[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාසනාවන්ත ම මවුපියන් වෙන්න ඔබත් කැමැති ද?

වාසනාවන්ත ම මවුපියන් වෙන්න ඔබත් කැමැති ද?

“පාට සුවඳ එක වගේ,
තිබෙන රෝස මල වගේ
කීකරු හොඳ දරුවගේ
කවුරුත් පවසති අගේ”

මෙබඳු හැදුණු හොඳ දරුවා කුරා කූඹියකුගේවත් පණ නොනසයි. කෙනෙකු සන්තක අන්සතු අල්පෙනෙත්තක දෙයක් නොඉල්ලා නොගනියි. වචනයෙන් වන වැරැදිවලින් වැළකෙයි.

“මහනෙල් සුවඳ ම ය
කුඩමසු පිළී ගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය”

යැයි දැන වචනයෙන් වැරැදි නොකරයි.

අපේ බුදුපියාණන් වහන්සේ පෙරුම්පුරන සමයේදිත් කිසිදා කිසිවිට අසත්‍යයක් නොබිනු සේක. සත්‍යම තෙපළ සේක. ඒ සත්‍යානුභාවයෙන් අදටත් සත්වග සත්සිතට ගෙනෙනුයේ අමිල ශාන්තියකි.

“බොරුකීම කැත ම ය
ගැරඬි කුණටත් නොස ම ය
ඇත්ත නම් කදිමය

මෙලොව රජ සැපතටත් නොස ම ය.” යන උතුම් සිතිවිල්ල සිත්හි දරා අපේ දරුවෝ මොනවට හැඩගැසෙති. එකිනෙකා අතර ගැටුම් ආරවුල්, අසමඟිකම් ඇතිකරන කේළමින් වැළකී සැමගේ සතුටට සමඟියට හොඳ දරුවෝ මඟ පාදති. අනෙකාගේ හදවත නසන රිදවන රළු පරළු බස් නොකියා පේ‍්‍රමණීය, හෘදයාංගම, කරුණාබරිත මද මුදු අව්‍යාජ පියතෙපුළෙන් හොඳ දරුවා කාටත් සංග්‍රහ කරයි. පරුෂ වචනයෙන් සපුරා බැහැර වෙයි. සුභාෂිතයට තිරිසන් සතා ද නැමෙන බැව් නන්දිවිසාල ජාතක කථාව කියාපායි.

අරුත් සුන් වදන් කිය කිය රන් සදිසි කාලය අපතේ නොයවා කාලයෙන් වැඩගෙන පොත පත කියවා දැනුම් ගවේෂණයේ නිමග්නවීමට ද, විවේකය ඵලදායිව ගෙවීමට ද කුඩා කල පටන් ම අපේ පොඩි ඇත්තෝ හුරුපුරුදු විය යුත්තෝ ය.

දානය, බෙදාහදාගැනීම අරපරෙස්සම, පරාර්ථ චර්යාව, තමාගේ කුසගින්න සේ අනෙකාගේ ‘කුසගින්දර ගැන ද සිතීම ආදි සද්ධර්මතා අපේ දරු සන්තාන තුළ පැළපැදියම් කර ගත යුතු ය. වෙරළු ගෙඩිය හත්කඩකට බෙදාගෙන එදා අපේ අය වෙරළු ගෙඩියේ රස බැලූහ.

“මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබෙයි
වැඩිය කඩන නරක ළමයි එහෙම
නොවෙයි අපි – මල්ලිටයි මටයි ගෙඩි දෙකක් ඇතියි”

අනෙකා ගැන සිතීම, පරාර්ථ චර්යාව, අරපරෙස්සම, සහෝදර බැඳියාව මේ සියල්ල මේ අප පෙර පාසලේ කිව් කව් සින්දු තුළින් මොනවට ඉස්මතු වෙයි.

සතුන් මැරීමෙන්, ප්‍රාණඝාත අකුසලයෙන් පමණක් නොව කරුණා දයා හදින් සතාසීපාවා ගැන සිතීම ද සරු පාදක අත්‍යාවශ්‍ය අංගයකි.

“පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ

මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ” යන කුරුලු ආයාචනය ළමා හදමඬල කරුණාවෙන් බර කරයි. දයාවෙන් පුරවාලයි.

කුරුල්ලාගේ කැදැල්ල පිණිස වූ වෑයම, වෙරවීරිය ද, බිත්තර දැමීම සඳහා වූ පෙර සූදානම ද ළමා හදවතට අගනා පාඩම් ය.

හිරු සඳු සදිසිව අපේ ලෝකය එළිය කරන්නෝ අපේ මව්පියෝ ය. අපේ දිවි රැක පෝෂණය කොට ලොව එළිය දක්වන්නෝ මව්පියෝ ය. ඒ බැව් හොඳින් දැන හොඳ දරුවෝ සැමදා දෙමවුපිය පා කමල් වැඳ අවසර ගෙන පාසලට හෝ වෙනයම් කටයුත්තකට නිවෙසින් නික්මෙති.

කිසිවිටෙක අම්මට තාත්තට පිටුපා, ඔවුන්ගේ වදනට අකීකරුව කටයුතු නොකරති. මව්පිය ආශිර්වාදය තම දියුණුවේ අඩිතාලම බැව් නුවණැති දරුවෝ නිතර සිහිකරති. කොපමණ දුක් ගැහැට ලැබුණත් ඒ සියල්ල මැදහත්ව ඉවසා ඉගෙනුම්කරන සමයේ ඊට ම පේවී ආදරයෙන් අකුරු කරන්නට දරුවකු කැපවිය යුතු ය.

අල්ලට සිඟා හෝ රස නැති කැවිලි කකා කුසගිනි නිවාගෙන, දැලිකුණු රෙදිවැරලි ඇඳ දහසක් බාධා මැද ඉගෙන කියා ගත් දරුවාට අනාගත යස ඉසුරු මං පෑදෙයි.

අපේ දරුවෝ ඉගෙන කියා ගන්නා සමයේ අනෙකුත් බාහිර බාධා මැඩ ඉදිරි වැඩ තකා ඇල්මෙන් අකුරු ඉගෙනීම මැනවි.

එදා අපේ දරුවෝ සිප්කිරි පොවන ගුරුමෑණියන්ට, ගුරුපියවරුනට කෘතවේදීව සැලකූහ. එලෙසින්ම එදා ගුරුවරු සිප්කිරි, සමඟින් ම ඔවුනගේ ඇවැතුම් පැවැතුම් ක්‍රම ශිල්ප තුළින් හැදියාවේ, ශික්ෂණයේ එන්නත ද දරුවාට ලබා දුන්හ.

“ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා
මරු සොඳවා”

කුඩා කල පටන්ම වේලාවට වැඩ කිරීමේ කලාව බොහෝම සුමටම, සුන්දරව එදා ගුරුවරු දරුවාට ඉගැන්වූහ. එනිසාම කුකුළාට පෙර අවදිව යුහුසුළුව වැඩ කිරීමට හෙළබිම හෙළයෝ හුරුපුරුදු වූහ. එනිසාම දරුවන්ගේ මුවින් නික්මුණේ මෙබඳු කවිය.

වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල්කසඹිලිය අතු
මේ හැම ඉපල් මගෙ දෑසට නොපෑයුතු
පමා නොවී එම අකුරට මෙයින් මතු

මේ කිසිවක් ළමා හිංසනයන්, ළමා අපරාධයන් නොව ඖෂධීය ඉපල්වලින් ළමා පෙළ සුමඟට යොමුකිරීමට කළ සැබෑ මනෝවිද්‍යාත්මක චිකිත්සක ක්‍රමවේදයන් ය.

වරදට තලා, නිවැරැදිව හදා රජ පුටුවට රජුන් තැනූ තිලමුට්ඨි ජාතකය දරුවන් හරි මඟ යවන අයුරු අපට සිහිගන්වයි.

ඉගෙන කියාගත්කම පමණක් දරුවකු පූර්ණත්වයට පත් නොකරයි.

ගුණ නුවණ ප්‍රඥාව හා මුසුවීමෙන් චරිතයක් ශෝභමාන වෙයි.

“ දැන ඉගෙනගත් කම
තමයි කෙනකුගෙ වත්කම
ගුණ නුවණ දැක්කම
ඔහුට සලකයි රටේ ඔක්කොම”

සිරිලක බබළවන අපේ දුව පුතා මල්කරුවකු මාලා ගොතන්නා සේ

දින දින හොඳ ගුණ මල්දාමයට අමුණාගත යුතු ය. මල්යහනක් සේ පිවිතුරු දිවියක් එවිට හිමිවෙයි.

“පොඩි පොඩි ඇළ දොළ එකතු වෙලා
සෑදෙනා ලෙස ලොකු ලොකු ගංගා
හොඳ වැඩ පුරුදු කරන කොට
හොඳටම හොඳ වෙනවා.”

දෑතට වැලිදෝතක් ගෙන මෙහි ඇති වැලිකැට ගණනට මගේ ජීවිතය එළි කර ගන්නට මට අවවාද ලැබේවා’යි රාහුල පොඩි හාමුදුරුවෝ සැමදා ප්‍රාර්ථනා කළ සේක. එපරිද්දෙන් ම මව්පිය, වැඩිහිටි, ගුරුවර, උපදෙසින් සිරිලක දරුපෙළ දින දින සුමඟට යොමු වේවා.

“මල්වල සුමිහිරි පැණී
ඇද බොන බඹරා මෙනි
හොඳ ළමයා නුවණෙනි
හොඳ දේ තෝරා ගනී.”

මව්පියන් දැයට දායාද කළ යුතු මෙවන් ගුණ ඇති දරුවන් ය. කැපවීම, උත්සාහය තුළ එය අසීරු නොවේ. එවැනි දරුවකු ලද මව්පියන් සැබෑම වාසනාවන්තයින් ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 16 බදාදා
පූ.භා. 05.51 අව අටවක ලබා 17 බ්‍රහස්පතින්දා පූ.භා. 07.57 ගෙවේ 16 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]