[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිස් හදමඬල මිහිමඬලට ආශිර්වාදයක් වීමට නම්...

මිනිස් හදමඬල මිහිමඬලට ආශිර්වාදයක් වීමට නම්...

සිදුහත් මහබෝසත් මාතාවෝ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳගත් අවස්ථාවේ ද පෙහෙවස් සමාදන්ව සිටියා ය.

මවගේ සිතුම් පැතුම් සිතිවිලි ධාරාව කුස තුළ වැඩෙන දරුවාගේ කායික, මානසික වැඩීමට ඍජු ලෙසම බලපායි. එනිසාම බුද්ධිමත් ගර්භණී මාතාව දහමට නැඹුරුව බෝමලුවක් වෙතට ගොස් වතාවත් සිදු කරයි.

භාවනා කිරීම, කරණීය මෙත්ත සූත්‍රය, අංගුලිමාල පිරිත ආදී පිරිත් සූත්‍රයන් සජ්ඣායනා කිරීම මවගේ කායික මානසික නිරෝගී බවට හේතු වෙයි. එය දරුවාගේ හිතසුව පිණිස ද මහෝපකාරි වෙයි.

සමාජ හිතකාමී, ආදරය , දයාව, කරුණාව ආදි ගුණයන්ගෙන් ළතෙත් හදවතින් යුතු දරුවකු විශ්ව පවුලට ඉන් දායාද වෙයි. බුද්ධිමත් මව්පියෝ මෙම වගකීම් සහගත දෙමාපිය භූමිකාව හොඳින් දැන ඒ අනුව ක්‍රියා කරයි.

“පාපා නිවාරෙන්ති” – කල්‍යාණේ නිවේසෙන්ති”

දරුවකු පාපයෙන් වළකා යහපතෙහි යෙදවීමේ බුදුන් වහන්සේගේ පාඩම ක්‍රියාවට නැඟීම දරුවකුගේ තිඹිරිගෙය තුළදී ම ආරම්භ කළ හැකි ය. ගුණගරුක දෙමාපියන්ට, ගුණගරුක දරුවන් ම ලැබීමෙන් සමස්ත විශ්ව පවුල සුවපත් වෙයි.

එදා මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් මිස්සක පව්වෙන් දේශය සිසාරා පැතිරුණු සදහම් මාරුතයෙන් අපේ අම්මාවරු මොනවට සැනසුනහ.

එම සදහම් සිසිලසින් මතු පරම්පරාව ද සැනසීමට පත්විය. මව් ඇකයේ නැළැවුණු සිඟිති දරු පැටවාගේ හිස පිරිමදිමින් කරුණාබර මවු මුවින් මිමිණුවේ බුදුගුණ ශාන්තියයැ.

මුනි සිරිපා සිඹ සමනොළ ගිරි පෙදෙසින් හමන මඳ සුළඟ වැද නිදි දෙව්දුව හා සුව නින්දකට වැටෙන දරුවාගේ මනසේ දෝංකාර දෙනුයේ ශාන්තිදායක බුදුගුණ ශබ්ද තරංගයයි. එය දරුවාගේ හදමන සනහාලයි.

ටිබටයේ මහින්ද හිමිගේ දිව්‍ය මන්ත්‍රණය සදිසි දරු නැළවිලි කව් දෙව්ලොව දෙවියන් මනුලොව මිනිසුනට දුන් අමිල ත්‍යාගයන් ය. සරසවි නොගිය, උසස් අධ්‍යාපන වරම් නොලද අපේ අම්මලාගේ බුද්ධි ප්‍රභාවය මතු පරම්පරා ගණනාවක් මිනිස්කමේ දීප්තියෙන් බබළවයි.

“දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබු දැකලා දුවන්නියා”

මෙබඳු කවි ගය ගයා අපේ අම්මාවරු හඬන දරු දැරියෝ නැළවූහ. පුංචි දරු දැරියන්ගේ අයෝමය පෞරුෂ සංවර්ධනය උදෙසා මේ නැළවිලි කවිය කොතරම් උපකාරවත් දැයි විමසා බැලීම වටියි.

රටත්, ජාතියත් ආපදාපන්න වූ කල දීප්තිමත් ප්‍රදීපස්ථම්භ ලෙස නැඟී සුරුවිරුකම් පා රට දැයේ විමුක්තිදායකයන් වූ වීර මොනරවිල, කැප්පෙටිපොල අදිකාරම්තුමා, පුරන් අප්පු විරුතුමා. ගොංගාලේගොඩ බණ්ඩා විරුතුමා ආදි විරුවන් දැයට තිළිණ වූයේ ඉහත කවිවලින් අම්මාවරු සිඟිති හදේ පෞරුෂය නැංවූ නිසා ය.

ගල් අරඹේ මහා සද්දන්තයා සිඟිති පුතුට බියේ පලා යයි යන සිතිවිල්ල ළපටි හදසන්තානයට කාවැද්දීමෙන් තෙදබලැති සූර, වීර, ධීර අයෝමය හෙළ විරුවෝ දැයට බිහිවූහ.

අතට වෙරළු ඇහිඳ ගෙනේ
බරට ම දර කඩා ගෙනේ
ඉනට පලා නෙළා ගෙනේ
එයි අම්මා විගසකිනේ

අම්මා කෙනෙක් දරුවන් රකින්නට දරනා තැත, වෙහෙස මහන්සිය හා මුසුවූ දරු සෙනෙහේ දරුවන් තුළ කිඳා බැසීමෙන් මාතෘත්වයේ අගය දත්, මව්පිය ගුණ සංවේද, මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසකු නිර්මාණයට මඟ පාදයි.

“බබා මගේ හරි හපනා
දවසක කොළඹට යනවා
පනම් තිහක් පඩි කනවා
ඒ පනමේ ලුණු කනවා”

යන නැළවිල්ලෙන් කුඩා මනසට දැනෙන්නේත්, බහ තෝරන කල පටන් සිතන්නේත් තමන් හපනකු බවයි. දක්ෂ පක්ෂකම් ඇත්තකු බවයි. ධනාත්මක චින්තනය සිඟිති මනසේ මින් රැව්පිළි රැව් දෙයි.

උස්මහත් වූ දරුවා, හැදූ වැඩූ දෙමාපියන් අමතක නොකරන බව ද මින් කියැවෙයි. අර්ථය නොදැනුනත් කර්ණරසායන මිහිරියාවෙන් නැළැවෙන සිඟිත්තාගේ පෞරුෂ වර්ධනයට අම්මාවරු සිඟිති මුවකමල සිඹ සිඹ ගැයූ දරු නැළවිල්ල රන්මිණි මුතු ධන නිදාන වූයේ ය.

ලොව සෑම යහපත් දෙයක් ම බිහිවනුයේ හිරුකිරණින් හා මවගේ කිරි බින්දුවෙනි යන කීර්තිධර රුසියානු සාහිත්‍යධර මැක්සිම් ගෝර්කිගේ කියමන හුදු අතිශයෝක්තියක් නොවන බැව් සක්සුදක් සේ පැහැදිලි ය.

දවසක් බුදුරදුන් සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කළ දිනෙක ප්‍රජාපතී රහත් භික්ෂුණීන් වහන්සේ අවුත් බුදුසිරිපා පද්මය අභියස වැඳවැටී

"බුදුපියාණෙනි, “ඔබ වහන්සේ කුඩා කල සිදුහත් බෝසත් අවධියේ මවුතුමි මායා දේවිය කලුරිය කළ පසු බෝසතුන් රැක බලා හදාවඩාගත් අම්මා මම වෙමි. ඔබ වහන්සේට මා එදා අම්මා වුව ද අප බුදුපියාණන් වහන්සේ අද අපට අම්මා කෙනෙකි. තුන්ලොවට ම බුදුඅමා මෑණියන් වහන්සේ ය.” යනුවෙනි.

තිලොව අමා මෑණි වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ක්ෂීරයෙන් දරුවකු ගත සිත වඩන්නට මව්පියෝ උත්සුක වෙත් ද, කරුණාව, දයාව, මෛත්‍රිය, ඉවසීම, අධිෂ්ඨානය, සත්‍යගරුකවීම, කෙටියෙන් ම පවසතොත් පිරුණු මනුෂ්‍යත්වය කියා දෙන බුදුදහමේ හර පද්ධතිය දරුවාගේ ජීව රුධිරයට කාවද්දයි නම් ඉන් තැනෙන මිනිස් හද මඬල මිහිමඬලට ආශිර්වාදයකි.

සැබෑ පුරුෂාර්ථයන්ගෙන් සුසැදි මිනිස් කැළ මිනිස් ලොව දිව්‍ය විමානයක් කරයි. සරු අස්වැන්නකට බිම සකසන්නා සේ දෙව් විමනක් පිණිස තිඹිරිගෙය සකසන බුද්ධිමත් මව්වරුන්ගේ කාර්යභාරය සුළුපටු නොවෙයි. 

බිනර අව අටවක පෝය

 සැප්තැම්බර් 17 සෙනසුරාදා අපරභාග 02.18 අව අටවක ලබා 18 ඉරිදා අපරභාග 04.36 ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]