[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝකයට දියහැකි අනර්ඝතම වස්තුව නිර්මල බුදුදහමයි

ලෝකයට දියහැකි අනර්ඝතම වස්තුව නිර්මල බුදුදහමයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විද්‍යාපති කඹුරාවල සිරි රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

කෙළිලොල් ළමා වයසට විරාමයක් තබමින් කුල කුමරුවකු ලෙස කල් නොයවා පාරිවේණික හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී තම බහුශ්‍රැත ව්‍යක්තභාවය ප්‍රදර්ශනය කරමින් දේශනයක් පැවැත්වීම දක්වා ආ ගමන් මග පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙමින් සාකච්ඡාවට ප්‍රවේශ වෙමු අපේ හාමුදුරුවනේ,

සංසාරගත පුණ්‍ය ශක්තියට අනුව පුරණ ලද පාරමී බලයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර පැවිදිබව ලබා ගැනීමටත් පෙර කෙළි ලොල් ළමා වියේදී ම විහාරස්ථානය කෙරේ බොහොම ලැදියාවෙන්, ගෞරවයෙන් කටයුතු කළ නිසාම කුඩා අවධියේ සිටම සසුන් බඹසර රැකීමට පෙළඹීමක් තිබුණ බව අතීතය සිහිපත් වෙන විට වැටහෙනවා.

ඒ අනුව ගුණවර්ධන අමරසේකර මහෝපාසකතුමා, කුසුමා අමරසේකර මහෝපාසිකා මාතාව යන ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සද්ගුණවත් මව්පිය දෙපළගේ ආශිර්වාදය ඇතිව බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන් විහාරාධිපති බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක මාලේවන පුණ්‍යරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ලබුගම ශ්‍රී ලංකානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරන්දර බෙල්ලන ඥානවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් කඹුරාවල රේවත යන ශාසනික නාමයෙන් වයස අවුරුදු 10 දී උතුම් පැවිදි බිමට පත්වුණ බවත් පුණ්‍යානුමෝදනා පූර්වකව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

පැවිදිවීමෙන් අනතුරුව බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවනේ පණ්ඩිත උපාධිය දක්වා ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගනිමින් 1992 වර්ෂයේ දී උසස්පෙළ විභාගයෙන් ලංකාවේ වැඩිම ලකුණු ලබා ගත් ශිෂ්‍යයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සංස්කෘත විශේෂ උපාධිය ලබා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමට කටයුතු කළා. මෙම කාල පරිච්ඡේදය වන විට නිසි වයස් සම්පූර්ණව සිටි නිසාම පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමානවෙමින් 1991 වර්ෂයේ දී ජූලි මස 22 වැනි දින කෝට්ටේ රාජමහා විහාර උපෝෂථාගාරයේ දී සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත වුණා. ඒවගේම 2000 වර්ෂයේ දී බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන 2003 වර්ෂයේ දී ස්කොට්ලන්ත ඉබපචජඩතරඤඥ විශ්ව විද්‍යලයෙන් අධ්‍යාපනපති උපාධිය ලබා ගත්තා. අනතුරුව අන්තර් ආගමික අධ්‍යාපනය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳ ස්කොට්ලන්ත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරමින් උතුරු වේල්ස් බැන්ගර් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය සඳහා සතිපට්ඨාන භාවනාව පිළිබඳ පාඨමාලාව හැදෑරුවා. ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කරමින් 2008 වර්ෂයේ දී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ බෞද්ධ උපදේශකවරයකු ලෙස බෞද්ධ දර්ශනය පිළිබඳ පාඨමාලාවක් හඳුන්වා දුන්නා. 2007 වර්ෂයේ දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක වශයෙන් පත්ව 2009 වර්ෂයේ දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඇමතූ ප්‍රථම ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ වශයෙන් දසරාජ ධර්මය මුල්කරගත් බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ දේශනයක් සිදුකළා.

එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ධුරය දරමින් ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් දේශීය මෙන්ම විදේශීය වශයෙන් සිදුකළ ධර්ම ශාස්ත්‍රීය, ජාතික,ආගමික, ශාසනික හා සමාජමය කටයුතු පිළිබඳවත් සඳහන් කරන්න නායක හාමුදුරුවනේ,

ථේරවාදී බෞද්ධ විහාරස්ථානයක් නොතිබුණ ස්කොට්ලන්තයේ පළමු වතාවට ථේරවාදී බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කළා වගේම ස්කොට්ලන්තයේ පාසල් ගුරුවරුන්ට බුදුදහම ඉගැන්වීම පිළිබඳ පුහුණු පාඨමාලා පැවැත්වුවා. ධම්මපදය ඇසුරින් වේදිකා නාට්‍ය නිර්මාණය කර අමෙරිකාව තුළ ප්‍රචාරය කළා. සතිපට්ඨාන භාවනාව මානසික රෝගීන්ට ප්‍රතිකාර වේදයක් ලෙස යොදාගෙන ජපානය තුළ වැඩමුළු පවත්වමින් ඊශ්‍රාලය,පලස්තීනය ,ස්පාඤ්ඤය ආදී රටවල අන්තර් ආගමික වැඩසටහන්වල දී බුදුදහම නියෝජනය වන ආකාරයෙන් කටයුතු කළා. ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු, බෞද්ධ උපදේශකවරයකු,හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තු ආගමික කටයුතු උපදේශක සභාවේ බෞද්ධ උපදේශකවරයකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා.

ලංකාව සුනාමි විපතට පත්වූ අවස්ථාවේ ස්කොට්ලන්ත රජයේ ආධාර ලබාගනිමින් ගාල්ල,මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල මනෝඋපදේශන සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් ස්වයං රැකියා පුහුණුව එයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ලබාදෙමින් රැකියා සඳහා අධාර ලබාදීම් සිදුකළා. ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක්, පෙර පාසල් අධ්‍යාපනය , බෙල්ලන ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කළා. 2010 වර්ෂයේ දී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ලංකාවේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ආරම්භ කරමින් එහි අධිපති වශයෙන් කටයුතු කරමින් බෙල්ලන ධර්මපාල මහ පිරිවනේ පරිවේණාධිපති වශයෙන් කටයුතු කරමින් පිරිවෙන තුළ විදේශීය ධර්ම ප්‍රචාරක භික්ෂූන් වහන්සේලා පුහුණුකිරීම් සිදුකරනවා.ඒවගේම හරිත සංකල්පය යටතේ හරිතවත්කමත් සමඟ කුඩා කාලයේ සිටම ආගමට දහමට සමීප සතා සිවුපාවාට ගහකොළට ආදරය කරන දරුවකු ගොඩනැඟීමේ වැඩ පිළිවෙළ සමාජ සේවයක් ලෙස සිදුකරගෙන යනවා. ඒඅතරට මනෝකාය ගුප්තාකර්ෂණ සහ අන්තරාභවය, නැණ විමල නැණ පහණ, මයින්ඩ් පුල් ජර්නි ආදී කෘති ශාස්ත්‍රීය ලෝකයට දායාද කළා.

සම්බුද්ධ ශාසනයේ විරස්ථිතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකළ මහානීය සේවාව ඇගයීමට පාත්‍රකරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව වෙතින් එක්සත් රාජධානියේ සංඝනායක ධූරයෙන් පිදුම් ලැබුවා.

පාලි,සංස්කෘත, ප්‍රාකෘත, සිංහල,ඉංග්‍රීසි වැනි භාෂා හැදෑරූ වියත් පඩිරුවනක් වශයෙන් ඔබ වහන්සේ ලබා ගත් අද්දැකීම් අනුව ආධුනික ධර්ම දූතයන් වහන්සේ පුහුණු කළ යුතු ආකාරය පිළිබඳ දරන ආකල්පය පැහැදිලි කරන්න හාමුදුරුවනේ.

ලංකාවේ තිබෙන පිරිවෙන් අධ්‍යාපනය තුළින් ලොකු පන්නරයක්, ශක්තියක් ලැබෙනවා. ඒවුණාට අවුරුදු 20 ක් අන්‍ය ආගමික රටක ධර්ම ප්‍රචාරය තුළින් ලබාගත් අද්දැකීම් සමුදාය අනුව පිරිවෙන් අධ්‍යාපනය තුළින් ලබාගත් අධ්‍යාපනය බටහිර රටවලට රැගෙන යාමේදී කොතෙක් දුරට එම තත්ත්වය උපකාරවත් වෙනවා ද? කොතෙක් දුරට වර්ධනය කරගෙන ඔපවත් කරගත යුතු ද? භික්ෂූන් වහන්සේට කෙතරම් දහම් දැනුමක් තිබුණත් එම දැනුම ලබා දෙන්න කොතෙක් දුරට භාෂාමය නිපුණතාවක් තිබෙනවා ද? ඉතා වැදගත් කරුණක්. ලංකාවෙන් ලෝකයට දියහැකි අනර්ඝ වස්තුව නිර්මල බුදුදහම නම්, එය ලබා දීමට අපි තරුණ භික්ෂූන් වහන්සේලා පුරුදු පුහුණු කරන්න අවශ්‍යයි. මම වගේම වසර 20,30 අද්දැකීම් තිබෙන, ලෝකය බබළවන ජාත්‍යන්තර ආයතන ගොඩනැගූ බොහෝ ධර්මදූත ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. වසර ගණනාවක් ධර්ම ප්‍රචාරය කළ ස්වාමීන් වහන්සේලාගේ අද්දැකීම් එකතුව ලංකාවේ සිටින සාමණේර භික්ෂුන් වහන්සේලා සමඟ බෙදා හදාගෙන විධිමත් සැලැස්මක් ඇතිව ඉදිරියට යා හැකි වැඩ සටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා.

පොදුවේ ඉංග්‍රීසි භාෂාමය දැනුම ලබා දීමෙන් උන්වහන්සේලාට අදාළ රටේ භාෂාව ඉක්මනින් ග්‍රහණය කරගත හැකියි. ඒවගේම භාවනාව බටහිර ලෝකයට අවශ්‍ය නිසා භාවනාවෙන් පරිපූර්ණ අද්දැකීම් ඇති කුඩා කල සිටම හොඳීන් භාවනාව පුරුදු පුහුණු කළ ආධ්‍යාත්මික ශක්තියක් දියුණු මනසක් ඇති ප්‍රායෝගික අද්දැකීම් සහිත ,හොඳ භාෂා ශක්තියක් සමඟ, ත්‍රිපිටකය හොඳීන් අධ්‍යයනය කළ භික්ෂු පරපුරක් අප ලෝකයට දායාද කිරීමට කටයුතු කිරීම වර්තමානය තුළ කළ යුතු සේවය යි.

ඇසළ අව අටවක

 ජුලි 20 බදාදා පූර්වභාග 07.40 අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූර්වභාග 08.16 ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]