[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැනසීම ලබන්නට පිළිවෙළට ජීවත් වන්න

සැනසීම ලබන්නට පිළිවෙළට ජීවත් වන්න

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩ සිටින සමයකි. මොග්ගල්ලාන පරපුරට අයත් ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය.

බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසී ය. භවත් ගෞතමයනි, අපේ පරපුරෙහි අය ගණිත ශාස්ත්‍රය උගන්වන නිසා හඳුන්වන්නේ ගණක මොග්ගල්ලාන යන නමිනුයි. මේ බ්‍රාහ්මණ පරපුරෙහි පැවැතෙන්නේ ත්‍රිවේදය, චතුර් වේදය, ඉතිහාසය කොට ඇති සියලු ශාස්ත්‍ර පිළිබඳව මනා වූ අවබෝධයක් ඇති අයයි.

ගෞතමයාණන් වහන්ස, මේ ශාස්ත්‍රය උගන්වන විට අපේ අනුපූර්ව පිළිවෙළක් තිබෙනවා. ළාබාල දරුවෙක් පැමිණිය හොත් මුලින් ම ගණිතය ඉගෙනීම පිණිස 1,2,3..... ආදී වශයෙන් ද, දහය තෙක් ගණන් කර බලනවා. වැඩිහිටියන්ට කියනවා 10,20,30....... 100 දක්වා ගණන් කර පෙන්වන්න කියලා. තවත් අයගෙන් ඊට වඩා දැනුම පිළිබඳ විමසනවා. ස්වාමිනි, ඔබ වහන්සේට මෙවන් අනුපූර්ව ක්‍රමයක් තිබෙනවා ද?

ස්වාමිනී ඔබ වහන්සේ ළඟට සැනසීම ලබා ගනු පිණිස විවිධ අය පැමිණෙනවා. මා ළඟට පිරිස පැමිණෙන්නේ ගණිතය ඉගෙන ගන්නයි. ඔබ වහන්සේ ළඟට හඬන අය, හැඬීම නැති කරගන්න, හිත සනසාගන්න පැමිණෙනවා. හැබෑවට ම සිතේ සන්තෘෂ්ඨිය කුමක් ද? යන්න දැනගන්නත් ඔබ වහන්සේ ළඟට පැමිණෙනවා. සමහර අය බොහෝ දුක් විඳලා, ඒ දුක් ජීවිතයේ කෙළවරක් නොපෙනන තරමට විඳලා, මේ තිබෙන දුකින් නිදහස් වෙන්නේ කෙසේ ද යන්න දැන ගැනීම පිණිසත් ඔබ වහන්සේ ළඟට පැමිණෙනවා.

සමහර කාන්තාවෝ මේ හැම දෙයින් ම අවබෝධයෙන් මිදෙනවා. “මිදුණා, මිදුණා, තුන් කුදෙනුත් මිදුණා. මෝල් ගහෙන්, වංගෙඩියෙන් මිදුණා. කුදු සැමියාගෙනුත් මිදුණා. ඉපදෙන මැරෙන ලෝකයෙනුත් මිදුණා.“ යනුවෙන් මුක්තා නම් තෙරණිය සඳහන් කළේ තමන්ගේ ජිවිතයේ විඳී අප්‍රමාණ දුක් පරමාර්ථ වශයෙන් දැක ගෙනයි. ජීවිතයේ දී විඳී දුක් දැක එතැනින් මිදෙන මාර්ගය සොයා ගෙන එතුමිය සදහම් මඟට ඇතුළු වුවා.

සමහර විටෙක යම් කෙනකුට උදේ සිට උයාපිහා ගේ දොර සියලුම කටයුතු සිදුකළත්, බැණුම් අසන්නට සිදුවෙනවා. නොකා නොබී උයාගත් දේ කුසට දාගන්න තරම් සැනසිල්ලක් නෑ. එසේ නිදාගන්න ලැබුණු අවස්ථා ඕනෑතරම් ඇති. එසේ සිදුනොවුණ අයත් ඉන්නට පුළුවන්.

ඒ වගේ ම සසර ගමනේ පාරමී ධර්ම සම්පූර්ණ කර කුසල් මාර්ගය කොතැනින් හෝ මතු වී භාගිය දාරුචිරිය, අනේපිඬු සිටාණන්, රූප නන්දා, නාට්‍ය බලා කළකිරුණු උපතිස්ස, කෝලිත වැනි විවිධ ආකාරයේ පිරිස් මඟ සකස්වුණා ම බුදුරජාණන් වහන්සේ ළඟට සැනසීම සොයාගෙන පැමිණි යා. එවැනි බොහෝ පිරිසක් බුදුරදුන් වෙත පැමිණියා.

ගණක මොග්ගල්ලාන අදහස් කළේ මේ ආකාරයටයි. ස්වාමිනී ඔබ වහන්සේ ළඟට යම් කෙනෙක් සැනසිල්ල සොයා ගෙන පැමිණිවිට, මා ළඟ වගේ අනුපූර්ව ක්‍රමයක්, තිබෙනවා ද? යනුවෙනුයි.

බ්‍රාහ්මණය, මේ සස්නෙහි අනුපූර්ව ශික්ෂා මාර්ගයක්,අනුපූර්ව ක්‍රියා මාර්ගයක්, අනුපුබ්බ පිළිවෙත් මාර්ගයක් පනවන්නට හැකියි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

යම් කෙනෙක් සැනසිල්ල සොයාගෙන මා සමිපයට පැමිණියේ නම් මුලින් ම සිදු කරනුයේ සීලයේ පිහිටුවීමයි. උපමාවකින් බුදුරජාණන් වහන්සේ එය පෙන්වා දෙනවා.

අශ්වයන් දමනය කරන්නෙක් සිටිනවා. ඔහු ළඟට හිලෑ නැති අශ්වයෙක් රැගෙන යනවා. එවිට ඔහු මුලින් ම කරන්නේ අශ්වයාගේ මුවට, මුව වැස්මක් දැමීමයි. ඒත් මිනිසුන් හීලෑ කරන්නේ, දමනය කරන්නේ සිහිය පිහිටුවන්නට ඉගැන්වීමෙනුයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සමිපයට යම් කෙනෙක් සැනසිල්ල සොයාගෙන පැමිණියේ නම්, අශ්වයන් හීලෑ කරන කෙනෙක් මුව වැස්මක් දමන්නා සේ මුලින් ම සිදු කරනු ලබන්නේ සිල්වත් වීමේ මාර්ගය පෙන්වාදීමයි.

සිල්වත් වූයේ නැති නම් අනුපූර්ව ශික්ෂා මාර්ගයෙහි ගමන් කිරීම අපහසුයි. ඒ නිසා අනුපූර්ව ශික්ෂණයට පැමිණිය යුතුයි. ප්‍රාණඝාතයෙන් වැළකීමේ පටන් හිත සකස් කර ගත යුතුයි. ‘ප්‍රාණඝාතය සිදු කරන්න එපා යනුවෙන් උගන්වන්නේ, අවි ආයුධ දඬු මුගුරු දරන්න එපා. පාපයට අකුසලයට ලජ්ජාවෙන්න, සියලු ප්‍රාණීන් කෙරෙහි දයාවන්ත වෙන්න. දයාවන්ත කෙනෙක් නොවී පාපයට බියවන කෙනෙක් නොවී, සියලු ප්‍රාණීන් කෙරෙහි අනුකම්පාව උපදවන කෙනෙක් නොවී මේ ශාසනයෙහි සැනසිල්ල ලබන්න නොහැකියි. අනුපූර්ව මාර්ගයට යාමට නොහැකියි.

පළමුවෙන් ම සිතට කරුණාව, මෛත්‍රිය පුරුදු කරන්න. දයාවන්ත කෙනෙක් වෙන්න. එය ඉතාම හොඳීන් තේරුම් ගත යුතු කරුණක් වෙනවා.

රණ්ඩු දබර කරගෙන, ගහ බැණගෙන, ගැටලු ඇති කරගෙන මේ ගමන යන්න අපහසුයි. ඒවාට හසුවී සිටිනවා නම් අප පැහැදිලිව තේරුම් ගත යුතු වන්නේ එය අපගේ මාර්ගයට බාධා සහිත බවයි.

මනසින් හුදෙකලා වී, මනස සකස් කරගෙන මේ දහම් මාර්ගයේ ගමන් කරන්න තමන්ට පුළුවනි. ඒ සඳහා දහම් මාවත තෝරා ගත යුතුයි. ඒ මඟට පිවිසෙන්නට, ඒ මගේ ගමන් කරන්නට වීර්යය වැඩිය යුතුයි.

සම්මුති ලෝකයේ බුදුරජාණන් වහන්සේට දෙව්දතුන් සිටියා. මාගන්ධියා කරදර කළා. චිඤ්චිමානවිකාව දොස් කිව්වා. සම්මුතියේ භාග්‍යවතුන් වහන්සේට එවැනි අය සිටියා. එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ සිතේ එවැනි අය සිටියේ නෑ. සම්මුතියෙහි අපටත් එවැනි ප්‍රශ්න ඇති කරන අය, කරදර කරන අය, විපත් කරන අය, මාර්ගයට බාධා කරන අය සිටින්න පුළුවනි. එහෙත් මගේ හිතේ එවැනි අය නැත යනුවෙන් සිතේ ඇති කරගන්න. ගැටලුවක් වන්නේ සිතේ සිටියොත්. ඔබට පුළුවන් සිත ආරක්ෂා කරගන්න. ඒ සඳහා මාර්ගය සකසා ගන්න. එවිට ඔබේ සිතේ පදිංචි කරගෙන නැහැ. අවබෝධයෙන් යුතුව මනස සකස් කරගන්න පුළුවනි නම්, අනුපූර්ව ශික්ෂාවෙන් ඉතා හොඳීන් ඔබ ගමන ආරම්භ කළා වෙනවා.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]