[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුදුගුණය ඇති තැන ලැබෙයි ලොවට ම සිසිලස

මුදුගුණය ඇති තැන ලැබෙයි ලොවට ම සිසිලස

ජනතාව රඤ්ජනයට – සතුටට පත්කරන්නේ රජු ය. ඈත අතීතයේ නොදියුණු සමාජයන්හි දුබලයා මැඩලීමේ කැලෑ නීතිය මැඩ ජන සමූහයා ගේ ආරක්ෂාව, සමාජ සාධාරණත්වය, හා සමාජ ප්‍රගමනය උදෙසා ජන සම්මතවාදීව පාලකයකු වෙත ජනතාව සතු බලය පවරා දීමෙන් රජ පදවියේ ආරම්භය සිදුවිය.

රටක යහ පැවැත්ම, ජනතා සුබසිද්ධිය පිණිස රාජ්‍ය පාලනයෙහිලා අසහාය ජගදාචාර්ය බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම්, ගුරුහරුකම් ගුරුකොට ඒ අනුව යම් රාජ්‍ය විචාරන්නේ නම්, එබඳු රටක අභිවෘද්ධියට ද, ජනතාවගේ හිත සුව පිණිස ද, නූපන් අනාගත පරපුරේ සුරක්ෂිත බව පිණිස ද, ප්‍රබුද්ධ සමාජයක උදාව පිණිස ද මැනවින් පිහිටාධාර වෙයි.

එදා මගධයේ අජාසත්ත රජතුමා වජ්ජීන්ගෙන් වෛශාලිය අත්පත් කර ගැනීමට මත්තෙන් ඒ පිළිබඳ තවදුරටත් දැන උගත් උපදේශකයන්ගෙන් විමසීමට තරම් දූරදර්ශී විය. ස්වකීය අග්‍රාමාත්‍ය වස්සකාර බමුණා බුදුරදුන් වෙත පිටත්කර හැරියේ කිසිදා නොවරදින උපදේශයන් ලබා ගනු පිණිස ය.

රාජ්‍ය පාලනයෙහිලා ගුරුකොට ගත යුතු, සෑම රාජ්‍ය පාලකයකුගේ ම අවධානයට ලක්විය යුතු රාජ්‍ය පාලන මූලිකාංග එදා අජාසත් රජු මෙහෙයවීමෙන් බුදුරදුන් වෙත සැපත් වස්සකාර බමුණාට බුදුරදහු ඉගැන්වූ සේක.

සමාජ ප්‍රගමනයට, ජනතා උන්නතියට ඉවහල් වන පුරාණ වජ්ජීන් අනුගමනය කළ සප්ත අපරිහාණිය ධර්මතා බුදුරදුන්ගේ නොමඳ ප්‍රශංසාවට බඳුන් වූ අතර, මෙම පිළිවෙත් අනුව යම් පාලක පිරිසක් රටක් මෙහෙයවත් ද එම ධර්මතා රකින තුරු එබඳු රටක් සතුරු උපද්‍රවාදීයෙන් තොර බැව් බුදුරදුහු වදාළහ.

නිතර රැස්වීම, සමඟිව රැස්වීම, නොපැනවූ අයබදු නීති නොපැනවීම, පැනවූ නීති රීති නොඉක්මවීම, වැඩිහිටි රජදරුවන්ගේ උපදේශ අනුගමනය කිරීම, කුල කාන්තාවට සැලකිලි දැක්වීම, චිරාගත සම්ප්‍රදායානුකූලව වජ්ජි සිද්ධස්ථානවලට සැලකිලි දැක්වීම, තම රටට පැමිණෙන රහතන් වහන්සේ රැක බලා ගැනීම

එදා ලිච්ඡවී පාලන තන්ත්‍රයේ ගැබ්ව තිබූ සාමූහිකව රැස්වීම, සමඟිව සාකච්ඡා කිරීම යන කරුණු නූතන ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්මයන්හි ප්‍රභවයට මොනවට පිහිටාධාර වී ඇත.

ජන සම්මතවාදී ආණ්ඩුවක්, පාලන ක්‍රමයක් බුදුරදුන්ගේ ප්‍රශංසාවට බඳුන් වුව ද එකී පාලන තන්ත්‍රය තුළින් ධර්මානුකූල බව විද්‍යමාන නොවේ නම් එය බුදුන් වහන්සේගේ ඇගයීමට පාත්‍ර නොවීය.

එනිසාම පාලන ක්‍රමයක් තුළින් ධර්මානුකූල බව ප්‍රකට නොවන්නේ නම් එම පාලනය යහපත් හෝ මහජන හිත සුව පිණිස වූවක් ය යන්න පිළිගත නොහැකි වෙයි. රාජ්‍ය පාලකයා රට වැසියාගේ අර්ථ සිද්ධිය පතා, රටේ සම්පත් සුරක්ෂණය කළ යුතු අතර, විපුල ඵලදායිව අනාගත අර්ථලාභීන්ගේ උන්නතිය පතා ආරක්ෂා කොට ප්‍රවර්ධනය කළ යුතු ද වෙයි.

කරුණාබර ප්‍රඥා සම්පන්න පියකු තම දරු මල්ලන්ගේ මතු දවස ගැන, ඔවුන්ගේ හිත වැඩ පිණිස ස්ව වස්තු සම්භාරය, දේපළ ආරක්ෂා කරන්නා සේ ධාර්මික පාලකයා අද හෙට සහ මතු පරපුරේ අර්ථ ලාභය පිණිස රටක සම්පත් හැසිරවිය යුතු ය.

මෙම රාජ්‍ය කාර්යභාරය නොපිරිහෙළා ඉටුකිරීමට නැණ නුවණ ඇති නූතන සමාජ සම්මානයට අනුකූල උගත්කම් සපුරාලීම පමණක් කිසිසේත් ම ප්‍රමාණවත් නොවෙයි. බුදුන් වහන්සේ ධාර්මික රාජ්‍ය පාලකයකු සතුවිය යුතු අංග දීඝනිකායේ කූටදන්ත හා අග්ගඤ්ඤ සූත්‍ර තුළින් උගන්වා වදාළ සේක.

රාජ්‍ය පාලකයා ධාර්මික විය යුතු ය, ශ්‍රමණ බ්‍රාහ්මණයනට ගරු කරන්නකු විය යුතුය. යහපත් ක්‍රියාවන්හි නිරතවන්නකු විය යුතු ය. බුද්ධිමතකු වීම, උගතකු වීම, කවර ගැටලුවක් වුව අතීත, වර්තමාන, අනාගත වශයෙන් විග්‍රහකොට බැලීමට හැකිවීම, මහා ප්‍රඥායකු වීම යන කරුණු ධාර්මික පාලකයකු සතුවිය යුතු ගුණාංග වෙයි.

මෙවන් ගුණයන්ගෙන් සමන්විත වූ පාලකයා ධර්මානුකූල බව ප්‍රතිබිම්භනය වන ආකාරයෙන් ආණ්ඩු කෙරේ නම් බුදුදහමට අනුව එය ප්‍රශස්ත රාජ්‍ය පාලනයකි. මෙබඳු අනඟි චින්තනයකින් පොහොසත්ව ක්‍රියා කළෝද දඹදිව ධර්මාශෝක මහ නිරිඳාණෝ ය.

දිග් විජය හැරදා ධර්ම විජය පිළිවෙත කර ගත් දම්සෝ නිරිඳාණෝ සැබෑවට ම ජනතා හිත සුව සදා ලෝවැඩ ධර්මය බෙදා ජන සන්තානය තුළ අමරණීයත්වයට පත්වූහ. බුදුදහමේ ආභාසය ලත් අශෝක පාලන තන්ත්‍රය දඹදිව ප්‍රභාවතී යුගයක් වූයේ ය.

බහුතරයේ යහපත පිණිස, ප්‍රජාතන්ත්‍ර වාදය ගැන ඒබ්‍රහම් ලින්කන්ට – වුඩ්රෝ විලිසන්ට පළමුව මාගේ බුදුපියාණෝ එදා පළමු රහත් සැට නමහට උගැන්වූ සේක.

බරණැස ඉසිපතනාරාමයේ දී පළමු ධර්මදූත පිරිසට “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය හිතාය, සුඛාය දේව මනුස්සානං”

“මහණෙනි බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුනට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද චාරිකාවේ හැසිරෙව්. යනුවෙන් දේශනා කළ සේක. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලාරම්භයට, සම්භාවයට බුදු දහමේ පිටිවහල මින් මොනවට ප්‍රත්‍යක්ෂ වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර මහා භාරතය බැව් මින් මොනවට ස්ඵුට කරයි. පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායකයේ පනත් කෙටුම්පත් නීතිගත වන්නේ තෙවරක් සම්මත කිරීමෙනි.

මෙම ක්‍රමය බුදුදහමේ ආභාසයෙන් පැන නැඟී බැව් ප්‍රකාශ කරනුයේ අප නොව වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ තිඹිරිගෙය වූ මහා බ්‍රිතාන්‍යයේ සෙට්ලන්ඩ් සාමිවරයා ය.

වස්සාන කාලයේ – වැසි සමයේ චාරිකා චරණයෙන් චාරිකාවේ හැසිරීමෙන් වැළකී ගත කිරීම පෞරාණික ආවේණික ධර්මතාවකි. පසු කලෙක දී භික්ෂු සංස්ථාව ව්‍යාප්ත වෙද්දී මේ ගැන නොසැලකිලිමත්වූ භික්ෂූහු වැසි සමයේ ද තැන තැන සැරූහ. මේ චාරිත්‍ර ධර්මය කඩ කිරීම මහජනයා නොඉවසූහ. නොසතුටට පත් ජනයා මෙබඳු වැසි සමයේ තැන තැන හැසිරෙන භික්ෂුව කෙරෙහි කලකිරුනහ. දොස් කීහ.

භික්ෂු පිරිසක් මේ මහජන අදහස බුදුරදුන්ට දැන්වූ විට “අනුජානාථ භික්කවේ වස්සානේ වස්සං උපගත්තුං’ යනුවෙන් වස්සාන ඍතුවේ භික්ෂුවට වස් එළඹෙන්නට බුදුරදහු නියම කළහ.

මින් ගම්‍ය වන්නේ මහජන මතයට බුදුපියාණන් වහන්සේ සංවේදීව ගරු කළ බවයි. එසේ ම සුදොවුන් පිය මහ රජාණෝ “පුත්ත පේමං භන්තේ” යනුවෙන් දරු සෙනෙහස කියා පාමින් බුදුරදුන් අභියස වැඳ වැටුණු කල ස්වාමීනී, මව්පිය අවසරයකින් තොරව දරුවකු පැවිදි නොකරනු මැනවැයි කළ ඉල්ලීම පිළිගත් බුදුරදහු මව්පිය අවසර නො ලද දරුවකු පැවිදි නොකරව් යනුවෙන් ප්‍රඥප්තියක් පැනවූ සේක.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වූ රාජ්‍ය පාලන තන්ත්‍රයෙන් පාලිත සමාජය සුඛිත මුදිත ය. ගැටුම් ගැටලු අවම ය. සංහිඳියාවෙන් සාමකාමී වූ, සමෘද්ධිමත් ජන ජීවිතයකට ඒ තුළින් පාඩම් උගන්වයි.

ජනතාව කෙරෙහි ලෙන්ගතුව, දයාබරිතව රටක් රාජ්‍යයක් කරන්නේ කෙසේ දැයි බුදුරදුන් අවධාරණය කළ සේක. දසරාජ ධර්මයෙන් රට කිරීම, රජුගේ දැහැමි බව, රටේ ජනතාවගේ සුබ සිද්ධියත්, ගහකොළ සතාසීපාවාගේ සාධනීය තත්ත්වයත් පෙන්නුම් කරයි.

ගහකොළ වැල මලින් ඵලදාවෙන් බර වෙයි. දසරාජ ධර්ම අංග පරික්ෂා කරන විට එහි පළමු අංගය වන දානය ගැන බැලීමේ දි නිර්ලෝභී පාලකයකු තෘෂ්ණාබරිත නොවී ජන සමාජයේ උන්නතිය ගැන සිතන්නකු බවට පත්කරයි.

ජනතාව වෙනුවෙන් පරිත්‍යාගශීලිවීම, බුදුරදහු දසරාජධර්මයේ තුන්වැනි අංගයෙන් අවධාරණය කළ සේක. අවංක විශ්වාසනීය පාලකයාට ජනතාව අවනත ය. ගෞරවයෙන් යුතුව පාලකයාගේ වදනට නැමෙන යටත් වැසියන් ඇති සමාජය තුළ සාමජ නොසන්සුන් බව පැන නොනඟී. රජුගේ ඍජු බව ඊට හේතු වෙයි.

එසේම රජතුමා දයාන්විත හදින් කාරුණිකව ජනතා වුවමනාවන් තෘප්තකර දිය යුතු වෙයි. දරදඬු පිළිවෙත් හැරදා සෞම්‍යව මුදු මොළොක් සංවේදී හදින් ජනතා සිතුම් පැතුම් දැන ජන හිතකාමිව රජය කරවීමට බුදුරදුන් පෙන්වූ මුදුගුණය පාලකයකු තුළ පැවතිය යුතු මූලිකාංගයකි. සුඛෝපභෝගි නොවී ආත්ම දමනයෙන් යුතුව සරල චාම්, ආදර්ශවත් දිවිපෙවෙතක් රජුගෙන් විද්‍යමාන වෙයි නම් එය රජුගේ තපෝ ගුණයයි. සතුරන් කෙරෙහි වුව මිත්‍රශීලීව මේ අපේ සමාජයේ අය ය. නොමඟ ගියද මේ අපේ දරුවෝය. සමාජයේ කොටස් ය යන හැඟීමෙන් නොමඟට වැටුණු අය වෙත්නම්, එසේ නොමඟ ගියවුන් සුමඟට ගනී.

බුදුන් වහන්සේගේ මේ ඉගැන්වීම් ඇතුළත හද සන්තානයෙන් පිළිගෙන අනුගමනය කරයි නම් එබඳු පාලකයන් ද, එවැනි සමාජය ද දින දින පුරසඳ සේ වැඩෙයි. අක්‍රෝධය, අවිහිංසාව යන දසරජ ධර්ම අංග තුළින් ඒ බැව් මැනවින් පෙන්වා දෙයි. කෝපවීම, නොඉවසීම බැහැරකර කවර දුෂ්කර අවස්ථාවක දී වුව ඥානවන්තවැ රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමට ඉවසුම් ගුණයෙන් යුතු පාලකයා වගබලා ගනියි.

සෑම විටම ජනතා සිතුම් පැතුම් දැන ඒවා තෘප්ත කර දීමට වෙර මහන්සියෙන් දූරදර්ශීව ක්‍රියාකිරීම ප්‍රඥා සම්පන්න පාලකයාගේ ස්වභාවයයි. අද මෙන් සන්නිවේදන තාක්ෂණික මෙවලම් නොවූ පෙර රජදවස ප්‍රඥාසම්පන්න රජවරු වෙස් වළාගෙන රට තුළ සැරිසැරුවේ සැබෑ ජනතා සිතුම් පැතුම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂව ම දැන කියා ගැනීමට ය.

පුද්ගලයාගේ ඉහමොළ විකලත්වයට වැට බැඳීම විනා ඊට අනුග්‍රහ දී මත්ද්‍රව්‍යයෙන් ජනතාව මත් කිරීම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිගත් පාලකයාගේ පිළිවෙත නොවෙයි. පන්සිල් තුළින් ජීවත්වීමේ අයිතිය, දේපළ අයිතිය, සුරක්ෂිත වන්නා සේ ම පන්සිල් රැකීම අභය දානමය පින්කමකි. අවෛරී මානසිකත්වයෙන් ඉන් සත්වග සුවපත් කරයි. පවුල් සංස්ථාවේ පාරිශුද්ධත්වය ද, දරු පරපුරේ අනාගත සුරක්ෂිත බව ද තහවුරු වෙයි. සත්‍යය මත පදනම් වූ සමාජ සංස්ථාවේ උතුම් මිනිස් ධර්මතා පන්සිල් මත වූ පාලන ව්‍යුහය තුළින් මොනවට සුරක්ෂණය කරයි.

බුද්ධදාස රජු ගෙඩියකින් පීඩිත නාගයකු සුවපත් කරවා නාගයා ත්‍යාග කළ නාග මිණ ද අබාගිරි වෙහෙර සලපිළිමයෙහි නේත්‍ර පිණිස පූජා කළේ ය. දුගී මගියාට තම හිස දන් දී සමාජයක සුරක්ෂිත බව තහවුරු කළේ සංඝබෝධි රජාණෝ ය. මේ සියලු අනගිභවනීය ප්‍රතිලාභ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සජීවිකරණය කිරීම තුළිනි. ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය පාලන මූලිකාංග වර්තමානයේ බොහෝ හුරුපරුදු මානව හිමිකම් ප්‍රභවයට සම්භවයට බුදුදහමින් ලත් ආභාසය කිසිදා බැැහර කළ නොහැකි වෙයි. මානව හිමිකම් අභිබවන දෘශ්‍ය අදෘශ්‍ය සකල සත්වග අයිතිවාසිකම් බුදුපියාණෝ කරණීය මෙත්ත සූත්‍රයෙන් තහවුරු කළ සේක.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද පිළිගෙන ඇති සමානාත්මතාවේ අයිතිය අර්ථය අතින් වෙනස්වුවද එහි පැනනැඟීමට බුදුදහමේ සතර සංග්‍රහ වස්තූහි සමානාත්මතාව මැනවින් පිහිට වී ඇත. බණමඩුවේ සමානත්මතාව ඉක්මවන සමානාතාවක් අන් කවර තැනකදීවත් දැකගත නොහැකි වෙයි.

“මහ රජ ඔබ මේ පොළොවෙහි භාරකරු මිස අයිතිකරු නොවෙයි”. එදා මිහිඳු මහ රහතන් වහන්සේ මිස්සක පව්වේ දී දේවානම්පියතිස්ස මහ නිරිඳුන්ට කළ ප්‍රකාශය රාජ්‍ය විචාරීම පිණිස ද, මහජන භාරය සංකල්පය, කුළුගැන්වීමට කළ අගනා සිහි කැඳවීමකි. මෙවන් ආකාරයෙන් රාජ්‍ය පාලනය උදෙසා බුදුන් වහන්සේගේ සාර්ව භෞමික , සාර්ව කාලීන, සාර්ව ජනීන ඉගැන්වීම් මත පිහිටා පාලකයෙක් ක්‍රියා කෙරෙත් ද එබඳු රාජ්‍යයක සාමකාමී බව හා සහජීවනය රටේ සමෘද්ධියට මඟ පාදයි.

නිකිණි අව අටවක

 අගෝස්තු 18 බ්‍රහස්පතින්දා අපරභාග 09.27 අව අටවක ලබා 19 සිකුරාදා අපරභාග 11.04 ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]