[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අන්ධ මව පෝෂණය කළ බෝසත් ඇත්රජුගේ කතාව

අන්ධ මව පෝෂණය කළ බෝසත් ඇත්රජුගේ කතාව

එක්තරා කාලයක අප බෝසතාණන් වහන්සේ හිමාලයේ ඇත් කුලයක උපත ලැබුවා. මේ ඇත් රාජයා ශ්වේත වර්ණයි. ඉතා අලංකාර යි. ඇතුන් අසූදහසක් ඔහුට පිරිවර ලෙස සිටියා. මහා බලසම්පන්නව කාලය ගත කළා.

මේ ඇත් රජුගේ මව අන්ධ යි. එනිසා ඇතා පලවැල ගෙනැවිත් වෙනත් ඇතුන් අත මව වෙත යවනවා. ඒ ඇත්තු මේ සියල්ල මවට නොදී ඔවුන් කා දැමීමට පුරුදුව සිටියා.

බෝසත් ඇතාට මේ බව දැනී හොර රහසේ ම පරික්ෂා කර බැලූවා, එම ඇතුන්ගේ අසත්පුරුෂ ක්‍රියාව දුටුවා. ඇත් රජුට කලකිරුණා. “මේ පිරිවරත් , සේනාවත් අතර මට සුදුසු අය නැහැ. මෙවුන් අතහැර මාගේ මව මම පෝෂණය කරන්නෙමි” කියා ඇත් රජ තීරණයට පැමිණියා. දිනක් රාත්‍රියේ කිසිම ඇතකුට නොපෙනෙන සේ මව රැගෙන චණ්ඩෝර නම් පර්වතය මුලට ගියා.

බෝසත් ඇතා හිමාලයේ නෙළුම් විලක් අසල තිබූ පර්වත ගුහාවක මව තබා පෝෂණය කළා. මේ අතරේ බරණැස් නුවර වාසය කළ එක්තරා වැද්දෙක් හිමාලයට පැමිණ මහා වනාන්තරයේ අතරමං වුණා. මංමුළා වී අනාථ වූ ඒ පුරුෂයා උදව් ඉල්ලා කෑ ගසමින් මේ විල ආසන්නයේ කැලයේ ඇවිදින්නට වුණා. බෝසත් ඇතාට ඒ ශබ්දය ඇසී

“මේ පුරුෂයා අනාථ වෙලා, අසරණ වෙලා, බියට පත්වෙලා සිටින්නේ. මම මෙතැන සිටිද්දී ඔහුට මරණයට පත්වීමට ඉඩ දිය නො හැකියි. එනිසා ඔහු සමීපයට ගොස් කතා කළ යුතුයි” සිතා ඔහු වෙත ගියා. ඇතා දුටු ඒ පුරෂයා තවත් බියට පත්ව දුවන්නට සැරසුණා.

“එම්බා පුරුෂය, මම නුඹට කරදරයක් නොකරමි. බියක් ඇති කර ගත යුතු නැත. කුමක් හෙයින් තොප හඬමින් උදව් ඉල්ලන්නේ ද?”

“ඇත් රජුනි, මම මංමුළා වූවෙක්මි. අද මගේ සත්වැනි දිනය යි.”

“බිය නොවන්න. මම ඔබව මිනිස් වාසයක් කරා ගෙන යන්නෙමි. නුඹ මගේ පිට මතට ගොඩවන්න” කියා ඔහු කැලයෙන් බැහැරට පිටත් කළා.

ඒ පවිටු පුරුෂයා නගරයට ගොස් මේ ඇතා ගැන රජුට කියන්නට සිතා ගස් සහ පර්වත හඳුනා ගතහැකි ආකාරයට සලකුණු කරමින් කැලයෙන් නික්මී බරණැස නුවරට පැමිණියා.

මේ කාලයේ රජුගේ මංගල ඇතා මිය ගියා. එනිසා තමාට ගැලපෙන ආකාරයේ අතකු දුටු කෙනෙක් සිටිනවා ද? දන්වා අණබෙරයක් ගසනු ලැබුවා. වහාම ඒ වැදි පුරුෂයා රජු වෙත පැමිණ

“දේවයන් වහන්ස, මම ඔබවහන්සේට සුදුසු, ඉතා හීලෑ ඇත් රජකු දුටුවෙමි. මාර්ගය මම පවසන්නම්. පිරිස මා සමඟ එවනු මැන” යි ඔහු ඉල්ලා සිටියා. රජු ඔහු මාර්ග උපදේශකයා කොට වනයට ගොස් “මොහු විසින් කියන ලද ඇත්රජු ගෙන එවයි” අණ කරමින් ඒ වැද්දා සමඟ බොහෝ පිරිසත් හස්ති ආචාර්යවරයකු ද යවනු ලැබුවා. කැළයට ගිය පිරිසට දැක ගන්නට ලැබුණේ බෝසත් ඇතා නෙළුම් විලට බැස ආහාර ගන්නා අයුරු යි.

බෝසත් ඇතා අර හස්ති ආචාර්යවරයා ඇතුළු පිරිස දුටුවා. ඔහු සිතුවා “මට අද මේ අනතුර සිදුවන්නේ කිසිවකු නිසා නොව එදා මම ඒ වැදි පුරුෂයා ගේ ජීවිතය බේරා යැවු නිස යි. මම මහත් බල ඇත්තෙමි. ලෙහෙසියෙන් ම ඇතුන් දහසක් නසන්නට පොහොසත් වෙමි. රටවල් සහිත බල සේනා නසන්නට මට ශක්තිය ඇත. නමුත් මම කිපුණොත් මා සමාදන් වූ සිල්පද බිඳී යන්නේ ය. එනිසා මා කපා මෙතැන මරණයට පත් කළත් මම නො කිපෙමි යි”! දැඩි අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා.

හස්ති ආචාර්යවරයා පියුම් විලට බැස ඇතාගේ ලක්ෂණ සම්පත් දැක

“එව පුත” කීය. බෝසත් ඇතා ඒ අණට කීකරුව ළංවුණා. රිදීදමක් මෙන් වූ සොඬින් ගෙන පිරිස බරණැස් නුවර බලා පිටත් වුණා. ගමනට දින හතක් ගත වුණා.

තම පුතු නො එන බව දැනගත් ඒ මව් ඇතින්නී

“අනේ මගේ පුතා රාජ මහාමාත්‍යයන් විසින් අල්ලා ගෙන යන්නට ඇති. පුතා ඇසුරු කළ මේ වනය දැන් හඬා වැටේවි” ආදී පුතාගේ ගුණ කියමින් මේ මව් ඇතින්න විලාප දෙන්නට වුණා.

ඇත් ගොව්වා නුවරට යන අතරේ රජුට පණිවිඩයක් යැව්වා. හසුන දුටු රජු වහා නගරය අලංකාර කළා. කෑම බීම රැස්කර තැබුවා. ඇත්ගොව්වා විසින් බෝසත් ඇතා කෙළින්ම ඇත් හලට ගෙන ආවා. සුවඳ මැටි ගා සුවඳවත් කළා. අලංකාර ලෙස සරසන ලද ඇත්හලට පමුණුවා විසිතුරු තිරයෙන් වටකොට රජුට දන්වා යැව්වා ඇතා ගෙන ආ බව.

රජු නොයෙක් අග්‍ර රස ඇති භෝජන රැගෙන ඇතා බලන්නට පැමිණියා. ඇත්රජු මව නැති නිසා ආහාර ගත්තේ නැහැ. රජු ඇතාගෙන් මෙසේ ඉල්ලා සිටියා.

“ඇතුනි, ආහාර ගන්න. ඔබ ආහාර නොගත්තොත් දුර්වල වේවි. ඉදිරියට ඔබට කරන්නට බොහෝ රාජකාරි තිබෙනවා”. ඒ අසා බෝසත් ඇතා මෙසේ කියා සිටියා.

“මහරජ, මාගේ මව අන්ධ ය. ඒ අන්ධ මව මාගේ වෙන්වීමේ දුකෙන් අවට ඇති ගස්වැල් , දැව කොටන් පාදයෙන් තලා පොඩිකර ඒ පර්වත පාමුල කම්පාවෙන් ඇති. ඇය බොහෝ ශෝක කරනවා ඇති”.

“ඇත් රජුනි, අන්ධ වූ පිළිසරණක් නැති ඇය ඒ පර්වතයෙහි දැව කොටන් පයින් තලා පොඩි කර දමන්නේ ඇයි?”

“මහරජතුමනි, මම මගේ අන්ධ වූ මව පෝෂණය කරමි. මා නැතිව ඇය ජීවිතක්ෂයට පත්වෙයි. ඇය නැතිව මට රාජ සම්පතෙන් වැඩක් නැහැ. අද මගේ මව ආහාර නොගෙන සිටින සත්වන දිනය යි”.

“ඇත් රජුනි, එය නම් මහා ආශ්චර්යයකි. තිරිසන් යෝනියේ ඉපිදත් ඔබ මව පෝෂණය කරන බව ඇසූ විට මට අධික සතුටක් ඇතිවුණා. මිනිසු‌නේ, මේ ඇත් රජු අපට මහත් වූ ආදර්ශයක් සපයනවා. රාජපුරුෂයෙනි, මේ මහා ඇතු වහා නිදහස් කරව්. මොහු තම මව සහ නෑයන් සමඟ එක්වේවා”!

ඇතා බැම්මෙන් නිදහස් කළා. මඳක් විවේක ගත් ඇතා රජුට දසරාජධර්මයන් ගැන අනුශාසනාවක් සිදුකළා. ඇතා පිටත් වීමේ දී මහජනයා විසින් සුවඳ මල් ආදියෙන් මහ ඇත් රාජයා පිදුවා.

නගරයෙන් නික්මී එක් දිනයක් තුළ නෙළුම් විල අසලට පැමිණියා. සත් දිනක් ආහාර නැති නිසා දුර්වල වී සිටි මවගේ ශරීරයට ජලය ඉසින්නට ගත්තා. වැස්ස වසිනවා යැයි සිතා ඇත් මව

“මාහට උපස්ථාන කළ මගේ පුතා නැති කල කුමට ද වැස්ස මගේ ශරීරය තෙමනුයේ?”

“මෑණියනි, මම ආවෙමි. නැඟිටින්න. මේ ඔබගේ පුතා පැමිණ සිටින්නේ. නුවණ ඇති ඒ කසීරට රජු මා නිදහස් කළා”.

ඒ ඇසූ ඇය බොහෝ සතුටට පත්වුණා. ඇය මෙසේ කීවා.

“හැමදාම වැඩිහිටියන්ට සලකන මගේ පුතා නිදහස් කළ කසීරට වැසියනුත්, ඒ රජතුමාත් බොහෝ කල් සුව සේ වසත්වා”! ඇත් මව ආශිර්වාද කළා.

කසීරජු මේ බෝසත් ඇතා ගැන බොහෝ පැහැදී නෙළුම් විල ආසන්නයේ ගමක් ඉදිකොට බෝසත් ඇතාටත්, ඒ මවටත් නිරතුරුව සැකසූ ආහාර ලබා දීමට කටයුතු කළා. කාලයාගේ ඇවෑමෙන් මව් ඇතින්නිය කළුරිය කළා. බෝසත් ඇතු ශරීරයට ගෞරව දක්වා මිහිදන් කොට කරණ්ඩක නම් ආශ්‍රමයට පැමිණියා. එහි තවුසෝ පන්සියයක් වාසය කළා. රජු විසින් බෝසත් ඇතා සිහිවීම පිණිස ඒ ප්‍රමාණයේ ම ගල් පිළිමයක් කරවා මහත් වූ සත්කාර කරවූවා. දඹදිව වාසීහු වසරක් පාසා රැස් වී ඇතා වෙනුවෙන් උත්සව සැමරුවා.

ඒ කසී රජු ආනන්ද තෙරණුවන් ය. පවිටු පුරුෂයා නම් දෙව්දත් තෙරණුවන් ය, හස්ති ආචාර්යවරයා සැරියුත් තෙරණුවන් ය. ඇතින්නිය මහාමායා දේවියයි. ඒ ඇත් රජු අපගේ බෝසතාණන් වහන්සේ ය.

ඇසළ අව අටවක

 ජුලි 27 බදාදා අපරභාග 09.12 අමාවක ලබා 28 බ්‍රහස්පතින්දා අපරභාග 11.25 ගෙවේ.
28 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]