[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අව අටවක 2022-07-20

සුවදායක ජීවිතයක වටිනාකම

කායික මානසික සුවදායී බවින් ජීවත් වන්නට ලැබේ නම් එය මහත් භාග්‍යයකි. අප්‍රමාණ සතුටකි. එහෙත් ඒ සැනසීම, සන්තෘෂ්ඨිය ලබන්නෝ අද අපේ සමාජයේ විරල ය. වැඩි පිරිසක් කයින් ද, මනසින් ද රෝගීහු වෙති. බොහෝ විට සිදු වන්නේ සිතිවිලි පාලනය කර ගත නොහැකිව මනසින් දැවී කය ද ලෙඩ කර ගැනීම ය.

කායික මානසික සුවපත් බවට 'සම්බුදු දහම' වටිනාකම මේ යැයි ප්‍රමාණ කළ නොහැකි ඔසුවකි. නියත පිළියමකි. බොහෝ දෙනෙක් ඒ ඔසුව හඳුනති. එහෙත් දැනුමට සීමා කරනු විනා ජීවිතයට පුරුදු පුහුණු නොකිරීම නිසා ඉන් ප්‍රයෝජනයක් ලබන්නේ නැත. රෝගියෙක් නිසියාකාරව ඖෂධ පරිහරණය නොකළේ නම්, එය සිරුරට පත්තියම් වන්නේ නැත. දහම නම් ඔසුව ද එසේ ය. ජීවිතයට පුරුදු පුහුණු නොකළේ නම් ඉන් සැබෑ සුවය නොලැබෙන්නේ ය. අපේ සමාජයේ වැඩි පිරිසක් අසහනදායී බවට ගොදුරු වී සිටින්නේ මේ හේතුව නිසා ය.

කරණීය මෙත්ත සූත්‍රයේ ‘සන්තුස්සකෝ’ යනුවෙන් අර්ථවත් කරන්නේ ලද දෙයින් සතුටු වීම ය. එනම් ලැබුණ පමණින් සෑහීමට පත්වීම ය. අප අසහනයට පැමිණෙන්නේ බොහෝ විට එම ගුණය නොමැති වීම නිසා ය. ලැබෙන්නට, ලැබෙන්නට තව තවත් රැස් කිරීම ම අරමුණු කර ගනිමින්, ඒ මඟම හැල්මේ දිව යන්නට ය, බොහෝ දෙනෙක් උත්සුක වනුයේ. එවැනි තත්ත්වයක කෙලෙස නම් මානසික සුවදායී බවක් ලබන්නද?

කෙනෙක් ලැබෙන දෙයින් නොසතුටු වන්නේ අන් අය සමඟ සංසන්දනයට යෑම නිසා ය. සමාජයේ බොහෝ බෙදීම් වේ. කෙනකුට යාන වාහන, මිල මුදල්, ගේ දොර ඉහළම මට්ටමින් හිමි ය. උත්සාහය, ධෛර්යය මත ඒ දේ හිමි කර ගත්තා වන්නට පුළුවන. එසේත් නැතිනම් පෙර කළ කර්ම ශක්තීන්ගෙන් ලැබුණා වෙන්නට ද පුළුවන. එය දකින තවත් කෙනෙක් උත්සාහ කරන්නේ ඊට වඩා ඉහළින් සම්පත් අත්පත් කර ගන්නට ය. තවත් කෙනෙක් පුහු ආටෝපයට කැමැති ය. තමන්ගේ ඇති හැකි කම් අනුනට පෙන්වීමට රුචිය. මේ කවර උත්සාහයක දී වුව ද අවසානයට අහිමි වන්නේ තමන්ගේ සැනසීම ය. ඒ, සිතිවිලිවල ඇති අවිචාරවත් බව නිසා ය.

ජීවිතය ගැන සැබෑ අවබෝධයක් ඇති කිසිවෙක් එසේ මිරිඟුවක් පසුපස හැල්මේ දිව යන්නේ නැත. සරල ජීවිතයේ ආස්වාදය විඳින ඔහු ධර්මානුකූල ව, අර්ථාන්විත ව ජීවිතය ගොඩනඟා ගන්නට වෙහෙස වේ.

අහසේ පියා සලන කුරුල්ලකුට ඇත්තේ පියාපත් බර පමණි. ඉතා සැහැල්ලු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේ ද කුරුල්ලකු මෙන් සැහැල්ලු විය යුතු බව ය. උන්වහන්සේ පහසුවෙන් පෝෂණය කළ හැකි විය යුතු බව ය. සුභර ගුණය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. ගිහි ජීවිතයට ද මේ ගුණය ඉතාම වැදගත් වන්නේ සැනසිලි දායක ජීවිතයකට එය ඉතා ප්‍රයෝජනවත් වන බැවිනි.

පහසුවෙන් පෝෂණය කළ හැකි නම් ඕනෑම දුෂ්කර කාලයකට සැහැල්ලුවෙන් මුහුණ දීමට පුළුවන. අවශ්‍යතා සංකීර්ණ වන තරමට ඒවා නොලැබී යන විට දැනෙන වේදනාව වැඩි ය. දරා ගැනීමේ ශක්තිය අඩු ය.

ඇතැම් විට එවැනි තත්ත්වයක දී කුමන හෝ විදියකින් සම්පත් උපයා ගන්නට කෙනෙක් පෙළඹේ. එය ගැටලු රැසක ආරම්භයක් වීමට ද පුළුවන.

ලද දෙයින් සතුටු වන්නටත්, පහසුවෙන් පෝෂණය වීමටත් පුරුදු විය යුතු කුඩා කාලයේ දී ම ය. දරුවන්ට අනවශ්‍ය තරම් දේවල් ලබා දෙනවා වෙනුවට සරල ජීවිතයකට හුරු කරවීම මව්පිය වැඩිහිටියන්ගේ වගකීමකි. එවිට ඇති කල් හි ද, නැති කල්හි ද ජීවිතයට සතුටින් මුහුණ දීමට පුළුවන. සැනසීම ඇත්තේ තමන් සිතන පතන ආකාරය අනුව ය. සම්බුදු දහම ඒ සඳහා මඟ පෙන්වයි. අප කළ යුතු අවබෝධයෙන් ඒ මඟ අනුගමනය කිරීම ය.

ඇසළ අව අටවක

 ජුලි 20 බදාදා පූර්වභාග 07.40 අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූර්වභාග 08.16 ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]