[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක 2022-03-31

ජීවිතාවබෝධය දියුණුවට මඟ සදයි


අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව මිනිසෙක් ව ඉපදෙන්නේ ඉතාමත් දුර්ලභව ය. සසරේ කරන ලද යහපත් කර්මයන්ගේ ප්‍රතිපලයක් ලෙසට ය. එහෙත් දුර්ලභව ලද ඒ සම්පතින් ප්‍රයෝජන ගන්නෝ සුලභ නැත. ඉතාමත් දුර්ලභ ය. මිනිස්කමට වටිනාකමක් දෙනවා වෙනුවට නොවටිනාකම් එක් කරන අය වැඩි ය. මෙසේ වන්නේ ජීවිතයේ යථාර්ථය නුවණින් වටහා නොගැනීම නිසා ය.

මෙලොව හැමදාමත් ජීවත් නොවන බව, ටික කලකින් මෙලොව හැර දමා යන්නට සිදුවන බව,අඩුම තරමේ ඒ අවසන් මොහොත ඊළඟ තත්ත්පරයේ ද, අද ද, හෙට ද, වශයෙන් හෝ නොදන්නා බව සිහිපත් කරන්නට තරම්වත් නුවණ මද හෙයින් මිනිසා තමන්ට ම අයහපත කර ගනී. තමන් ගේ යහපත ගැන පවා දෙනෙත් අඳ වූවකු සේ කටයුතු කරන්නා වෙතින් සමාජයට ලැබෙන වටිනාකම් ගැන, අර්ථයන් ගැන කෙලෙස නම් බලාපොරොත්තු තබා ගන්නද?

ජීවිතය ජීවත් කරවීම සටනක් වැනි යැයි ද, එහි වග උත්තර කිව යුතු තමන් නොව අනුන් යැයි ද, බොහෝ දෙනා ඔවුනොවුන්ට චෝදනා නඟති. කෙනෙක් ඊට පහසුම මඟ සොරකම යැයි සිතා අනුන් දුක් මහන්සියෙන්, දහදිය වගුරවමින් උපයා ගන්නා දෙය ක්ෂණයෙන් සොරා ගනිති. තවත් කෙනෙක් අල්ලස් ගනිති. දූෂණ, වංචාකම් කපටකම් තුළින් ධනය රැස් කරති. අනුන්ගේ දේ උදුරාගෙන, ඔවුන් දුක් ගින්දරේ හොවා තමන් ලබන ඉතාමත් තාවකාලික සිසිලස තුළ ඊටත් වඩා දැවීමක් ඇති බව, ඒ දැවීම මේ භවයට පමණක් නොව මතු සසර පුරා ද තමන් දවමින්, තවමින් පැමිණෙන බව වටහා ගන්නේ නම් මේ නොමිනිස්කම්වලින් දුරුවී සිටිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සදහම් මාර්ගය තුළ ජීවිතය මේ යැයි වටහා ගන්නට, ඒ අනුව අපගේ සිතිවිලි, හැසිරීම් හසුරුවා ගන්නට අමිල මඟ පෙන්වීමක් ඇත.

බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය ලෙස පූජනීයත්වයට පාත්‍රවන ධම්මපදය තුළින් පමණක් ජීවිතයට ලබා දෙන මහඟු මිණි මොන තරම් ද?

උට්ඨානවතො සතිමතො - සූචි කම්මස්ස නිසම්මකාරිනො

සඤ්ඤතස්සච ධම්මජීවිනො - අප්පමත්තස්ස යසො’භි වඩ්ඪති

මේ ගාථා ධර්මය තුළ පමණක් අන්තර්ගත මඟ පෙන්වීම ජීවිතයට මොනතරම් ආදර්ශයක් ද? උට්ඨාන වීර්යය ඇති, සිහි කල්පනාව ඇති, පිරිසුදු ලෙස කටයුතු කරන, විමසා බලා කටයුතු කරන, හික්මුණු ගති ඇති, දැහැමි දිවිපෙවෙතක් ඇති, ප්‍රමාද නැති පුද්ගලයාගේ යසස වැඩෙන බව ය ඉන් කියැවෙන්නේ. තමන්ගේ යසස කීර්තිය වැඩෙනු දකින්නට පුහුදුන් මිනිසා කැමැති ය. එහෙත් බොහෝ දෙනෙක් පුහු මාන්නයෙන්, ආටෝපයෙන්, නොවැදගත් ක්‍රියාකාරකම්වලිනි එය බලාපොරොත්තු වනුයේ.

මෙලොව සේ ම පරලොව දියුණුවට ද උට්ඨාන වීර්යය ඇවැසි ය. එය අලසකම නැති කරන ධර්මයකි. අලස පුද්ගලයාට ලෞකික දියුණුවක් නැත. ලෝකෝත්තර දියුණුව ද ලැබිය නොහැකි ය.

යහපත් සිහිය නැති පුද්ගලයා අසංවර ය. සියලු ඉරියව් සංවර ව තබා ගන්නට සිහිය අත්‍යවශ්‍ය ය. තමන් කරන කියන දෙය සැමවිට නිවැරැදි විය යුතු ය. ඒ සඳහා හොඳ සිහිය අවශ්‍ය වේ. තමන්ගේ ශ්‍රමය හා ධනය නුවණින් සලකා ප්‍රයෝජනවත් දෙයකට ම යෙදවිය යුතු ය. සිත, කය, වචනය සංවර කොට තිදොරින් වන වරදින් ඉවත් විය යුතු ය. ඉඳුරන් දමනය කරගත යුතු ය. ධර්මානුකූල ව ජීවන මාර්ගය සකසා ගත යුතු ය. මෙවැනි උතුම් ගුණාංග ජීවිතයට ළං කරගත හැකි නම්, දියුණුව ඒ පුද්ගලයා සමීපයේ ම ය. දුර නැත. එවිට ජීවිතය අසීරු යැයි අනුනට දොස් නඟන්නට හෝ දුකෙහි වැටෙන්නට සිදු වන්නේ නැත.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]