[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසීරුම සටන විජිතපුර බළකොටුව බිඳ දැමීමයි

දුටුගැමුණු මහ රජතුමා - 60 කොටස:

අසීරුම සටන විජිතපුර බළකොටුව බිඳ දැමීමයි

රජතුමාගේ එම ප්‍රශ්නය කෙරෙහි කාගේත් අවධානය යොමු විය. සිරිනාගගේ පිළිතුර ගැන වඩාත් සැලකිල්ල යොමු කළෝ ත්‍රිපිටකතිස්ස මහ තෙරුන් වහන්සේ ය.

“මේ ගැන එක එල්ලේම අහන්නට මගේ සිතේ භයත් තිබුණා. මව් බිසොවුන් වහන්සේ තිස්ස කුමාරයා ජයගෙන පැමිණි දවසේ තරමක් කනස්සල්ලට පත්ව සිටියා. එතුමිය හමුවන ලෙස මට දන්වා එවා තිබුණා. යුද්ධයෙන් හුඟ දෙනකුට තුවාල වුණා දැයි ඇසු එතුමිය ගැමුණුට විශාල යුද හමුදාවක් තිබුණේ නැහැ නොවේදැයි ප්‍රශ්න කළා".

තිස්ස කුමාරයාට සටනක් කරන්නට සිදුවුණේ නැති බව මම කීවා. දුටුගැමුණු රජතුමා කළේ ඔච්චමක් පමණයි. යුද්ධයකට සූදානමක් තිබුණේ නැහැ. අසරු කණ්ඩායමක් සමඟ ආවා. තිස්ස කුමාරයාට පෙනුණා. පළා ගියා. තිස්ස කුමාරයා ලුහුබැන්දා. රහතන් වහන්සේ පෙරමග වඩිනු දැක හැරී ආවා”යි සඳහන් කළා.

එතුමිය සිනාසුණා. “ඒත් නැවත යුද්ධයක් කෙරේවි. ගැමුණු පරාජය කැමති කෙනෙක් නොවෙයි. තොපත් නැවත එනවා නම් මම කැමතියි.” මව් බිසොවුන් වහන්සේ කීවා. මට පුදුම හිතුණා.

“දේවීන් වහන්ස, සහෝදරයන් දෙදෙනා අතර යුද්ධයක් ඇතිවීම වළක්වා ගන්නට බැරිද? ඉදිරියේ කරන්නට ඇති මහ යුද්ධයට මෙයින් සිදුවන පාඩුව විශාලයි නේද? මම ඇසුවා.

“ඔව් සිරිනාග. මේ දෙදෙනා අතර යුද්ධයක් - සටනක් ඇතිවීම කනගාටුවට කරුණක්. තිස්ස කරන්නේ මහා සංඝයා ඉදිරියේ දුන් ප්‍රතිඥාවක් කඩ කිරීමක්. මේ යුද්ධයට තිස්ස මෙහෙයවන පිරිසට දඬුවමක් ලැබෙන්නට ඕනේ. මට මේ අරගලය එක වචනයකින් නතර කරන්නට පුළුවන්. කඩොල් ඇතාත් ගෙන මාගමට යාමට මට කාගේවත් අවසරයක් වුවමනා නැහැ. එසේ නොකිරීම ගැන බොහෝ දෙනා වික්ෂිප්තව සිටින බවත් මම දන්නවා. ගැමුණු, මහ ඇමති ද සමඟ යෝධයන්, මහා සෙනෙවිවරුන් පමණක් නොවෙයි අපට කුළුපග ජනතාවත් විමතියෙන් ඇති. මගේ අදහස ඔවුන් පසුව තේරුම් ගනීවි.

රජරට අල්ලා ගන්නට යන ගමන දුෂ්කර එකක්. ඒ ගමනට පෙර යුද්ධය ගැන අත්දැකීම් ඇතිව යනවා නම් මම කැමතියි. මේ පුංචි යුද්ධයේ දී ඒ අත්දැකීම ගැමුණුට ලැබේවි. ඒ නිසයි මේ කරුණේ දී මම නිශ්ශබ්දව ඉන්නේ.” එතුමිය කීවා.

මහ සෙනෙවිවරු බැලුවේ ත්‍රිපිටක තිස්ස මහ තෙරුන් වහන්සේ දෙස ය. උන්වහන්සේගේ මුවෙහි මද සිනා රැල්ලක් නැඟී තිබිණි.

“ඇත්ත, එක දවසක යුද්ධයක් වුණත්. එයට සූදානම් වීමත්, සේනා සංවිධානයත්, යුද්ධ උපක්‍රම ගැනත් අපට අලුත් අත්දැකීම් ලැබුණා.

දුර්ගම සංග්‍රාමිකයන් සතුරු සේනා අතරට යැවීමේ උපායන් තේරුම් ගත්තා. යුද්ධයක දී ඇද වැටෙන පිරිස රැක ගැනීමේ වැදගත්කම හැඟී ගියා. අඩුපාඩුවකින් තොරව බළ සේනාවන්ට ආහාර පාන සඳහා කණ්ඩායම් ක්‍රමයක අවශ්‍යතාව පෙනී ගියා. මෑණියන් වහන්සේ ත්‍රිසිංහලය එක්සේසත් කිරීමේ සටනෙහි උපදේශිකාව විය යුතු යැයි මා කියන්නේ ඒ නිසයි.

“මහ රජතුමනි, එය එලෙසම ඉටුවේවි. අපට දැනට සතුරු ව සිටින බොහෝ දෙනාගේ නුවණ පෑදී අපට එකතු වේවි. අවස්ථාවට මුහුණ පෑම මිස අවස්ථා පාදා ගැනීමක් අපට වුවමනා නැහැ. හෙට මව් බිසොවුන් වහන්සේ මෙහි පැමිණි පසු ප්‍රධාන ඉලක්කයට යොමුවන්න.” ත්‍රිපිටක තිස්ස මාහිමියෝ කීහ.”

“මහතෙරුන් වහන්ස, ඔබ වහන්සේගේ ආශීර්වාදය මෙතෙක් මගේ ගමනට ඉවහල් වූ ලෙසම, අපේක්ෂිත යුද්ධය සඳහා නියම කරගත් දින වකවානු කිසිවක් වෙනස් වන්නේ නැහැ. සංඝරත්නයේ මඟ පෙන්වීම ත්‍රිසිංහලයෙහි ජයග්‍රහණයට හේතුවන බව මගේ ඒකාන්ත විශ්වාසයයි.”

“දීඝාභය, තිස්ස කුමාරවරුන් දිගට ම අපට විරුද්ධකම් පෑවත්, සේරු, සෝම, රාජ්‍යයන් ජය පරාජය පිළිබඳ උපේක්ෂාවෙන් සිටියත් කැලණි පුරයෙන් කටපුලු නුවරින්, ගිරි රාජ්‍යයෙන් අපට ලැබෙන සහාය හොඳටම ප්‍රමාණවත් වේවි. අපේ උදාර අරමුණු ඉටු කර ගන්නට.”

උත්තර මහ ඇමතිතුමා කීවේ ඔහු පසුගිය දිනවල ඒ ඒ රාජ්‍යවලට කරන ලද සංචාරක අත්දැකීම් වශයෙනි.

“අපේ සටන ඉතා බැරෑරුම්. එය වඩාත් බැරෑරුම් කළේ දීඝාභය අයියණ්ඩි. මහවැලි ගඟින් මෙගොඩ ආරක්ෂක කඳවුරු එළාර රජුට පාවාදීම, තිස් දහසක සේනාංකයක් තිස්සට දායාද කොට දී ඔහු අපට සතුරු කිරීම, සේරු, සෝම රාජ්‍ය නායකයන් තුළ විරුද්ධ ආකල්ප ඇති කිරීම අවාසනාවන්ත සිද්ධි.”

“දේවයන් වහන්ස, මෙයින් සමහර කරුණු අපට වාසි සහගත ලෙස යොදා ගන්නට පුළුවන්. මහවැලි ගං ඉවුරේ එගොඩ ආරක්ෂක කඳවුරු ඉවත් කොට එම ආරක්ෂක හමුදා මෙගොඩ කඳවුරුවල ආරක්ෂාව තර කිරීමට මා යෝජනා කර තිබෙනවා. එවිට මෙගොඩ ලක්ෂයක බල හමුදාවක් කඳවුරු විසි අටක විසිරී සිටීවි. ඔබ වහන්සේට එම බලකොටු ඔවුන්ගේ සොහොන් බිම් කරමින් කසා තොටින් එගොඩ යා ගත හැකියි. ඒ කිසිවකුට ආපසු රජරටට හෝ විජිත පුරයට හෝ යා ගන්නට ඉඩ නොදුන් විට එළාර සේනාවෙන් විශාල කොටසක් මෙගොඩ දී ම ජය ගන්නට පුළුවන්.

සිරිනාගගේ මේ කීමෙන් දුටුගැමුණු රජතුමාගේත්, මහ සෙනෙවිවරුන්ගේත් සිතට නැඟුණේ මෙතෙක් ඔවුනට සිතා ගන්නට බැරි වූ යුද්ධෝපායකි.

“සිරිනාග, තොප දිගාමඩුල්ලට එවු සේනාංක දෙකෙහි විසි දහස ම දැන් අපේ සේනාංකවලට ඇතුළු ව සිටිනවා. ඔවුන් අතර සැක කටයුතු කිසිවකු නැති බවයි අපේ හැඟීම. ඔවුන් ඉතා දක්ෂ සෙනෙවිවරුන් හා සෙබළුන් බව අපේ මහ සෙනෙවිවරුන්ට හැඟී ගොස් තිබෙනවා.”

“එයින් වැඩි දෙනා දීඝාභය හා උපතිස්ස යටතේ පුහුණු වූවන්. දිගාමඩුල්ලට ගෙන එන්නට තෝරා ගැනීම කළේ මම. ඒ අතර සොළී පාලනය ගැන කළකිරී සිටින පිරිසකුත් ඇතුළු කළා. සොළී පාලනය යටතේ අපට අනාගතයක් නැති බව දැන් කාටත් ඒත්තු ගොස් ඇති.”

“සිරිනාග, තොප දක්ෂයෙක්. අනුරාධපුර ජයග්‍රහණයෙන් පසු තොපට කැමති වරයක් අපෙන් ඉල්ලා ගන්නට පුළුවන්. දැනට අපේ මහ සෙනෙවිවරුන්ගේ දැන ගැනීම පිණිස අනුරාධපුර රාජධානියෙහි යුද්ධ සංවිධානය ගැන විශේෂ යමක් වෙතොත් ප්‍රකාශ කරතොත් අගෙයි.”

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]