[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙමෙර මුවකු සිය වලිගය රැක ගන්නා සේ

සෙමෙර මුවකු සිය වලිගය රැක ගන්නා සේ පිරිසුදුව රැක ගත යුතු සීලය

ජීවිතයේ නොයෙකුත් ගැටලුවලින් මිදී උතුම් විමුක්තිය සාධනය කරන්නේ කවරෙක්ද? යන්න එක්තරා දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසයි. එම අවස්ථාවේ උන්වහන්සේ එයට පිළිතුරක් හැටියට මේ උතුම් ගාථාව දේශනා කළහ.

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපී නිපකො භික්ඛු
සො ඉමං විජටායෙ ජටං’’(සංයුක්ත නිකාය දේවතා සංයුක්තය ජටා සූත්‍රය)

සීලයෙහි පිහිටි, ඥානවන්ත පුද්ගලයා සමාධිය ප්‍රඥාව වඩා ගැටලුවලින් මිදී විමුක්ති සාධනය ඇතිකර ගනී.

යම් කෙනෙක් දුස්සීලව, එකඟ සිතක් නැතිව අවුරුදු සියයක් ජීවත් වුණත්, ඒ ජීවිතය වටින්නේ නෑ.මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම් රැඳීලා තියෙන්නෙ බාහිර දේ තුළ නෙවෙයි. බාහිර දේ තුළින් ජීවිතයේ වටිනාකම තක්සේරු කරන්න බෑ. ධනය තිබුණටවත්, පොහොසත්කම් තිබුණට, ඒ තැනැත්තා දුස්සීල නම්, කිසිම ගුණධර්මයක් ඔහු තුළ නැත්නම්, ආධ්‍යාත්මික වශයෙන් චිත්ත පාරිශුද්ධියක්, හිතේ පිරිසුදු කමක් නැත්නම් ඔහු තුළ වටිනාකමක් නැත. ඒ තැනැත්තා අවුරුදු සියයක් ජීවත් වීමෙන් වුව ද තමන්ටත්, අනුන්ටත්, මුළු මහත් සමාජයටමත් යහපතක් සිදුවන්නේ නෑ.

සමාහිත සිත

සිතේ එකඟ බවක් නැති නම්, සිත නොසන්සුන් වෙනවා නම්, විසිරෙන සිතක් ඇත්නම් ඒ පුද්ගලයාට ධර්මය අවබෝධ කරගන්ට හැකියාවක් නෑ. ලෞකික වශයෙන් මෙලොව ජීවිතය සාර්ථක කර ගන්නත් සිතේ සන්සුන් බවක් තියෙන්නේ ඕනෑ. ගිහි හෝ පැවිදි හෝ වේවා යම් කෙනෙක් දුස්සීලව ගත කරනවා නම් සිතේ සන්සුන් බවක් ඇති කරගන්න පුළුවන් කමක් නෑ. එතකොට අසමාහිත භාවයට හේතු වන්නේ දුස්සීලකමයි.

සීල යනු කයිනුත්, වචනයෙනුත් දිවි පැවැත්මෙන් සිදුවන වැරැදිවලින් ඉවත් වීමෙන් ලැබෙන පිරිසුදු බවයි. සිල්වතකු වී භාවනාව පටන් ගත යුතු ය. සීලය භාවනාවට අත්තිවාරම වේ.

සම්බුද්ධ සාසනයේ සීලය තරම් ඇගැයීමට ලක්වූ තවත් ධර්ම කොට්ඨාසයක් නැති තරම් ය.

එසේ වූයේ සීලය බුදු දහමේ පදනම වූ නිසා ය. ආර්ය මාර්ගයේ මාර්ග අංග තුනක් ම එනම්, සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව සීලයෙන් සම්පූර්ණ වේ.

සීලය යනු සිත මුල් කොටගෙන කෙරෙන සංවරයකි.එය සීල, සමාධි, ප්‍රඥා යන ති‍්‍රවිද්‍යාවේ කොටසක් වන අතර, දස පාරමිතාවේ දෙවන පාරමිතාවයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වන්නේ සීල සමාධි ප්‍රඥාවන් ආර්ය අෂ්ටාංගික මාර්ග‍යේ වැඩීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයට අයත් වන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන අංග තුන වේ.

සීලය බුදු දහමේ අත්තිවාරමයි

සමාධිය හා ප්‍රඥා වර්ධනය සදහා සීලයෙහි පිහිටිය යුතු බව සම්බුද්ධ දේශනාවයි. සම්බුදු රජාණන් වහන්සේ හමුවේ දී පවා මාර්ගඵල අවබෝධය කළ සියලුම දෙනා සීලයෙන් සමන්විත වූවෝ වෙති. සීලමය ගුණයක පිහිටා කටයුතු කිරීම මොන තරම් ශ්‍රේෂ්ඨ දෙයක් ද යන්න මේ උපහැරණ තුළින් සනාථ වේ.

ඉර හඳ දෙදෙනාගේ ආලෝකය ලැබෙන එක් සක්වලක් තුළ ඇති සියලුම රත්තරං යමකුට ලැබෙන්නේ නම්, ඒ ලාභයට වඩා එක දවසක් රකින සීලය ඉතාමත් ම උතුම් බව බුද්ධ දේශනාවයි.

අවුරුදු සියයක් දුස්සීලව ගත කරන ජීවිතයට වඩා එක දවසක් රැකි සිල්වත් ජීවිතය උතුම් වේ.

සීලය වනාහී භික්ෂු, භික්ෂුණී උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිසට ම එකම පිලිසරණයි.

සීල සුගන්ධය හා සමාන සුගන්ධයක් අන් කුමකින්වත් ඇති නොවේ. සීලය ආරක්ෂා කරන පුද්ගලයාගේ සිල් සුවඳ දස අතටම විහිද යයි. සීලය සුගතියට යන්නට හිණි මඟකි. නිවනට යන්නට විවෘත කළ දොරටුවකි.

ලෝකයේ මිල අධික රන්,රිදී, මුතු, කහවණු හැමට වඩා බබළන ආභරණය.

නිවන බලාපොරොත්තු වන පුද්ගලයා පළමුවෙන් සීලවන්ත විය යුතු ය. ගිහියකු නම් ගිහියකුට අදාළ පරිදි පන්සිල් ආජීව අට්ඨමක සීලය, අටසිල්, ගිහි දස සිල් වැනි සීලයක පිහිටා පිරිසුදු විය යුතු ය.

කිරළියක් තම බිජු රක්නා මෙන්, සෙමෙර මුවකු තම වලිගය රක්නා මෙන්, එක පුතකු පමණක් සිටින පියකු ඒ පුතු රක්නා මෙන්, එක් ඇසක් පමණක් පෙනීම ඇත්තකු ඒ ඇස රක්නා සේ සීලය පිරිසුදුව, ඇල්මෙන්, අවධානය යොමුකොට ආරක්ෂා කරගත යුතු ය.ඉන්ද්‍රිය සංවරයෙන් තොරව අධිගමයක් ලැබිය නොහැකි ය.

ගිහියන්ගේ නිත්‍ය සීලය වන්නේ පංච සීලයයි. සතුන් මැරීමෙන් වළකින්න ඕනෑ. සොරකම් කිරීමෙන් වැරැදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, රහමෙර පානයෙන් වළකින්න ඕනෑ. ඊටත් වඩා උසස් සීලයක් තියෙනවා ආජීව අෂ්ටමක සීලය. පැවිදි පක්ෂය සඳහා සාමණේර සීල, උපසම්පන්න සීල කියලා දෙකක් තිබෙනවා. මෙම ශික්ෂා පද සියල්ල තේරුම් අරගෙන ආරක්ෂා කරන්නට ඕන. ගිරව් වගේ සිල් පද කීම නෙවෙයි සිදු කළ යුත්තේ.

අල්පමාත්‍ර වරදෙහි බිය දකිමින් සමාදන් වුණ ශික්ෂා පද ආරක්ෂා කරමින් හික්මිය යුතුයි. අන්න ඒ විදිහටයි සිල් ආරක්ෂා කරන්නට ඕන

දිවිහිමියෙන් සිල් රැකීම

දඹදිව මහා වත්තනී නම් වනයෙහි වැඩසිටි භික්ෂූන් වහන්සේ නමක් සොර පිරිසක් විසින් අමු වැල්වලින් බැඳ තැබුහ. උන්වහන්සේට එම වැල්වලින් මිදී යා හැකි වුවත් අමු වැල් සිඳීමෙන් ඇවැත් සිදුවේ‍ යැයි සිතමින් සොරුන් විසින් බැඳ දැමූ ලෙසට ම බිම වැතිර හිඳීමින් ජීවිතාශාව හැර සත් දිනක් පුරාවට විදසුන් වඩා අනාගාමී ඵලයට පැමිණ සත්වැනි දින කාලා කි‍්‍රයා කොට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උපන්හ.

ලක්දිව ද එක් තෙර නමක් සොරුන් විසින් බඳනා ලද රසකිඳ වැල්වලින් බැඳ තිබූ අවස්ථාවේ ලැව් ගින්නක් හටගත්තේ ය.උන්වහන්සේට රසකිද වැල්වලින් මිදීමේ හැකියාව තිබුණත් ලැව් ගින්නෙන් සිදුවන විපතට, මරණයට වඩා ඇවතට බිය වී ගින්නෙන් දැවි දැවී විදසුන් වඩා රහත්ව පිරිනිවන් පා වදාළහ.

සිල්වත් තෙමේ මහත් වූ
භෝග සම්පත් ලබයි.
පිරිසුදු කීර්තියක් පැතිර යයි.
පිරිසක් මැදට නොබියව යා හැකි යි.
සිහි නුවණින් යුතුව කලුරිය කරයි.
මරණින් පසු සුගතියෙහි උපදී.

තෘෂ්ණාව නිසා සත්ත්වයා අවුලෙන් අවුලට පත්ව ඇති අයුරු ලෝකය දෙස බැලීමේ දී මැනවින් පසක් වෙයි. ති‍්‍රහේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාවෙන් අග්‍ර වූ යම් සත්ත්වයෙක් සීලයෙහි පිහිටා සමාධිය ද, විදර්ශනාව ද වඩන්නේ, කෙලෙස් තවන වීර්ය ඇත්තේ මේ තෘෂ්ණා නැමැති අවුල නිරවුල් කරන්නේ ය.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]