[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කරදියත් මිහිරි පැන් කරන පින් සිතක මහිමය

කරදියත් මිහිරි පැන් කරන පින් සිතක මහිමය

දුටුගැමුණු මහරජතුමා දසමහා යෝධයනුත්, සෙසු යුද සේනාවත් සමග සතුරන්ට විරුද්ධව සටන් කළා. අවසානයේ ලංකා රාජ්‍යය එක් ධජයක් යටතට ගත්තා. යුද්ධයට සහාය වූ, නායකත්වය දුන් හැම කෙනකුට ම රාජ්‍ය වරප්‍රසාද වශයෙන් තෑගි භෝග, ගම්වර සහ තනතුරු ආදිය පිරිනැමුවා.

රජතුමාට බොහෝ සේ සෙනෙහස දැක් වූ, ආරක්ෂාව සැපයූ, කෑම බීම් ආදිය කෙරෙහි විශේෂ සොයා බැලීම් කළ විශ්වාසවන්තම රාජ්‍ය සේවකයෙක් හිටියා. ඔහුගේ නම තිස්ස.දවසක් රජතුමා පාන්දරින් ම අවදි වෙලා කණ්ඩුල ගැන සොයා බැලුවා. එවිට දැක්කා පය බැඳි යදමත්, බැඳ සිටි කඹයත් බිඳගෙන ඇත්හලින් පැනගොස් බව.

දින ගණනක් ගත වුවත් රජතුමාට කණ්ඩුල ගැන කිසිම ආරංචියක් ලැබුණේ නෑ. දවසක් තමන්ට විශ්වාසවන්තම රාජ්‍ය සේවකයා වන තිස්ස උපස්ථායක කැඳවලා

‘තිස්ස මම ලොකු වේදනාවකින් මේ දවස් කිහිපය ම ගත කළේ. මගේ පණ වගේ සිටිය කණ්ඩුල ගිය දිසාවක් තවමත් සොයා ගන්න නෑ. මට කොහොම හරි කණ්ඩුල සොයලා දෙන්න” යැයි ප්‍රකාශ කළා.

ඔහු මහා කැලෑ මැදින් දින ගණනක් ඇවිද ගියා. ඇත් අඩි ඔහුට හොඳින් හඳුනා ගන්න පුළුවන් වුණා. ක්‍රමයෙන් ඔහු ළගා වුණේ මහානිජ්ඣර නම් අරණ්‍ය විහාරයකටයි. බැලු බැලූ අත දර්ශනය වුණේ භාවනායෝගී භික්ෂූන් වහන්සේ යි. සමහර භික්ෂූන් වහන්සේ රුක්මුල්වල වැඩ සිටිමින් භාවනාවේ යෙදී සිටියා. තවත් කෙනෙක් අභ්‍යවකාශය අරමුණු කරගෙන හිස් භූමියක වැඩ සිටිමින් භාවනා කරනවා දුටුවා.

මේ අයුරින් අසුභ භාවනාව, පංශුකූලිකංග භාවනාව, නීලපීතාදී කසිණ භාවනා, මරණානුස්මෘති, බුද්ධානුස්සති ආදී භාවනා, මෙන් ම මෙත්තා, කරුණා, මුදිතා ආදී භාවනාවල යෙදෙමින් වැඩ සිටිනු දුටුවා. සිල්වත් ව, ගුණවත්ව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පිළිපදිමින් වැඩ සිටින භික්ෂූන් වහන්සේට නමස්කාර කර එකත්පසක වැඩ සිටියා. ඒ අතර කණ්ඩුල ඉදුණු පලතුරු ආදිය අරගෙන විත් භික්ෂූන් වහන්සේට පිළිගැන් වූවා.

තිස්ස උපස්ථායක එය දැකලා පුදුමයට පත් වෙලා ‘යදම් බිඳගෙන, කඹ සිඳගෙන, ගස්වැල් විනාශ කරමින්, මිනී මරමින් හැසුරුණු, දුටු පමණින් බියට පත් වන තරමේ චණ්ඩ කණ්ඩුල දැන් උපස්ථායකයෙක් වගේ භික්ෂූන් වහන්සේට සේවය කරනවා. වතාවත් කරනවා. ගුණවතුන් වහන්සේගේ ගුණය තිරිසන් සතුන් පවා හොඳින් හඳුනා ගන්නවා.

අනේ, බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේගේ ගුණ මහිමය ආශ්චර්යයි, උන්වහන්සේ අල්පේච්ඡයි., විවේකකාමීයි., සතුටින් දිවි ගෙවනවා, පිරිසුදු ජීවිත ගත කරනවා. මේ ගුණ දකින අයකුට පී‍්‍රති උපදිනවා. කණ්ඩුලට වගේ ම මටත් ලොකු සතුටක් දැනෙනවා.

රජතුමාට මේ තොරතුරු ඉක්මනින්ම දැනුම් දෙනකම් මගේ සිතට ඉවසිල්ලක් නෑ’ යි කල්පනා කළා.

කැලෑවේ බිහිසුණුකමවත් නො සිතා විහාරයට සමීපවීමට ගිය කාලයෙන් භාගයක්වත් ගතවීමට පෙර නැවතත් රජමාලිගයට පැමිණ ඔහු රජතුමාට සියල්ල පවසා සිටියා. රජතුමා උපස්ථායකයා අමතා

‘තිස්ස, ඔබම නැවතත් ඒ විහාරයට ගිහින් කණ්ඩුල අරගෙන එන්න. ඔබට අවශ්‍ය දෑ අරගෙන යන්න’ යැයි පවසා සිටියා.

රජතුමාගේ අණට කීකරු වූ තිස්ස උපස්ථායක පලතුරුත්, උක්සකුරුත් අරගෙන තවත් කිහිපදෙනෙක් සමග මහානිජ්ඣර ආරණ්‍ය විහාරයට ම ගමන් කළා. කණ්ඩුල වෙනදා වගේ ම උපස්ථාන කටයුතුවල යෙදී සිටියා.

තිස්ස උපස්ථායකගේ සිතෙහි අපමණ ශ්‍රද්ධාවක් පහළ වී තිබුණා. ඔහු ශ්‍රද්ධාසිතින් ම පලතුරු මිරිකා යුෂගෙන උක්සකුරු සමඟ භාවනායෝගී භික්ෂූන් වහන්සේට පූජා කළා.

සතුටු සිතින් කණ්ඩුලත් අරගෙන නැවත මාලිගයට පැමිණියා. හෙතෙම රජතුමාට අවශ්‍ය සේවය ලබා දී විශ්‍රාම සුවයෙන් ජීවත් වී කාලයාගේ ඇවෑමෙන් කළුරිය කළා. සිල්වත්, ගුණවත්, භාවනානුයෝගී භික්ෂූන් වහන්සේට පලතුරු යුෂ සමග උක්සකුරු පූජා කිරීමේ කුසලයෙන් මනුෂ්‍යය ලෝකයේ ම උපත ලැබීමේ භාග්‍යය උදා කර ගත්තා.

හෙළදිව උතුරු පෙදෙසේ අඹවිට නම් ගම මහත් ධනයකට හිමිකම් කියූ, උතුම් ගුණ ඇති කුලගෙයක උපත ලැබුවා. පෙර ආත්මයේ හිමි වූ නාමය ම මේ ආත්ම භාවයේත් හිමිවුණා.

ක්‍රමයෙන් වැඩිවියට පත් වී කුල කුමාරිකාවක් සමග විවාහ වුණා. කාමභෝගී සැප සම්පත් සිත් සේ වින්දනය කළා. තෙරුන් වහන්සේගේ ධර්මය ඇසීමට ලැබීමෙන් සසර ස්වභාවය වටහා ගත්තා. බිරිඳට අවශ්‍ය සියලු සම්පත් ලබා දී අවසර ගෙන අවබෝධයෙන් ම ප්‍රවෘජ්‍යා භූමියට පත් වුණා. විහාරයේ වතාවත් නිසි අයුරින්, පිරිසුදුව, කැපවීමෙන් ඉටුකළා. කිසිදු අවස්ථාවක අතපසුවීමක් සිදු කළේ නෑ.

විහාරවාසී වැඩිහිටි තෙරුන් වහන්සේගේ ගෞරවාදරය දිනා ගත්තා. ඒ නිසාම ‘ප්‍රතිපත්තිසාර තිස්ස නමින් හඳුන්වන්නත් පටන් ගත්තා. දවසක් විහාරවාසී තෙරුන් වහන්සේලාත්, උපාසකවරු කිහිපදෙනකුත් කතිකා කර ගත්තා දඹදිව ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට යාමට. දිනය උදා වුණා.

නැවෙන් මුහුද තරණය කරන්න පටන් ගත්තා. දින ගණන් මුහුදේ ගමන් කළා. දඹදිවට ගොඩවීමට දින කිහිපයක් තිබිය දීම බීමටත්, ඇඟපත සෝදා ගැනීමටත්, ඉවුම් පිහුම් කිරීමටත් ගෙන ගිය ජලය අවසන් වී තිබුණා.

තිස්ස තෙරුන් වහන්සේට ඉවසා ගත නොහැකි පිපාසයක් පැමිණ ජල බිඳුවක් හෝ හොයා ගැනීමට උත්සාහ කළා. එහෙත් උත්සාහය නිෂ්ඵල වුණා. අවසානයේ තීරණය කළා කරදිය බොන්න. නැවේ සිටි පිරිස එසේ නොකරන ලෙස ඉල්ලා සිටියත්, ඉවසිය නොහැකි පිපාසය නිසා පාත්‍රයට කරදිය අරගෙන බොන්න පටන් ගත්තා.

උන්වහන්සේ පෙර ආත්මයේ සිල්වත්, ගුණවත්, භාවනානුයෝගී භික්ෂූන් වහන්සේට පලතුරු යුෂ සමග උක්සකුරු පූජා කිරීමේ කුසලානිශංසයෙන් කරදිය අමෘතය මෙන් මිහිරි ජලය බවට පත් වුණා. තෙරුන් වහන්සේටත් අදහාගත නොහැකිව පුදුමයට පත් වුණා.

නැවේ සිටි හැම දෙනාට ම උන්වහන්සේ කරදිය පාත්‍රයට ගෙන මිහිරි ජලය බවට පත් කරමින් ලබා දුන්නා. ආහාර සකස් කර ගැනීම් ආදියත් කර ගනිමින් සුව සේ දඹදිවට වැඩම කර ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වන්දනා කරගෙන නැවතත් ලංකාද්වීපයට වැඩම කළා. එන ගමනේ දීත් එම පැන්ම අනුභව කළා.

එතැන් පටන් උන්වහන්සේ බොහෝ පින්කම් කර එයින් ගොස් දෙව්ලොව දොළොස් යොදුන් රුවන් මාලිගාවක දහස් ගණන් දෙවඟනන් පිරිවරාගෙන නැටුම් ගැයුම් වැයුම් සැප විඳින දිව්‍ය පුත්‍රයකු ලෙස උපන්නා.

සකුරුපැන් පූජා කිරීමෙන් මනුෂ්‍යලොව දී මනුෂ්‍ය සම්පත්, දෙව්ලොව දී දිව්‍ය සම්පත් නො අඩුව වින්දනය කළා.

සාපිපාසාවන් කිසිදු ආත්මයක උන්වහන්සේට ඇති වුණේ නෑ. දෙව්ලොව උපන් උන්වහන්සේ වෙනුවෙන් ම මිහිරි රසයෙන් පිරුණු පැන් පොකුණු පහළ වුණා. ඔහු සමීපයට එන දේවතාවෝ ඒවා පානය කළා. සන්තෝෂයෙන් නටමින්, ගී කියමින්, කී‍්‍රඩා කරමින් විනෝද වෙමින් තම තමන්ගේ දිව්‍ය විමානවලට යාමේ පුරුද්දක් ද ඇති වුණා.

ඇතැම් දෙවි කෙනෙක් මිහිරි දිව්‍ය පැන් පුරවාගෙන ගෙන යන්න පටන් ගත්තා. මනුෂ්‍ය ලෝකයේත් මේ භාග්‍ය උදා කරගන්නා මිනිසුන් දැක ගන්න පුළුවන්.

ඇතැම් අය සිටිනවා ජල සම්පත්වලින් සහ භවභෝග සම්පත්වලින් අඟහිඟකම් නැති. ඒ අය මෙවැනි පින්කම් කළ පිරිස් යැයි විශ්වාස කරන්න පුළුවන්.

ශ්‍රද්ධාවන්ත සිතින් තමන් විසින් උපයා ගත් සුළු දෙයක් හෝ ගුණයෙන්, සීලයෙන් උසස් උතුමන්ට පූජා කිරීමෙන් ප්‍රමාණය කළ නො හැකි දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලැබීමේ භාග්‍ය උදා කර ගත හැකියි.

නිකිණි අව අටවක

 අගෝස්තු 18 බ්‍රහස්පතින්දා අපරභාග 09.27 අව අටවක ලබා 19 සිකුරාදා අපරභාග 11.04 ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]