[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පසිඳුරන් දමනය පින් වැඩෙන උල්පතක්

පසිඳුරන් දමනය පින් වැඩෙන උල්පතක්

කරණීය මෙත්ත සූත්‍රයේ ‘සන්තින්ද්‍රියෝ’ නමින් අර්ථ ගන්වන්නේ ශාන්ත වූ ඉඳුරන් ඇති බව ය. දැමුණු ඉඳුරන් ඇති බව ය. එසේත් නැතිනම් ඉඳුරන් සංවරව ආරක්ෂා කරගෙන ඇතැයි යන අර්ථ දෙන්නේ ය.

අපගේ ඇසට, කනට, නාසයට, දිවට හා ශරීරයට විවිධ අරමුණු හමුවේ. ඉඳුරන් නොසන්සුන් වන්නේ එම විවිධ අරමුණු හමුවේ ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ඒ හා ඇළෙන්නේ නම් ය. ගැටෙන්නේ නම් ය. ඒ අරමුණු අවබෝධයෙන් හඳුනාගෙන ඒවායෙහි නො ඇලෙනවා නම්, නොගැටෙනවා නම් අපගේ ඇස සන්සුන් වේ. කන සන්සුන් වේ. සියලු ඉඳුරන් සංවර වේ.

ඒ ශාන්ත බව, සංවර බව, භික්ෂූන් වහන්සේට පමණක් නියම වූවක් නොවේ. ගිහි ජීවිතයේ ශික්ෂණයට ද හික්මීමට ද හේතු වේ.

මේ සංසාරයේ කෙළවරක් දැකිය නොහැකි වන්නේ වැරැදි ලෙස, දුෂ්‍යවන ලෙස, කිළිටිවන ලෙස ඉන්ද්‍රිය ක්‍රියාත්මක කිරීම නිසා ය. එවැනි පුද්ගලයා රෝදයක් කැරකැවෙනවා සේ කැරකි කැරකී සසරේ ගමන් කරන කෙනකු බවට පත්වේ. සතර අපායේ ද, මිනිස් ලොවෙහි ද, දිව්‍ය ලෝකයේ ද ආදි ලෙස ඉපදෙමින්, මිය යමින් සසර සැරිසරනු ඇත.

සතර අපාය අපමණ දුක් වේදනා ගෙන දේ. මිනිසුන් ලෙස ඉපදුණ ද දුකෙහි අඩුවක් නොවේ. මේ බිය උපදවන සංසාරය නම් වූ දුක් ගොඩෙන් නිදහස් වන්නට නම් ඇස රැක ගත යුතු ය. කන, නාසය, දිව, ශරීරය මනස රැකගත යුතු ය. ඉන්ද්‍රියයන්හි වහලකු බවට පත්වන්නේ අවබෝධයෙන්, සතියෙන් හා ප්‍රඥාවෙන් ඉන්ද්‍රිය මෙහෙය වන්නේ නැති නිසා ය.

මෙහිදී ඇලීම් හා ගැටීම් ඇතිවන ආකාරය නිවැරැදිව වටහා ගැනීම වැදගත් වේ. ඇසට පි‍්‍රය රූප දකින විට අපි ඒ දෙස ආශාවෙන් බලා සිටිමු. ආස්වාදයක් ලබමු. නැවත දකින්නට පෙළඹෙමු. එයින් ද නොනැවතෙමු. එය ළං කර ගන්නට උත්සාහ කරන්නෙමු. මේ ස්වභාවය අරමුණෙහි ඇලීමයි. උත්සාහය අසාර්ථක වූයේ නම් ප්‍රතිඵලය දුක්ඛදායක ය.

මොහොතක් සිතන්න. අසල්වැසියා ලොකු ගෙයක් හදනවා නම් සමහර කෙනකුට එය ඉවසන්නට නොහැකි ය. ඊර්ෂ්‍යාවෙන් දැවෙන්නේ ය. අන් අය සමඟ ද ඒ සිතිවිලි බෙදා හදා ගන්නට යන්නේ ය.

“කුමට ද මෙ පමණ ලොකු ගෙයක්. කොහොම සල්ලි හම්බකරල ද දන්නේ නෑ” යි විවිධ දේ කියන්නේ ය. නොදැනුවත්ව ම මේ සිදු කරගන්නේ කුමක්ද?

ඒ නිවස දකින මොහොතක් පාසා පව් රැස්කර ගැනීම ය. අනවශ්‍ය බරකින් සිත පෙළීම ය. රෝගාබාධයන්ට ගොදුරුවීම ය. මානසික පීඩනය ඇතිකර ගැනීම ය. අකුසල් රැස්කර ගැනීම ය. අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා මෙලොව දුක් ගොඩක් කර ගැනීම ය. මෙලොව එලෙස දුක් විඳ පරලොව ද දුකට පත්වීම ය.

අනුන්ගේ දේ තමන්ට ප්‍රශ්නයක් කර ගන්නේ කුමට ද? එය අනවශ්‍ය බරක් කරගසා ගැනීමකි. ඒ දෙස අවංක හදවතින්, සතුටින් බලන්නට පුරුදු වන්න. එය ඔබ උදාකර ගත් පුණ්‍යවන්ත බවකි. සතුටින් බලන මොහොතක් පාසා ම ඔබගේ සිත පින් උල්පතක් බවට පත්වන්නේ ය. මෙ ලෙසම රාගයෙන්, තණ්හාවෙන්, වෛරයෙන් තොරව ලෝකය දෙස බලන්න පුරුදු වන්න.

කපුටා උදෑසනම අවදිවන පක්ෂියෙකි. එහාට මෙහාට පනිමින් මේ පක්ෂියා කරන්නේ ම කසළ ගොඩවල් ඇවිස්සීම ය. ඒ සතා එලෙස වෙහෙසෙන්නේ කුස පුරවා ගන්නට ය. සමහර මිනිස්සු ද අනුන්ගේ කුණු අවුස්සති. ඒ කුස නොව සිත පුරවා ගන්නට ය. අනුන්ගේ ඇද කුද, අඩු පාඩු වගතුග ගැන සෙවීමට ය. ඒ කන අසංවරව හැසිරවීමකි. කන මෙහෙයවා පව් පුරවා ගැනීමකි.

පිරිත් දෙසුමකට, දහම් දෙසුමකට කන් දෙන්න. යහපත් කතා අසන්න. කන පින් රැස් කර ගන්නා උල්පතක් කර ගන්න.

නාසය ගඳ සුවඳෙහි ඇලීම් ඇති කරයි. ගැටීම් ද ඇති කරයි. රස පසුපසම යනවා නම්, රසයෙහි ම ඇලෙනවා නම් දිව අසංවර ය. තමන්ට යහපතක් නොවන, අනුන්ට ද අයහපත් කිසිම වචනයක් මුවින් පිට නොකරන්න. බොරුව, වංචාව, රැවටීම, කේළම් සේ ම අන් සිත රිදවන වචන නොකියන්න.

මව්පිය දූ දරු අසමගිකමට ආදී බොහෝ දේට කට මුල් වේ. ඒ නිසා දිව නම් වූ ඉන්ද්‍රිය අවබෝධයෙන් හසුරුවන්න. කරුණාව, දයාව, මෛත්‍රිය පෙරදැරි කර ගන්න. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ලෝභය ආදී ක්ලේෂයන් විසින් රිදවනු ලබන්නේ, දවනු ලබන්නේ අනුන් නොව තමන් ම ය. ඒ නිසා ඒ කෙලෙස් ධර්මවලට වහල් නොවන්න. වසඟ නොවන්න.

ජීවිතය ලස්සන වන්නේ තැනට සුදුසු ලෙස කටයුතු කිරීමේ නුවණ වන්නේ නම් ය. කරණීය මෙත්ත සූත්‍රයේ ‘නිපකෝ’ ගුණය ලෙස දැක්වෙන්නේ තැනට සුදුසු නුවණ ඇති බව ය. එනම් ස්ථානෝචිත ප්‍රඥාව ය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දේශනා කොට ඇත්තේ පොදුවේ ගිහි පැවිදි සැමට ඉතා වැදගත් ඉගැන්වීමකි. දෛනික ජීවිතයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල සාර්ථකත්වයට මහඟු උපදේශනයකි.

අවස්ථාවට ගැළපෙන නිවැරැදි චින්තනය, ඊට අදාළ ක්‍රියාකාරිත්වය, ස්ථානෝචිත කතාව ජීවිතය ලස්සන කරයි. චරිතයට ගැළපෙන පරිසරය, භාවනාවට සුදුසු පරිසරය, බාධක හඳුනාගැනීම, ඒ පිළිබඳ අදාළ උපදෙස් ලබා ගැනීම, අල්ප කෘත්‍ය බව, ඉන්ද්‍රිය සංවරය ආදී කරුණු සලකා බැලීම භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ නමකට වැදගත් ය.

නිවන් ලබා ගැනීම සඳහා අදාළ කරුණු විමසීම, එනම් උචිත සාධක ළංකර ගැනීම හා අනුචිත කරුණු බැහැර කිරීම නිපක ගුණ ඇත්තාගේ වගකීමකි.

ඉගෙනුම ලබන දරුවන්ට ද මේ මා හැඟි ගුණයකි. ඉගෙනුම සඵල කර ගන්නට ස්ථානෝචිත ප්‍රඥාව අත්‍යවශ්‍ය ය. ඉගෙනීමට බාධා වන දෙයින් දුරස්වීම එහිදී ඉතා වැදගත් වේ. කලණ මිතුරන් හඳුනා ගැනීම, වීර්යවන්ත බව, අවශ්‍ය උපදේශන ලබා ගැනීම ඉගෙනුම් කාරක උපකරණ සම්පාදනය, ස්ථානය, පරිසරය සැලකීම අත්‍යවශ්‍ය ය.

බොහෝ දෙනකුට එදිනෙදා ජීවිතයේ සැලසුමක් නැත. උදෑසනින් පිබිදී මොහොතක් සිතන්න. අප අදහස් කරන දේ ක්‍රියාත්මක කිරීමේ දී බලාපොරොත්තුවන ප්‍රතිඵලය කුමක්ද? ඒ සඳහා අවශ්‍ය කරන දේ මොනවාද? බාධක වැට කඩොලු මොනවාද? විසඳා ගැනීමට අනුගමනය කළ යුතු නිවැරැදි ම ක්‍රමවේදය කුමක්ද? සිතන්න. මේ ආකාරයෙන් අවධානය යොමු නොකොට කරන ලද කාර්යයන් සාර්ථක වූයේ ද? අසාර්ථක වූයේ ද? පිළිතුර ප්‍රත්‍යක්ෂ ය. ඒ, කරන ලද කාර්යයන්ගෙන් සියයට අනූවකටත් වඩා අසාර්ථක වීම ය.

ළිං මැඩියාට ලෝකය නොපෙනේ. දකින්නේ ළිං පතුළ පමණි. ළිං මැඩියකු සේ ගෙවන ජීවිතයේ ඵලය කුමක්ද? අනතුර, අවදානම අසාර්ථක බව පමණි. ලොව විවිධ සිදුවීම්, වැදගත් චරිත විමසන්නට පුරුදු වන්න. පොත පත කියවන්න. ඒ චරිත අභියෝග ජයගත් ආකාරය තේරුම් ගන්න. ඒ අවබෝධය අවස්ථාව ලද සැනින් ප්‍රඥාවන්ත ලෙස භාවිතයේ යොදවන්න.

යම් උදව්වක්, උපකාරයක් අවැසි මොහොතක පුද්ගලයාගේ මානසික පසුබිම හඳුනා ගන්න. ඔහු ගැන කතා කළ යුතු සංවේදී ක්‍රමය ගැන සිතන්න. උපකාරය ඉදිරිපත් කරන ආකාරය සිතන්න. සමහරු දරාගත නොහැකි වේදනාවක දී, ආවේගයක දී සිය ජීවිතය ගැන නොසිතයි. එහි වටිනාකම නොදකියි. සියතින් ම දිවි සිඳ ගනියි.

ඇතැම් විට අනුන් ද නසයි. ජීවිතයේ දැනුම් තේරුම් ඇති කවර අවධියක දී වුව දීඝිති කෝසල ජාතකය ආදර්ශයට ගත හැකි ය. පුතකුට අම්මා, තාත්තා තරම් වටිනා සම්පතක් තිබෙනවාද? ඒ උතුම් මව්පිය දෙපළ ඝාතනය කළ කෲර රජු සිය උකුලේ නිදා සිටිනා මොහොතේ දී දීඝායු කුමරුට ඔහු මරා දමන්නට ආවේගයක් එයි. එක් අතකින් රජුගේ කෙස්වැටිය අල්ලා, අනික් අතින් කඩුව ගෙන කුමරු මෙසේ සිතයි.

‘මගේ පියා මිය යන මොහොතේ මට අවවාද කළේ තමන් කරන දෙය හොඳින් සිතා බලා පරීක්ෂාකාරීව කළ යුතු බවයි. දුරදිග බලන ලෙසයි. ළඟ නොබලන ලෙසයි.

ඒ අනුව ඔහු රජුගේ කෙස්වැටිය අතහරියි. එසවූ කඩුව ද පසෙකින් තබයි. කුමරුගේ ස්ථානෝචිත බව ජයග්‍රාහී අනාගතයක ආරම්භයයි. ප්‍රශ්නයක දී, අභියෝගයක දී කලබලවීම, මන්දෝත්සාහී වීම, තිගැස්සීම, පසුබෑම සුදුසු නොවේ. අවශ්‍ය බුද්ධිමත්ව සිතීමයි. කරුණු විමසීමයි. තමන්ට අයහපතක් නොවන, අනුන්ට ද අයහපතක් නොවන වඩාත් සුදුසුම තීරණය ගැනීමයි.

ඇසළ අව අටවක

 ජුලි 20 බදාදා පූර්වභාග 07.40 අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූර්වභාග 08.16 ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]