[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආස්වාදය පසුපසම ආදීනව ද පැමිණෙනවා බොරු කියන්නේ බලාගෙනයි

ආස්වාදය පසුපසම ආදීනව ද පැමිණෙනවා බොරු කියන්නේ බලාගෙනයි

භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙන් පුංචි රාහුල පොඩිහාමුදුරුවන්ට බොරුවේ ආදීනව උපමා උපාමේය මඟින් ඉතා පැහැදිලිව විස්තර කර දුන්නා. එහිදී "එව මෙව ඛො රාහුල යස්ස කස්සචි සම්පජාත මුසාවාදෝ නත්ථි ලජ්ජා නාහං තස්සකුඤ්චි පාපං අකරණිය නති වදාමි.”

යම් කිසිවකු දැන දැන මුසාවාදා බිනීමෙහි ලජ්ජා නැද්ද ඔහු විසින් කිසි පවක් නොකොට හැකි යැයි මම නොකියමි.” පැවසූ සේක.

බොරු කියන පුද්ගලයාට කළ නොහැකි වෙනත් පවක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ඕනෑම අකුසලයක් කිරීමෙන් අනතුරුව එය බොරුවක් කියා වසා දැමීමට බොරුකාරයාට ශක්තියක් ඇත. එය ඉතාම අනතුරුදායක ය.

එහෙත් බොරුවේ ආදිනව දත් ගිහි පැවිදි සමහර ප්‍රඥාවන්ත පිරිස් බොහෝවිට බොරුව පරාජය කොට සත්‍ය ජය ගත් අවස්ථා ඇත.

දුටුගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා අතර යුද්ධයක් පැවති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ යුද්ධයෙන් පරාජයට පත් තිස්ස කුමාරයා පලා ගියේ ය. පලා යන තිස්ස කුමාරයා පන්සලකට ගොඩ වී එහි වැඩ සිටි හාමුදුරුවන්ගෙන් අවසර ගෙන ඇඳක් යට සැඟවී ගත්තේ ය. තිස්ස කුමරු සොයා එන ( ලුහුබැඳ) දුටුගැමුණු කුමරු පන්සලේ වැඩ සිටි හාමුදුරුවන්ගෙන් තිස්ස කුමාරයා ගැන විමසීය. ස්ථානෝචිත ප්‍රඥාාවෙන් කටයුතු කළ උන්වහන්සේ “ උන් හිටි තැන දැක්කේ නැතැයි” පැවසූහ. සියල්ල තේරුම් ගත් දුටුගැමුණු කුමාරයා බුදුදහම කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව නිසා ම නිශ්ශබ්දව පිටව ගියේ ය.

මෙහිදී එම භික්ෂූන් වහන්සේ මුසාවක් කීවේ නම් එය තමන්ගේ ශීලයට හානියකි. ඇත්ත ප්‍රකාශ කළේ නම් තිස්ස කුමාරයාගේ ජීවිතයට පවා අවධානම් වේ. ඒ නිසයි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ “ හිටගෙන ඉන්නා විට දැක්කේ නැති බව යි” තිස්ස කුමාරයා ඇඳ යටට රිංගුවේ ස්වාමීන් වහන්සේ පුටුවේ වාඩි වී සිටින විටයි. ගැමුණු කුමාරයා එනවිට ස්වාමීන් වහන්සේ හිටගෙනයි සිටියේ. ඉන් යහපත් ප්‍රතිඵල කීපයක් නෙළා ගැනීමට හැකි විය.

එහෙත් අද සමාජයේ බොහෝ දෙනා මුසාවක් පවසා ඉන් ආශ්වාදයක් විඳීමට පුරුදු වී සිටිති. එහි ආදීනව ගැන බොහෝ දෙනාට අවබෝධයක් ද නැත. පංචශීල ප්‍රතිපදාවේ එන හතර වැනි ශික්ඛා පදය වන්නේ “ මුසාවාදා වේරමණී ශික්ෂා පදං සමාදියාමි.” යන්නයි.

ඒ අනුව බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාවේ පිහිටා සිහි නුවණින් කටයුතු කළ යුතුව ඇත. තම මුඛයෙන් මුදාහරින වචනවල අර්ථය නොදැන වාග්ද්වාරය අසංවර වීම නිසා මේ අනතුර සිදුවේ.

මුසාවේ ආස්වාදයත් ආදීනවයත් ගැන සිහි නුවණ නැති බැවින් නිස්සරණයකට පැමිණිය නොහැක. දැන දැන බොරු කියන පුද්ගලයාට විඳින්නට සිදුවන මහේශාඛ්‍ය වූත්, අල්පේ ශාඛ්‍යවූත් දුක් විපාක බොහෝ ය. මෙලොව පරලොව යන දෙකෙහි ම ඔහු දුකට පත්වන බව ධර්මයේ සඳහන් වේ. ගොළු බවට පත්වීම, මුඛය දුර්ගන්ධ වීම සහ ගොත බවට පත්වීම බොරුවේ ආදීනව ය. තව ද නොකළ වැරැදිවලට දඬුවම් ලැබීම, නින්දා අපහාසවලට බඳුන් වීම, දරු සම්පත් අහිමි වීම, මව්පියන්ට අකීකරු වීම, දීනව උත්පත්තිය ලැබීම ආදී ආදීනවවලට බඳුන් වේ.

බොරු කීමෙන් සකස් වන කර්ම පථය නිසා කල්ප ගණන් නිරයේ පැහීමට සිදු වේ. ඉන් නිදහස්ව, මිනිසත් බවට පැමිණියත් ඉහත සඳහන් ආදීනවයන්ට මුහුණදීමට සිදුවන බව ධර්මයේ සඳහන් වේ. මේ අනුව සත්‍ය පවසා ගුටි බැටවලට හෝ සිරදඬුවමකට හෝ බඳුන් වීම ලාභයකි.

බෝධිසත්වයන් වහන්සේ එක බවයක අභිඤ්ඤාලාභී ඍද්ධිමත් තවුසකු ලෙස හිමාලයේ වාසය කළහ. උන්වහන්සේ හිතවත් රජ කෙනකුගේ දේවියක් සමඟ ඇති වූ රාගයක් නිසා තුන්වැනි සිල්පදය පළුදු විය. එහෙත් මිත්‍ර රජුට බොරු නොකියා බෝධිසත්වයන් වහන්සේ හතර වැනි සිල් පදය ආරක්ෂා කළහ.

බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේ ද පාරමී දහම් පුරණය කිරීමේ දී හතරවැනි සිල් පදය ආරක්ෂා කරමින් සත්‍ය පාරමිතාවට ගරු කළහ. බෝධිසත්වයන් වහන්සේගේ “හාරිත තාපස චරිතයෙන් ද, දීපායන චරිතයෙන් ද කියැවෙන්නේ , ඉස්මතු වන්නේත් බොරුවෙන් වැළකීමේ ආනිසංසයයි.

මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සුළු සැප අත්හැරිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි. එසේ නම් බොරුවක් පවසා තාවකාලිකව ලබන ආස්වාදය අත්හැරිය යුත්තේ ම ය.

එහෙත් අද සමාජයේ බොහෝ දෙනා බොරුවේ ආදීනව නොදත් නිසා සත්‍යයට මුහුණ නොදී පලා යාමට උත්සාහ දරති. වැඩිහිටි බොහෝ මව්පියන් තමන්ගේ දුවා දරුවන්ට විවිධ කරුණු පදනම් කරගෙන බොරු කියති. සිනාසීමට, විශ්මය දැනවීමට, රැවැටීමට, කුඩා දරුවන් නිශ්ශබ්ද කරවීමට, තමන්ගේ යටි අරමුණු ඉටු කර ගැනීමට, දරුවන්ගේ යහපත උදෙසා යැයි ලාමක ආකල්ප පදනම් කරගෙන මව්පියෝ බොරු කියති. දරුවෝ මව්පියන් අනුගමනය කරති.

බොරුවේ ආදීනව නොදත් අහිංසක දරුවෝ බොරුව සාමාන්‍ය වචනයක් ලෙසට පිළිගනිති. මේ නිසා බොරු කීමට ඔවුන් තුළ ලජ්ජාවක්, බියක් නූපදී. බොරුව විහිළුවක් වන අතර, සතුටක් උපදවිය හැකි දෙයක් ලෙසට ඔවුන්ගේ සිත තුළ තැන්පත් වී තිබේ. පසුකාලයේ දී ඔවුන් සමාජ ගතවෙන්නේ බොරුව පදනම් කරගෙන ය.

බොරුවට සමගාමීව යන හොරකම ද ඔවුන් හා එකතු වන්නේ නිරායාසයෙනි. මේ හේතූන් හරහා ඇතිවන ඵලය කෙබඳුවිය හැකි දැයි සිතා ගැනීමට අපහසු නැත.

“අම්භසක්ඛර පේත වස්තුවේ” .... නාන යහළුවන්ගේ වස්ත්‍ර එක යහළුවකු විහිළුවට සැඟෙව්වේ ය. විහිළුව දුර දිග ගියේ ඒ අවස්ථාවේ දී නොවේ. වස්ත්‍ර සැඟවූ යහළුවාගේ මරණයෙන් පසුව ඔහුට විඳින්න වූ ආදිනව ඉතා දුක් සහිත විය. මොහු පේ‍්‍රත ආත්මයක උපත ලැබීය. ඇඳුම් සඟවා විහිළුවට බොරු කිවූ විපාකය ඵල දුණි. පේ‍්‍රතයාට ඇඳුම් ද අහිමි විය. කර්මය, කර්මඵලය පිළිබඳ විශ්වාසයක් නොමැති අශ්‍රැතවත් පෘතග්ජනයාට විඳින්නට වන දුර්විපාක බොහෝ ය.

විශේෂයෙන් ම දුරකථන පරිහරණය කරන අද බොහෝ දෙනාට බොරුව රජ කරවීමට දුරකථනය අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී ඇත. මෝහය පදනම් කරගෙන සිදුවන මෙම ක්‍රියාවලිය වයස් භේදයකින් තොරව සිදුවේ. බොහෝවිට වයස්ගත අය සනසාලීමටත්, කුඩා දරුවන් නැළවීමටත්, පෙම්වතුන් හා පෙම්වතියන්ගේ කතා සල්ලාපවලදීත් දුරකථනය ඔස්ස් වැඩිපුරම ගලා එන්නේ මුසාවන් ය. මේ මුසාවන් හරහා බොහෝ දෙනා විඳින්නේ සාමිසවූත්, ලාමකවූත් ආශ්වාදයන් ය. එහෙත් එහි දුක් විපාක ගැන, එහි දීර්ඝකාලීන ආදීනව ගැන සිතන්නේ ද නැත.

තමන් නොදන්නා බව නොදන්නා පුද්ගලයා මෝඩයෙක් බවත්, තමන් නොදන්නා බව දන්නා පුද්ගලයා ප්‍රඥාාවන්තයෙක් බවත් ධර්මයේ සඳහන් වේ. ඒ අනුව බොරුවේ ආදීනව හා ආශ්වාදය ගැන කිව යුත්තේ ද එයයි. එසේ නම් සියල්ලෝ ම ප්‍රඥාවන්තයෝ ම වෙත්වා.

නිකිණි අව අටවක

 අගෝස්තු 18 බ්‍රහස්පතින්දා අපරභාග 09.27 අව අටවක ලබා 19 සිකුරාදා අපරභාග 11.04 ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]