[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අව අටවක 2022-09-17

සැබෑ සතුට

දැනුම් තේරුම් ඇති දා සිට අප කරන කියන සෑම කටයුත්තකින් ම බලාපොරොත්තු වන්නේ සතුට ය. සැනසීම ය. . එය ළඟා කර ගැනීමේ මාර්ග පමණක් විවිධ ය. කෙනකුගෙන් කෙනකුට සාපේක්ෂ ය. කෙසේ වුවද බොහෝ පිරිසක් සැනසීමේ මඟ සොයා යමින් වැනසීමට පත්වන ආකාරය ද දුලබ නොවේ. ඒ යහපතට පිටුපා අයහපත තුළ ඉතා වේගයෙන් සැනසීම සොයා යෑමේ ප්‍රතිඵලය යි.

සම්බුදු දහම තුළ බෞද්ධයාට සතුට ළඟා කර ගන්නා ආකාරය පිළිබඳ මනා විවරණයක් ඉදිරිපත් කෙරෙයි. ධම්මපදයේ යමක වග්ගය තුළ සඳහන් කරන්නේ පින් කළ පුද්ගලයා මෙලොව සතුටු වන බව ය. පරලොව ද සතුටු වන බව ය. තමන් විසින් පින් කරන ලදැයි සිතා සතුටු වන බව ය. සුගතියට ගියේ වඩාත් සතුටු වන බව ය.

ජීවිතයට පින් රැස් කිරීමේ දී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ප්‍රධාන වේ. එනම් දාන, සීල, භාවනා යන පින්කම් ය. තමන් සතු දෙයක් පරිත්‍යාග කිරීම තුළ ලෝබය දුරුවේ. සිල්වත් පුද්ගලයා පස්පව් නොකරයි. ඒ තුළ ඔහු තමන්ට සේ ම අනුන්ට ද අනර්ථයක් කර නොගන්නා පුද්ගලයෙක් බවට පත්වේ. අටසිල් හි පිහිටීම, සමථ හෝ විදර්ශනා භාවනාවක නිරතවීම තුළ ද පින් රැස්වේ. සතුට උදාවේ.

එමෙන් ම ලෝබ, දෝෂ, මෝහ යන අකුසල මුල් මැඩපවත්වමින් , සිඳ දමමින් තමන් කළ පුණ්‍ය ක්‍රියාවන් තුළින් ලද පින් අනුන්ට අනුමෝදන් කිරීම, අනුන් කරන පින්කම් දැක සැදැහැ සිත් උපදවා ඒ පින් තමන් ද සතුටු සිතින් අනුමෝදන් වීම, ආලෝකය ලැබිය යුතු තැන්හි අඳුර දුරු කොට පහන් කිරීම, ජලය ඇවැසි තැනට ජල පහසුකම් සලසා දීම වැනි වතාවත් කිරීම පින් රැස්වෙන පින්කම් ය. අද ඇතැම් පිරිස් පුරුදු වී සිටින්නේ තමන්ගේ නිවෙසේ කැළිකසළ එක් රැස් කොට දෙනෝදාහක් දෙනා ගමන් කරන මහ පාරට හෝ ගෙන ගොස් දමා තමන් නිදහස් වන්නට ය. තමන් ගේ නිවෙසේ කුණු විසිකර දැමුවේ යැයි යම් සතුටක් ඒ මොහොතේ අත්පත් කර ගත්ත ද ඒ පසු පසින් ම දුක ඒ පුද්ගලයා හඹා එයි. පව් රැස්වෙයි. එහෙත් පින් කැමැති පුද්ගලයා සිදු කරන්නේ එසේ කැළි කසළ පිරුණු පොදු ස්ථාන පිරිසුදු කොට පිරිසුදු වටපිටාවක් ඇති කිරීම ය. ඒ තුළ බොහෝ දෙනාට සෙත සැලසෙන අතර එහි සතුට සැනසීම වතාවත් කළ පුද්ගලයාට ය.

වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම සේ ම, නොමඟ ගිය කෙනෙක් වේ නම් සුමඟ කියාදීම, ධර්මය නොදන්නා අයට ධර්මය දැන ගන්නට සැලසීම, සදහම් ශ්‍රවණය කිරීම, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාවන්ත වීම, ජීවිතයේ සතුට, සැනසීම බලාපොරොත්තු වන අය විසින් අනුගමනය කළ යුතු පින් ක්‍රියාවන් ය.

බොහෝ දෙනකුට වරදින්නේ සතුට ඇත්තේ මිල මුදල් , යාන වාහන,මහා මන්දිරවන් ගේ දොර තුළ බව සිතමින් ඒවා අත්පත් කර ගන්නට හැල්මේ දිව යෑම නිසා ය. ගිහියාට අඩුපාඩුවකින් තොර සැපවත් ජීවිතයක් උදාකර ගැනීම වරදක් නැත. ඔහු ලස්සනට ජීවත්විය යුතු ය. එහෙත් ඒ සඳහා වන ගමන් මඟ යහපත් විය යුතු අතර, ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. පින් කරන්නට පෙළඹෙන්නේ, ජීවිතය අර්ථවත් වන්නේ ඒ අවබෝධය තුළ ය. අනුන්ට දුක් ගින්දර දී මොන තරම් සැප සම්පත් ලැබුණ ද, ලෝකයට පෙනෙන්නට ඒ ධනයෙන් මහා දාන මාන කළ ද ඔහු ගේ සිත දවාලන ගින්න නිවා දමන්නට මහා සාගරයක ජල කඳකට වුව ද නොහැකි ය. ඒ සිසිලස ලැබෙන්නට නම් ධර්මානුකූල මාවතට පිවිසිය යුතුම ය.

බිනර අව අටවක පෝය

 සැප්තැම්බර් 17 සෙනසුරාදා අපරභාග 02.18 අව අටවක ලබා 18 ඉරිදා අපරභාග 04.36 ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]