[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්වනු ලැබෙන්නේ වැපිරූ දෙයටයි

අස්වනු ලැබෙන්නේ වැපිරූ දෙයටයි

“යො අප්ප දුට්ඨස්ස නරස්ස දුස්සති – සුධස්ස පොසස්ස අනංගතස්ස
නමෙව බාලං පච්චේති පාපං – සුබුමො රජො පටිවාතං ච බිත්තො”

කාරුණික පින්වතුනි,

ඉහත ධම්මපද ගාථාව පාප වර්ගයට අයත් එකකි. මෙහි දැක්වෙන්නේ කෙලෙස් කිළිටෙන් දූෂිත නොවූ පිරිසුදු අදහස් ඇති පුරුෂයකුට යමෙක් නපුරු අදහසින් දුෂ්ටකම් කළේ නම්, එකී දුෂ්ට අදහස්වලට විපාකය ආපසු ඔහු කරා පැමිණෙන බවයි.

ඒ කෙසේද යත්, යටි සුළඟෙහි සිට උඩු සුළඟට දමනු ලබන සියුම් දූවිලි ආපසු ඔහු කරා එන්නාක් මෙනි. ඒ පිළිබඳ “සුනඛලුද්දක” කතා පුවතෙහි ද දක්නට ලැබේ. එය මෙසේ ය.

පෙර “සුනඛලුද්දක” නැමති වැදි පුත්‍රයෙක් විය. ඔහු දිනක් සුනඛයන් පිරිවරාගෙන දඩයම් කිරීම පිණිස වනගත විය. එහිදී ඔහුට අතරමඟ දී පිණ්ඩපාතයේ වඩින භික්ෂුවක් මුණ ගැසුණි. එවිට කෝපයට පත් වූ වැද්දා “මේ කාලකණ්නි ශ්‍රමණයා හමු වූ නිසා අද කිසිවක් නො ලැබේ”. දැනුදු පැමිණෙන්නේ ය. මේ ශ්‍රමණයා සුනඛයා ලවා කවා මරමි යි” සිතා උන්වහන්සේ සැපීමට සුනඛයාට සංඥා කළේ ය. එවිට බුරමින් එන නපුරු සුනඛයා දුටු ස්වාමීන් වහන්සේ බියට පත්ව අසල තිබූ ගසට නැග්ගේ ය.

පසුව දුෂ්ඨ වැද්දා “නුඹට බේරීමට ඉඩ නොදෙමියි” පවසා කෝපයෙන් ගස යටට අවුත් තම ඊතල මිටියෙන් ස්වාමීන් වහන්සේගේ යටිපතුලට විද්දේ ය. තමන් වහන්සේට හිරිහැර නොකරන මෙන් ඉල්ලා සිටියේ ද, නොනවත්වා දිගින් දිගට ම හිරිහැර කළේ ය . එහිදී ඊතල පහරින් බේරීමට උත්සාහ කළ උන්වහන්සේට සිවුර ගැන අමතක වී දැඟලීමෙන් සිවුර ගිලහි නොදැනුවත්ව ම වැද්දාගේ හිස මත සිවුර වැටුණි. එවිට වැද්දා සිවුරෙන් වැසී ගියේ ය.

තෙරුන්ට බුරමින් ගස යට සිටි සුනඛ රැල උන්වහන්සේ ගසින් වැටුණේ යැයි සිතා උන්ගේ ස්වාමියා හපකොට කා දමන ලදී.

එහි දී වැද්දාගේ අදහස නොව ඊට විරුද්ධ අදහසක් ම සිදුවිය. මේ සිද්ධිය දුටු ස්වාමීන් වහන්සේ ශෝකයට පත්ව චීවරය නිසා “අනේ මොහුට වූ විපතක්” යැයි ලතැවිය.

පසුව මෙම සිද්ධිය ජේතවනාරාමයට ගොස් බුදුරදුන්ට පැවසිය යුතු යැයි සිතා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සිදු වූ සියල්ල උන්වහන්සේ, බුදුරජාණන් වහන්සේට පැවසූහ. ඊට තමා ද කොටස්කරුවකු වූවා දැයි විමසූහ. එවිට බුදුරදුන් ,

“මහණෙනි, මෙය ඔබගේ වරදින් සිදුවූවක් නොව, නපුරු අදහසින් ඔබට අනතුරු කිරීමට පැමිණි වැද්දා කළ දෙය ඔහුගේ විනාශයට ම හේතු වූ බව දේශනා කළහ. “එම දේශනාව අවසානයේ දී ස්වාමීන් වහන්සේ රහත් විය.

මෙම ලෝකයේ වරදක් සිදු නොවන අය සොයා ගැනීමට අපහසු ය. සියල්ලන්ගෙන් ම වැරැදි සිදුවේ. යමකුගේ ක්‍රියාවකින් හෝ වචනයකින් අපගේ සිත් දූෂ්‍ය වේ නම් එය විපතක් නොවන පරිදි සංසිඳවා ගැනීම විනා ඊට පළිගැනීමට සූදානම් නොවිය යුතු ය.

අප රටෙහි බොහෝ අයගේ වැරැදි පුරුද්දක් වනුයේ අනුන්ගෙන් පළිගැනීම යි. උසස් යැයි සම්මත අය නම්බුව හෝ කීර්තිය නිසා ද, පහත් පන්තියේ අය ලාභ ප්‍රයෝජන නිසා ද අනුන්ට අනතුරු පමුණුව යි.

පියාගෙන් වූ වරදට පුත්‍රයාගෙන් ද, පුත්‍රයාගෙන් වූ වරදට පියාගෙන් ද එකිනෙකාට පළිගැනීමට උත්සාහ කරයි. මෙකී ක්‍රමය සමාජයේ බොහෝ පවුල් පරිසරයන් හි දක්නට ලැබෙන අතර, තමා පමණක් සැප විඳීමට උත්සාහ කරනු පෙනේ.

පින්වතුනි, වපුරන බීජයට අනුව අස්වැන්න ලැබේ. එය සිහිතබා ගත යුතු ය. වී වපුරා කුරක්කන් ද, කුරක්කන් වපුරා වී ද ලබා ගත නොහැකි ය. අන් අය විනාශ කිරීමට ඇතිවන නපුරු සිතිවිල්ල ම තමා විනාශය කරා පමුණුවන බැව් නිතර සිහිතබා ගත යුතුයි.

යටි සුළඟෙහි සිට උඩු සුළඟෙහි සිටින අයට කොපමණ දූවිලි විසිකළත් ඔවුන් අපිරිසුදු කිරීමට නොහැකි ය. ඒ සියල්ල ආ පසු තමා කරා පැමිණ තමා ම අපිරිසුදු කළත් දුෂ්ට අදහසින් අන් අයට විපත් කිරීමට සිතන තාක්, සිතිවිලි යොදන තාක් උපක්‍රම කවදා නමුත් තමාගේ ම විනාශයට හේතු වේ. කෙනකුගේ අදහස්වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ ද එහි සත්‍ය අසත්‍ය නොසොයා අදහස් ප්‍රකාශ නොකළ යුතුයි. එසේ නොවුණහොත් ඔවුන් පළිගැනීමට පෙළඹේ.

මෙසේ කල්පනා කරන විට අවංක ඍජු ගතිවලින් යුතු සත්‍යවාදී අයට අපරාධවලට ඉඩ නැති බව පෙනේ. යහපත් අදහසින් කටයුතු කරන මිනිසුන්ට ගෞරව ප්‍රශංසා කිරීම දියුණු වන මනුෂ්‍යයන්ගේ ගතිය යි.

පින්වතුනි, සැබෑ මිනිසකු වීමට නම් “සුනඛලුද්දකයාගේ” කථාව සිහිපත් කර ගෙන අනුන්ගෙන් පළිගන්නා අදහස අත්හැරිය යුතු ය. එසේම පිදිය යුත්තන් පිදිය යුතු ම ය. ඔබ සියලු දෙනාට ම උතුම් නිවන් සුව උදාවේවා

සියලු සත්වයෝ සුවපත් වෙත්වා

නිකිණි අව අටවක

 අගෝස්තු 18 බ්‍රහස්පතින්දා අපරභාග 09.27 අව අටවක ලබා 19 සිකුරාදා අපරභාග 11.04 ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]