[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැහැදුණු සිතින් දහම් අසන්න නපුරු විෂ පවා නසන්නට පුළුවන්

පැහැදුණු සිතින් දහම් අසන්න නපුරු විෂ පවා නසන්නට පුළුවන්

පුරාණ ලංකාවේ රුහුණු, පිහිටි සහ මායා නමින් පළාත් තුනක් තිබුණා. රුහුණ අයත් වුණේ වර්තමාන දකුණු පළාතට සහ නැඟෙනහිර පළාතට. සිය ගණන් භික්ෂු, භික්ෂුණීන් වහන්සේ ලෙන් විහාර, ග්‍රාමවාසී විහාර සකසාගෙන මේ ප්‍රදේශවල වැඩ සිටියා.

රුහුණු රටේ එක් ප්‍රදේශයක තිබුණා මහගම කියලා ගමක්. රත්රන්, රිදී, මුතු, මැණික් සහ නොයෙකුත් වටිනා වස්තූන්වලින් මේ ගම පොහොසත්. තුනුරුවන් සරණ ගිය පිරිසක් තමයි ගමේ ජීවත් වුණේ. තරුණ, තරුණියෝ නැටුම්, ගැයුම්වලින් නිතර විනෝද වුණා.

එහෙම වුණත් දන්දීම්, බණ ඇසීම්, විවිධ බෞද්ධ උත්සව පැවැත්වීම් අමතක කළේ නෑ. සත්‍ය අවබෝධ කරගෙන හැමදෙනා ම සතුටින් ජීවත් වුණා.

මහගමේ තිබුණා මැණික් වෙහෙර කියලා විශාල විහාරයක්. මැණික් තැන්පත් කළ නිසයි නම ලැබිල තියෙන්නේ. විහාරය මැදිවන සේ ගජමුතු මෙන් බබළන සුදු වර්ණයෙන් යුක්ත මහා ප්‍රාකාරයක් ඉදිකර තිබුණා. නායක තෙරුන් වහන්සේ මහගම් වැසියන්ගේ දෙලොව යහපත පිණිස ධර්ම දේශනා පවත්වන්න පුරුදු වී සිටියා. ගම්වැසියෝත් සවස් යාමය උදාවත් සමග කර්මාන්ත කටයුතු අත්හැර පිරිසුදු වී සුදුසු ඇඳුම්වලින් සැරසී විහාරයට යාම පුරුද්දක් කර ගත්තා.

ඉර බැස යත් ම විහාර මලුවෙන් ඇසෙන්න පටන් ගන්නේ සාධු නාදය යි. ගම පුරා එය පැතිර ගියා. දාගැබ පිහිටි මලුව සුදුවැලි තලාවෙන් බැබළුණා. අසුන් ගැනීමට ඇති පහසුවත්, වෙහෙස වී පැමිණෙන ගම්වැසියන්ගේ ගතට සිසිලසකුත් වෙහෙර මලුවෙන් ලැබුණා. වෙහෙර මලුවේ ධර්ම දේශනා පැවැත් වුණේ ඒ නිසයි.

එක් උපාසිකාවක් හැමදාම බණ අහන්න විහාර මලුවට එනවා. දවසක් ඇයත් සමඟ විහාරයට එන පිරිස වෙනදා වේලාවටත් පෙර විහාරයට පැමිණ තිබුණා. උපාසිකාවට තනිවම පැමිණීමට නො හැකියි. තම සැමියාත් බැහැරක ගොස් තිබුණා. කොහොම හරි බණ අහන්න යන්නත් ඇයට අවශ්‍ය යි. වැලි සෙල්ලම් කරන වයසේ සිටි දරුවාත් සූදානම් කරගෙන තනිවම විහාර මළුවට ළගා වුණා.

මහගමේ හැමෝම එදා ඇවිත්. විහාර මලුව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරිලා ගිහින්. ඇයට ඉඳගන්න වැලි මලුවේ ඉඩක් ඇත්තේ ම නෑ. ඇය විහාර ප්‍රාකාරයෙන් පිටත සිට ‘’මම බොහොම වෙහෙස වී මේ ගමන ආවේ. වෙනදාට නම් වැලිමලුවේ පහසු තැනක හිඳගෙන බණ අහනවා. අද මම ප්‍රමාද වුණා. වෙනදා වගේ එක සිතින් බණ අහන්න අවස්ථාවක් නෑ. ඉඳගන්න තැනක් නෑ. පුතුට ඉන්න තැනක් නෑ. ඒ වුණත් වෙනදා වගේ ම පදයක් නෑර, අකුරක් නෑර බණ අහන්න ඕන” යි කල්පනා කළා.

බණ පද හොඳින් ඇහෙන, වැලිමලුවේ කෙළවරක හිදගෙන බණ අහන්න පටන් ගත්තා. තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය ගත වෙමින් ගියා. පැමිණි සැදැහැති පිරිසත් වෙනදා වගේම හොඳින් බණ අහමින් සිටියා. තමන්ගේ පුතු වැලි සෙල්ලම් වයසේ පසු වුණ නිසා වැලි අරගෙන විසිකරමින්, ඒවායෙන් විවිධ නිර්මාණ හදමින් සෙල්ලම් කරමින් සිටියා. පුංචි පුතාගේ වැලි පහරක් ප්‍රාකාරය දෙසට විසි වුණා. ඒ වැලි කැට වැදී කෝපයට පත් විශාල නාගයෙක් ප්‍රාකාරයෙන් මතු වුණා. වහා පුංචි පුතාට දෂ්ට කර සැඟ වී ගියා. මව මේ සිද්ධිය හොඳින් දුටුවා. එහෙත් බණ අසන කටයුත්ත අතහැර දරුවා බේරා ගැනීමට ගියේ නෑ.

ඇය හිඳගෙන ම ‘’ඉදින් මේ විපත බණ අහන කෙනකුට කිව්වොත් ඔහුගේ බණ ඇසීමටත්, මගේ බණ ඇසීමටත්, සෙසු පිරිසගේ බණ ඇසීමටත්, බණ දේශනා කරන තෙරුන් වහන්සේටත් බාධාවක් ම තමයි සිදු වෙන්නේ. දරුවන් හදා ගැනීම නම් එතරම් දුර්ලභ නෑ. එහෙත් බණ ඇසීමත්, බුද්ධොත්පාද කාලයක් ලැබීමත්, මිනිස් බවක් ලබා ගැනීමත් ඉතා දුර්ලභ යි. මට කන් ඇහෙනවා, ඇස් පෙනෙනවා, සම්පූර්ණ ශරීරයක් ලබා තියනවා. එසේ දුර්ලභව ලැබූ දේ හිමිව ඇති මම බණ අසා අවසානයේ දී ම පුතුගේ සුවය ගැන සොයා බලනවා”යි දැඩි අධිෂ්ඨානයෙන් තීරණය කර ගත්තා.

බණ අහමින් සිටින ඇයට පෙනෙනවා ක්‍රමයෙන් දරුවා සිහිනැතිව යනවා. ශරීරය දැඩි වී යනවා. එහෙත් බණ ඇසීම නවතා දැමුවේ නෑ. බණ අසන සෙසු පිරිසට බාධා කළේ නෑ. දිගට ම ඇය බණ ඇසුවා. ඒවා ධාරණය කර ගත්තා. ධර්ම දේශනාවේ කෙළවරට ක්‍රමයෙන් පැමිණියා. ඇය වහා නැඟී සිට පුතා ව දෑතින් ඔසවා ගත්තා. බණ ඇසීමට පැමිණි සෙසු පිරිසත්, භික්ෂූන් වහන්සේත් එතැනට පැමිණ සිදුවුණ විපත දැක බොහෝ දුකටත්, ශෝකයටත් පත් වුණා. වෙදැදුරා වෙත ගෙනයාමට පිරිසක් සූදානම් වුණා. තවත් පිරිසක් යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් සුවපත් කිරීමට ඉදිරිපත් වුණා.

එහෙත් උපාසිකාව එයට කැමති වුණේ නෑ. ‘’ පුතාට ඇති එකම බෙහෙත තමයි සත්‍යක්‍රියා ඖෂධය. තුනුරුවන්ගේ පිහිට හැර වෙන පිහිටක් මෙයට නෑ”යි පවසමින් ඇය සත්‍යක්‍රියා කරන්න පටන් ගත්තා.

පැමිණි පිරිස දරුවාගේ නිසල ශරීරය දෙස බලමින් මවට දොස් නගන්න වුණා. උපාසිකාව කිසිම කෙනකුගේ උපදෙසක් පිළිගත්තේ නෑ. ඇය බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවනේ පිහිට ම විශ්වාස කළා. ආශීර්වාදය ම ප්‍රාර්ථනා කළා. වෙහෙර මලුවේ පහසු තැනක ඉඳගත්තා. පුතුගේ හිස පිරිමදිමින් මෙහෙම සත්‍යක්‍රියා කළා.

‘’මම යම් සත්‍යයක් හේතුකොටගෙන බුදුන් සරණ ගියෙමි. ඒ සත්‍ය හේතු කොටගෙන මගේ පුතා නිර්විෂ ඇත්තෙක් වේවා! සුවපත් වේවා!,

යම් සත්‍යයක් හේතුකොටගෙන මම දහම් සරණ ගියෙමි. මගේ පුතා නිර්විෂ ඇත්තෙක් වේවා! සුවපත් වේවා!,

මම යම් සත්‍යයක් හේතුකොටගෙන මහා සඟරුවන සරණ ගියෙමි. ඒ සත්‍ය හේතුකොටගෙන මාගේ පුතා නිර්විෂ ඇත්තෙක් වේවා! සුවපත් වේවා!,

යම් සත්‍යයක් හේතුකොටගෙන ධර්මය අසනු ලබන්නා වූ මම එක මාත්‍රයකුදු අන්තැනක හිත නොයවා ධර්මය ඇසුවෙමි. ඒ සත්‍ය හේතුකොටගෙන මගේ පුතා නිර්විෂ ඇත්තෙක් වේවා! සුවපත් වේවා!,

මෙතෙක් කලක් මම බණ ඇසුවෙමි. ඒ හැම වාරයක දී ම බණ පදවල එක අකුරක් හෝ එක පදයක් හෝ කථා මාර්ගයක් හෝ අත්නොහැර ධර්මය ඇසුවෙමි. ඒ සත්‍ය හේතුකොටගෙන මගේ පුතා නිර්විෂ ඇත්තෙක් වේවා! සුවපත් වේවා!, බුදුරජාණන් වහන්සේ නෛර්යානිකයි, ධර්මය මේ ආත්මයේ දී ම විපාක දෙන්නක්. කල් නොයවා ඵල ලබා දෙන දෙයක්. ඒ සත්‍ය හේතුකොටගෙන මගේ පුතා නිර්විෂ ඇත්තෙක් වේවා! සුවපත් වේවා!,

මහා සංඝරත්නය මනා පිළිවෙත්වලින් යුක්ත යි. සතර මාර්ග සතර ඵලයෙහි පිහිටා සිටියි. ඒ සත්යෙ හේතුකොටගෙන මගේ පුතා නිර්විෂ ඇත්තෙක් වේවා! සුවපත් වේවා!,

මේ සම්බුද්ධ ශාසනය අවුරුදු පන්දහසක් පවතිනවායි !පවසනවා. ඒ සත්‍ය හේතුකොටගෙන මගේ පුතා නිර්විෂ ඇත්තෙක් වේවා! සුවපත් වේවා!” මෙසේ කියමින් ඇය පුතුගේ හිස පිරිමැද්දා.

නෙළුම් කොළයට දිය බිඳු වැටෙන්නාක් මෙන් විෂ ශරීරයේ පවා නො ගෑවී බිමට පතිත වුණා. පුතු නිදා පිබිදියාක් මෙන් සිහිය ලැබුවා. මවගේ තුරුලට ම වී හිනැහුණා. නැවතත් පුරුදු ලෙසම වැලි සෙල්ලම් කරන්න පටන් ගත්තා.

මව බොහෝ සතුටට පත් වෙමින් පුතා ද රැගෙන ගම්වැසියන් එක්ක නිවස බලා පිටත් වුණා. තෙරුවන් කෙරෙහි අපමණ පැහැදීමට පත් ඇය බොහෝ පින්කම් කර ජීවිතාවසානයේ දෙව්ලොව උපත ලැබුවා.

පැහැදුණු සිතින් ධර්මය අසන්නා නපුරු විෂ පවා නසා දමනවා. දිව්‍ය සම්පතුත්, නිර්වාණයත් අත්කර ගන්නවා. දුක්ඛිත සසරේ ගමන් කරන සත්වයාට ඇති එකම පිහිට ධර්මයයි.

බිනර පුර අටවක පෝය

 සැප්තැම්බර් 03 සෙනසුරාදා අපරභාග 12.27 පුර අටවක ලබා 04 ඉරිදා පූර්ව භාග 10.39 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]