[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් කැපවෙනවා

සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් කැපවෙනවා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තන්ගනේ සාසනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී ධූරය දරමින් ශාසනාභිවෘද්ධිය උදෙසා මහානීය සේවයක නියුතු ඔබ වහන්සේ කුඩා සන්ධියේ සසුන් බඹසර පුහුණු වූ අයුරු පැහැදිලි කරමින් සාකච්ඡාව ආරම්භ කරමු. අපේ හාමුදුරුවනේ,

මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ උදාර ශාසනික යුග මෙහෙවරක් ඉටුකළ මහ තෙරවරු වැඩසිටි ‌ඓතිහාසික පසුබිමක් තිබෙන සත්කෝරලය ප්‍රදේශයේ දී. වර්ෂ 1955 ක් වූ ජනවාරි මස 27 වැනිදා චන්ද්‍රසේකර හේරත් හිටිහාමි කෝරාළලාගේ හිටිහාමි මහෝපාසකතුමා, බාලසූරිය මුදියන්සේලාගේ සීලවතී උපාසිකා මාතාව බොහොම ගුණගරුක සද්ගුණවත් ආදරණීය මව්පිය දෙපළක් බවත්, පුණ්‍යානුමෝදනාපූර්වකව සිහිපත් කළ යුතුයි. ඒවගේම 8 වන ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලබාගත් අත්තන්ගනේ රජයේ විද්‍යාලයත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කිරීම වැදගත්. සංසාරගත පුණ්‍ය මහිමයත්,පුරණ ලද පාරමී බලයත් හේතුවෙන් උතුම් පැවිදි ජීවිතයට ඇතිවුණ රුච්කත්වය නිසාම අත්තන්ගනේ සාසනරතන යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්මාසම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රව්‍රජ්‍යාභූමියට පත්වුණා. වර්ෂ 1968 මාර්තු මස 13 වැනිදා කුලියාපිටිය දියකලමුල්ල රණතුංග මුදලින්දාරාම ( ශ්‍රීපති පිරිවෙන් විහාරය) මහා විහාරාධිපතිව වැඩ විසූ අතිගරු වෙරළුගම රතනජෝති නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කුලියාපිටිය අස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරාධිපති අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කට්ටමුර්ච්චානේ සිරි සුභාරතී නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි පුණ්‍යෙීත්සවය සිදුවූ බව කෘතවේදීව ගෞරවපූර්වකව මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කළ සුපේශල ශික්ෂාකාමී අර්ථචර්යාවෙහි පිළිපන් ආචාර්යපාදෝත්තම නාහිමිපාණන් වහන්සේගේ අභාසය, අවවාද, අනුශාසනා මගේ පැවිදි ජීවිතයට ආදර්ශයක් වුණා.

ඒ වගේම දියකලමුල්ල ශ්‍රීපති පිරිවනේ වැඩ සිටි ලංකා ශාසනාම්බරය අලෝකවත් කළ සාර්වභෞම වියත් ඇදුරු මඩුල්ලක් හමුවේ ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත වුණා. ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කළ අද්දැකීම්වලින් පිරිපුන්,පරිණත, විචක්ෂණ බුද්ධියෙන් සමුපලක්ෂිත එම යතීන්ද්‍රයන් වහන්සේලාගේ ඇසුර පැවිදි ජීවිතය සර්ථක කර ගැනීමට මූලිකම හේතුව වුණ බව පුණ්‍යානුමෝදනාපූර්වකව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

1973 වර්ෂයේ දී අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව පස් අවුරුදු ත්‍රිපිටකවේදී උපාධි පාඨමාලාව සාර්ථකව හදාරමින් 1979 වර්ෂයේ දී ත්‍රිපිටක විශාරද උපාධිය ලබා 1980 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. 1983 වර්ෂයේ දී සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව 1992/1993 වර්ෂවල දී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට කටයුතු කළා.

එම ධර්මශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගත් කාල පරිච්ඡේදයේදී ම නිසි වයස සම්පූර්ණ වීමත් සමඟ 1974 වර්ෂයේ දී ජූලි මස 24 වැනි දින කළුතර කළු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී අතිපූජ්‍ය දීපේගොඩ චන්දවිමලාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වූ උපසම්පදා පුණ්‍ය මහෝත්සවයේ දී උතුම් අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයට පත්වීමට භාග්‍යවන්ත වුණා.

ධර්ම විනයධර,බහුශ්‍රැත භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ශාසනික මෙන්ම සමාජ සේවාමය වශයෙන් සිදුකරන කාර්යභාරය කෙටියෙන් සඳහන් කරන්න නායක හාමුදුරුවනේ,

විහාරස්ථ ශාසනික සේවය වශයෙන් දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව එම විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කළා. ශ්‍රීපති දහම් පාසල,ශ්‍රීපති ළදරු පාසල වගේම පිරිවෙන් පුස්තකාලය,ඊරියගොල්ල අනුස්මරණ මහජන පුස්තකාලය, ශ්‍රීපති සුභසාධක සංගමයේ බෞද්ධ පොත්හල ආරම්භකරමින් ජලනළ පද්ධතිය ස්ථාපනය කරමින් උපෝෂථාගාරය නවීකරණය කිරීමට කටයුතු කළා. ඉහළ කලුගමුව ග්‍රාමෝදය මණ්ඩල සභාපති පදවිය දරමින් ශ්‍රී රතනජෝති ප්‍රජා සංවර්ධන හා සමාජීය පදනම ආරම්භකරමින් ඒ හරහා ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා ඇති ළමුන් වෙනුවෙන් මාසික ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක කළා . සුනාමි විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රීපති බාලක පිරිමි ළමා නිවාසය ආරම්භ කළා වගේම ළමා රක්ෂණ හා පරිවාස දෙපාර්තමේන්තුවේ විශේෂ ඉල්ලීම මත ශ්‍රීපති බාලිකා පියස ගොඩනගමින් සමාජ සේවා රාශියක් මේවන විටත් සිදුකරගෙන යනවා.

1980 වර්ෂයේ දී ප්‍රාදේශීය සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරයට පත්වෙමින් නිකාය සංවර්ධන සමාජිකත්වය හ එහි විධායක සභාවට ඒක්වෙමින් 1988 වර්ෂයේ දී කුලියාපිටිය ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කළා.

1995 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභා සාමාජිකත්වයට හා අනුවිජ්ජක තනතුරට 1997 වර්ෂයේ දී එම නිකායේ පරියත්ති පාලක සභාවේ සාමාජික ධූරය දරමින් 1998 වර්ෂයේ දී එම නිකායේ ජෙට්ඨානුවිජ්ජක තනතුරට පත්වෙමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් විශාල ශාසනික සේවාවක් සිදුකළා. එම ශාසනික සේවය පිළිබඳ ප්‍රසාදයට පත්වුණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් 2003 වර්ෂයේ දී එම නිකායේ කාරක සංඝ සභිකයකු ලෙස පත්කිරීමට කටයුතු කළා. එම වසරේ දී ම පරියප්ති පාලක සභාවේ භාණ්ඩාගාරික ලෙස ක්‍රියා කරමින් 2007 වර්ෂය වන විට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියප්ති ලේඛකාධිකාරී තනතුරට පත්වුණා. එම වර්ෂයේදීම නිකායේ සමන්නේසන සභාවට හා නිකායේ ආගමික ගැටලු කළමනාකරණ කමිටුවේ ලේකම් පදවියට පත්කළා.

2011 වර්ෂයේ දී නියෝජ්‍ය සඤ්ඤා ලේඛකාධිකාරී වශයෙනුත්, 2015 වර්ෂයේදී උපරිමානුවිජ්ජක වශයෙන් පත්වෙමින් ශාසනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය පිණිස කළ සේවයත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සුභසිද්ධිය සඳහා සිදුකළ සේවයත් ඇගයීමට පාත්‍රකරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී තනතුරට පත්කිරීමට කටයුතු කළා. 2015 වර්ෂයේ සිට බුද්ධ ශාසන අමාත්‍යංශයේ බෞද්ධ උපදේශක සභාවේ උපදේශක මණ්ඩල සාමාජිකත්වයත්,2016 වර්ෂයේ සිට ජනාධිපති ජාතික බුද්ධි මණ්ඩල සාමාජිකත්වයත්, රජරට විශ්ව විද්‍යාල පාලක මණ්ඩල සාමාජිකත්වයත්, අනුරාධපුර භික්ෂූ විශ්ව විද්‍යාලයේ උත්තරීතර මණ්ඩල සමාජිකත්වයත්, 2017 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යංශයේ සමස්ත ලංකා පිරිවෙන් උපදේශක තනතුරටත් පත්වෙමින් සම්මා සම්බුද්ධ ශාසනයේ ඉදිරි දියුණුව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා.

නූතන සමාජ අර්බුදය විසඳීමෙහිලා ඔබවහන්සේ දරන අදහස සඳහන් කරමින් අපේ සාකච්ඡාව අවසන් කරමු නායක හාමුදුරුවනේ,

දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තියක් මත රට පාලනය නොවීමේ විපාක තමයි අපි මේ අත්විඳීන්නේ.කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් වුණ ක්‍රමයක් තිබෙන නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තිබෙන්නේ. මේ රට සිංහල බෞද්ධ සමාජයක් තිබෙන රටක් වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙලා තිබෙන නිසා නායකත්වය භික්ෂුවට හිමිවෙනවා. ඒ අනුව අපේ මූලස්ථානවලින්, වෙහෙර විහාරස්ථානවලින් ලබාදිය යුතු නිවැරැදි නායකත්වය රාජ්‍ය නායකත්වයට සහ රටේ ජනාතාවට ලබාදීම වැදගත්. මේ අර්බුදකාරී අවස්ථාවේ දී ආත්මාර්ථකාමී නොවී සමඟි සම්පන්නව සියලු දෙනාම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සුහදශීලීව, සාමූහික ව කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඇසළ අව අටවක

 ජුලි 27 බදාදා අපරභාග 09.12 අමාවක ලබා 28 බ්‍රහස්පතින්දා අපරභාග 11.25 ගෙවේ.
28 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]