[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

පොසොන් සඳ

එ පුන් පොසොන් සඳ දින
අනුබුදු මිහිඳු මහ රහත් සඳ
වැඩි සේක බබළන මිහිතලා මත
මහා නිරිඳු දෙවන පෑ
දරා දුනු හී සොයා මුව හද
ගමන වී තුටු සිතින
මහා රහත් මිහිඳු සඳ
දෙසුව සුමිහිරි දහම් හඬ
සවන වැද මහා නිරිඳු
පැහැද සිත් සතොසින
අතැර දුනු හී
සරණ වී තෙරුවන........

සිය දහස් සිව් දෙස
මහා දන සිත් පබෝධ ව
සවන වැද මිහිරි දම් රස
දුරුව හද රැඳි අඳුරු සිතිවිලි
දනන් යන දහමෙ මඟ

ඉදිව මහා වැව් ගලන දිය බිඳු
පිරි නිල් දිය හද තෙමාලන
සිනාසෙන රන් කෙත් ද තුරුලිය
මහා දා ගැබ් වෙහෙර පින් බිම්
පිදුව සසුනට බැතිබර,
අනුබුදු මිහිඳු මහා රහත් සඳ
දෙසුව දම් හඬ එදා මිහිතල
සුවඳ ගලනා ගඟක් වි
මෙසිරිලක සිත් සනසනා,
සිහිකර උතුම් පොසොන් සඳ දින
පුරමු පිළිවෙත් දැහැමි මඟකට......

****

වෙසක් පොහෝදා

තෙමඟුල සමරමින් බුදුගුණ ගයන්නට
තෙමඟුල දිනේ දොහොතින් මල් පුදන්නට
තෙමඟුල අසිරි මුළු ලොවට ම බෙදන්නට
ඇරයුම් කරමි හැමටම මෙත් වඩන්නට

තුන් ලෝ තිලක වූ සම්බුදු පියාණෙනි
තෙමඟුල් දිනය මම සමරමි දයාවෙනි
ඒ අසිරිමත් දිනයෙහි මෙත් අමා පැණී
සිසිලස ගෙනේවා හැමගෙම නිවා ගිනී

තෙමඟුල් දිනේවත් අද අපි පව් නොකර ඉමූ
වෙනදට වඩා අදවත් පන්සිල් රකිමූ
පුළුවන් තරම් දන් පැන් පූජා කරමු
තුන් හිතකවත් වයිරය ඇති කර නොගමූ

අම්මගෙ තාත්තගෙ දුක සැප විමසන්න
වැඩිහිටි අයට කනබොන දෑ සපයන්න
නැති බැරි අයට මිල මුදලින් සලකන්න
පොත පත නැති අයට පොත් අරගෙන දෙන්න

බුදු සමිඳුන්ට මල් පහනින් පුදන්න
පසඟ පිහිටුවා දෙගුරුන් වඳින්න
ගෙදර මිදුල අතුපතු ගා දමන්න
වෙසක් කූඩුවක් ගෙදරදි හදන්න

****

අහිමි වීම

කරුණා දයා පතුරා මෙත් පිරුණු සරින්
දෙසනා දම් අසා අප සම්බුදු හිමියන්
හිටියා නමුත් කොනකට වී විපිළිසරින්
හිතකට නොදැනුනේ දම් රස මගෙම පවින්

කිසාගෝතමී මළ දරු වඩාගෙන
ආවිට පසුව අබ මිටක දු නොමැති තැන
ඉන්නැති මමත් අසලින් බණ අසාගෙන
ගෝතමි නිවන්පුර මම තාමත් මෙතැන

උන්මාදයෙන් නිරුවත් වී හිමි දෙසට
දිවගිය පටාචාරා සැනසුණි යසට
හිටියත් දම් අසාගෙන වීලා කොණට
පිහිටක් නොලැබුණේ ඇයි මාගේ දුකට

භවයෙන් භවය මේ දූර ආවත් සසර
දන් සිල් භාවනා සිත වැඩුවත් නිතර
යන්නට හිතන මුත් දිගු සසරින් එතෙර
පලිබෝධයන් මඟ අහුරයි නිරන්තර

මහ කරුණා නෙතින් මා නුදුටුවෙ මන්ද
පෙර කළකුසල් නැති බව හිමි දුටුවෙහි ද
සසරේ දුක විඳින්නට ඉතිරිව ඇතිද
ගෞතම බුදු සසුනෙ මට සැනසුම නැතිද

****

උපහාරය

පිළිම ගෙයට පිවිසෙන මඟ
පියගැට පෙළ පාමුල මැද
අඩ කවයක ගල් තලාව
‘සඳකඩ පහණ ය’ නම් ලද
ඉහළ කලා නිමැවුමක් ය

ඇත් අස් ගව සිංහ රූප
තුඩ’ග මලැ’ති හංස රූප
මල් ලියවැල් පලාපෙති ද,
උතුම් ‘නිවන’ අරුත ගෙනෙන
සුපිපුණ නෙලුමකි මැදින්

බොදු හැඟුමින් පිරි මනසින්
දළ දඬු ගල ඔප දමමින්
අග මුල නිම නැති භව මඟ
පිළිබඳ ලොව දැනුවත් කල
බොදු සසුනෙහි අරුම කියයි

තණ්හා ආශා දුරු කර
සොබා දහම වෙත ළංවුණ
සිනිඳු සිතක ජනිත මිහිරි
අති විසිතුරු කලා හැඟුම
මවිත කරයි ලොව හැම දෙන

සසර දුකින් තැවෙන පෙළෙන
මිනිස් මනස සනහා ලන
අමිල දසුන ගලක නෙළුවෙ
කවුරු ද ඔහු, කලා රජෙකි
ඔහුට අපේ උපහාරය!!

****

කෙලෙස් ගින්නෙන් නොදැවෙන මඟ

කෙලෙස් ගින්නෙන් දැවී යා නම්
කුමට මේ ලොව හිනැහිලා
දැවෙන ගින්නෙන් නොදැවෙනා මඟ
බුදු මුවින් ඇසුවා........

උපන් අකුසල් දුරින් දුරු කරවා
නොඑන්නට
මඟ වසා දමලා
තබන්නට
කුසල් රැක හිඳුවා
මිදෙන මඟ දෙසුවා.

බවුන් වඩමින් සිතින් සිත නිවලා
හිඳින්නට
සුවෙන් සැනසීලා
ලබන්නට
නිවන් මඟ පාදා
දහම් පැන් පෙව්වා....

****

දැකීම

මහ මලුව මත වැතිර හිස තබා නමදින්නේ
බෝ ගසක් පිළිමයක් දකිනවිට නැඟිටින්නේ
දානයක් පින්කමක් ඇති තැනට දන් දෙන්නේ
ඉල්ලුවොත් හිඟමනක් නැති බවයි හඟවන්නේ

බුදුන් දෙසු ධර්මය ම උතුම් කොට සලකමින්
නොයෙක් වූ වැදි බණට සැමවෙලේ හිත තියන්
තම හිත ම තමන්ට ම උපමාව කරගමින්
සසර කතරින් එතෙරට මිදෙන්නට වෙරදරන්

****

රූපයෙහි කෙළවර

රූ සිරින් සපිරුණු සුකුමාල නර්තනය
පෙන්වීය සිදුහත්ට සැබෑ වූ විරූපය
නර්තනය පියකරු ය කෙළවරට විනාශය
පසක්විය නෙත් වෙතට අමුසොහොන් දර්ශනය

පොසොන්
අව අටවක

 ජුනි 20 සඳුදා අ.භා. 09.09 අව අටවක ලබා 21 අඟහරුවාදා අ.භා. 08.38 ගෙවේ.
 21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]