[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහම බටහිර ලෝකය පිළිගත් ආගමක් බවට පත්කිරීමට කටයුතු කළා

බුදුදහම බටහිර ලෝකය පිළිගත් ආගමක් බවට පත්කිරීමට කටයුතු කළා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ විහාරාධිපති ශ්‍රී නාග පිරිවෙන් විහාරය,ඇම්බරළුව දකුණ, වැලිවේරිය,ඔස්ට්‍රියන් බෞද්ධ සංගමයේ ථෙරවාද බුදුදහමේ ප්‍රධාන අනුශාසක, ප්‍රධාන අනුශාසක හැම්බර්ග් බෞද්ධ සංගමය අධ්‍යක්ෂ, ඥානපෝණික බෞද්ධ අධ්‍යයන ආයතනය වියානා-ඔස්ට්‍රියා, හිටපු කථිකාචාර්ය වියානා විශ්ව විද්‍යාලය ඔස්ට්‍රියා, හිටපු කථිකාචාර්ය සහ සාමාජික එල්.ජී.ටී. ඇකඩමිය,ලිහ්ටන්ස්ටයින් දීපේගොඩ සිරි චන්දවිමල වංශාලංකාර යුරෝපාමහාදීප ධම්මදූත සංඝපති යුරෝපයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය විජයරාජපුර සීලවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ජ්‍යෙෂ්ඨතම විශිෂ්ට ධර්ම දූත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ජාත්‍යන්තරය තුළ පවා චිරප්‍රසිද්ධ ඔබ වහන්සේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගනිමින් විදේශීය ධර්මදූත සේවය ආරම්භ කළ ආකාරය පැහැදිලි කරමින්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙමු අපේ හාමුදුරුවනේ,

මම 1982 වර්ෂයේ දී උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රියාවේ වියානා විශ්ව විද්‍යාලයට වැඩම කළා. 1992 වර්ෂයේ දී මම ආචාර්ය උපාධිය ලබා ගත්තා. එම සිදුවීම වැදගත් වන්නේ ජර්මන් භාෂා ඉතිහාසයේ ජර්මන් භාෂාවෙන් පළමුවරට ආචාර්ය උපාධියක් ලබා ගත් බෞද්ධ භික්ෂුව වශයෙන් මා ඉතිහාස ගත වීමයි. ඒවගේම ජර්මන් භාෂා ඉතිහාසයේ ජර්මන් භාෂා මාධ්‍ය විශ්ව විද්‍යාලයක බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳී 1993 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මහාචාර්යවරයකු දක්වා සේවය කළ ප්‍රථම බෞද්ධ භික්ෂූන් වහන්සේ ලෙස සටහන් වුණා. වියානා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ දී ම ධර්මදූත සේවය සඳහා යොමු වුණා. ජර්මන් භාෂා කුසලතාව එහිදී ලොකු ශක්තියක් එක් කළා. 1983 වර්ෂයේ දී බුදුදහම බටහිර ලෝකයේ රාජ්‍ය පිළිගත් ආගමක් බවට පත්කිරීමට කටයුතු කිරීමේ ඉතිහාසගත ‌ඓතිහාසික අවස්ථාව ලැබීම විශාල සතුටක්. 1984 වර්ෂයේ සිට වර්තමානය දක්වා ඔස්ට්‍රියන් ථෙරවාදී බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක වශයෙන් කටයුතු කරනවා. ජර්මනියේ හැම්බර්ග් බෞද්ධ සංගමයේ අධ්‍යක්ෂ, වියානා - ඔස්ට්‍රියා ඥානපෝණික බෞද්ධ අධ්‍යයන ආයතනයේ කථිකාචාර්ය, වියානා-ඔස්ට්‍රියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය,එල්.ජී.ටී. ඇකඩමියේ සාමාජික වශයෙන් කටයුතු කරමින් ලෝක ශාසනික සේවයෙහි නියැළෙමින් සම්බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම එකම බලාපොරොත්තුවයි. වර්තමානය වන විට 5000කට වැඩි ඔස්ට්‍රියන් ජාතික පිරිසක් බෞද්ධ සංගමයේ දායකයන් වශයෙන් සිටිනවා. එය විශාල දායක සභාවක්.

සුපේශල ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් මෙතරම් සාර්ථක දිගු ගමනක් යාමට ශක්තිය ලැබුණු පසුබිම සකස්වුණේ කොහොමද ? නායක හාමුදුරුවනේ,

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විජයරාජපුර ග්‍රාමයේ තමයි මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ. පයාගල අප්පුහාමිලාගේ දෝන ආඩිනෝනා මෑණියන් වගේම පොල්වත්තේ ගාල්ලගේ ප්‍රේමදාස පියාණන් යන ආදර්ශවත් සදාදරණීය ශ්‍රද්ධාවන්ත ගුණගරුක මව්පිය දෙපළගෙන් අපේ ජීවිත සකස් කර ගැනීමට ලැබුණු සහයෝගය ඉතාම විශිෂ්ට බව කෘතවේදීව සිහිපත් කළ යුතුයි. පොළොන්නරුව ප්‍රදේශයේ දුෂ්කරතා තිබුණත් ඒ පළාතේ මිනිසුන් බොහොම සාමකාමී සරල ගොවි ජීවිතයක් ගත කළ නිසා අපිට ධර්මානුකූල ජීවිතයක් ගතකිරීමට අවස්ථාව ලැබුණා. ගමේ තිබුණ සංස්කෘතික පදනම මත ගොඩනැඟුන පරිසරයේ ආභාසය කුඩා කාලයේ සිටම අපිට අත්විඳීන්නට ලැබුණ නිසා ආගමික අධ්‍යාපනයේ මූලය අපේ ජීවිත තුළට ළඟාවුණේ ඒ පරිසරය තුළින් ම යි. විජයරාජපුර විද්‍යාලයෙන් 6 ශ්‍රේණිය දක්වා මම මූලික ගිහි අධ්‍යාපනය ලබා ගත්තා. බොහොම ශ්‍රද්ධාවන්ත මව්පියන්ගෙන් ලැබුණ ශාසනික උරුමයත්, සංසාරයේ පුරණ ලද පාරමිතා බලයත් නිසා ම පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමානව විජයරාජපුර සීලවංස යන උත්තරීතර ශාසනික නාමයෙන් 1964 වර්ෂයේ දී සම්මාසම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බවට පත්වීමට තරම් භාග්‍යවන්ත වුණා.

පුණ්‍යවන්ත පැවිදි ජීවිතය උරුම කර දුන් මාගේ ගුරුදේවෝත්තම පාදයන්වහන්සේ වුණ නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනේ පරිවේණාධිපතිව වැඩසිටි ගම්පොල භාගින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, උපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කළ දීපේගොඩ චන්දවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේ යන අතිපූජනීය වන්දනීය බෝධිසත්ව ගුණෝපේත ස්වාමීන් වහන්සේ දෙනම පූණ්‍යානුමෝදනාපුර්කව, කෘතවේදීව ගෞරවයෙන් මේ අවස්ථාවේදී, සිහිපත්කිරීම වැදගත්. පැවිදි වීමෙන් අනතුරුව කොත්මලේ වටද්දර ඥානෝදය පිරිවෙන , නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන යන දීප්තිමත් පරිවේණාස්ථානයන්හි වැඩසිටි ලංකා ශාසනම්බරය ආලෝකවත් කළ නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කළ සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේලාගේ සෙවණේ ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගෙන උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. කැලණිය විශ්ව විද්‍යාලය තුළ විෂයක් ලෙස ජර්මන් භාෂාව ඉගෙනීමෙන් ආගමික ජීවිතේ ඇති වූ පෙරළියක් ලෙස ධර්මදූත සේවය කිරීමේ අවස්ථාව උදාවුණා. ඒ අනුව ජර්මන් භාෂා සුදුසුකම මත 1982 වර්ෂයේ දී වැඩිදුර අධ්‍යාපනය සඳහා වියානා - ඔස්ට්‍රියා විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍ය ලැබීමත් සමඟ විදේශ ධර්මදූත සේවයට අවස්ථාව ලැබුණා.

පුරා වසර 40 ක් ලෝක බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට, සම්භාවනාවට පාත්‍ර වූ ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ලබා ගත් දැනුම් සම්භාරයට අනුව ධර්ම දූත සේවයේ නියැළීමට බලාපොරොත්තු වන අපේ ස්වාමීන් වහන්සේට ලබා දෙන අවවාද අනුශාසනා මොන වගේද ?

යම් භික්ෂූන් වහන්සේ නමක් විදේශීය ධර්ම දූතයන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, අනිවාර්යයෙන් ම භාෂාමය හැකියාව තිබිය යුතුම යි. එයිනුත් තමාට අදාළ රටේ මව්භාෂා දැනුම අනිවාර්ය යි. ඒ රටවල ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට හැකියාව තිබුණත්, බහුතරයක් ප්‍රංශයේ දී ප්‍රංශ භාෂාව අනුගමනය කළ යුතුයි. ජර්මනිය ,ඔස්ට්‍රියාව ආදී යුරෝපා රටවල ජර්මන් භාෂාව අනුගමනය කළ යුතුයි. එම රටවල ජනතාව භාෂා දෙක තුනක් කතා කළත් බුදු දහම පිළිබඳ යම් දේශනයක් සිදුකිරීමේ දී ඒ රටට අදාළ මව් භාෂාව භාවිත කිරීමෙන් ඔවුන්ට ධර්ම කාරණා පහසුවෙන් අවබෝධ කර ගත හැකියි. එනිසා ධර්මදූත සේවයේ දී මූලික වශයෙන් ම ඒ රටට අදාළ භාෂාව අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතුයි.

ඒවගේම ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. එයට හේතුවන්නේ හැම කරුණක් පිළිබඳව ම ඔවුන් අවබෝධයෙන්, පරීක්ෂාවෙන් බලන්න පුරුදුවෙලා තිබෙන නිසා යමක් ප්‍රකාශ කළ පමණින් ඒ රටවල ජනතාව පිළිගන්න යුහුසුළු වන්නේ නැහැ. එනිසා නිවැරැදි ධර්ම ඤාණයක් ලබා තිබිය යුතු ම යි.

ඒවගේම බණ භාවනාව පිළිබඳ හොඳ පුහුණුවක්, නිවැරැදි පරිචයක්, ආභාසයක් ලබා තිබිය යුතුමයි. ධර්මයට නැඹුරු වුණ කෙනෙක්ද? ධර්මයට අතුළුවෙලා නැතිද? කියන කාරණය එක වචනයක් කතා කරන විට ඔවුන්ට වැටහෙනවා. ඒවගේම යුරෝපීය ජාතිකයන් සිතන පතන ආකාරය, ඔවුන්ගේ ජන විඤ්ඤාණය පිළිබඳ අවබෝධයත් ඉතාම වැදගත්. පළමුව අපි ධර්මය තුළින් අපේ ජීවිතය සකස්කර ගත යුතුයි. අපි අපට අවංක වීම වැදගත්. වසර 40ක් පුරාවට ලබාගත් අද්දැකීම් අනුව ප්‍රකාශ කරනවානම්, මෙම කාරණා විශේෂයෙන් අනුගමනය කිරීම තුළින් ධර්ම දුත සේවයේ දී හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්කම තිබෙන බව ප්‍රකාශ කළ හැකියි.

බිනර පුර අටවක පෝය

 සැප්තැම්බර් 03 සෙනසුරාදා අපරභාග 12.27 පුර අටවක ලබා 04 ඉරිදා පූර්ව භාග 10.39 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]