත්ම විශ්වාසය අවශ්‍යය. ආත්ම විශ්වාසයෙන් තොර වූ විට මිනිහා බැගෑ බවට පත් වෙයි. බැගෑ බව මානසික ව්‍යාධියෙකි. මේ යටත් භාවයෙන් මිදී නිදහස් වන්නට මිනිසාට මඟ පෑදුනේ තමාගේ දෙවියා තමා ම යැයි වැටහුණ දා සිට ය. ඒ බුද්ධ ධර්මයේ ආශිර්වාදයේ ප්‍රතිඵලයකි.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 16 බදාදා
පූ.භා. 05.51 අව අටවක ලබා 17 බ්‍රහස්පතින්දා පූ.භා. 07.57 ගෙවේ 16 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]