[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංඝසෝභන ගුණයෙන් පිරිපුන් දික්වැල්ලේ ඤාණවංස මහ නාහිමිපාණන් වහන්සේ

සංඝසෝභන ගුණයෙන් පිරිපුන් දික්වැල්ලේ ඤාණවංස මහ නාහිමිපාණන් වහන්සේ


ලෝ සසුන් වැඩ වඩන්නට උදාර මහඟු මෙහෙවරක් කළ හැකි විනයධර, ධර්මධර, ව්‍යක්ත සංඝ සෝභන ගුණයන්ගෙන් පිරිපුන් යතිවරයන් වහන්සේ නමක් වශයෙන් මීට වසර පහළොවකට පෙර අපවත් වූ දික්වැල්ල දීඝවාළුකාරාම රාජමහා විහාරස්ථානය ඇතුළු විහාරගණයේ විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වැඩ බලන ලද මහා නායක රාජකීය පණ්ඩිත දික්වැල්ලේ ඤාණවංස මහ නාහිමියන් හඳුන්වා දිය හැක.

රුහුණු දනව්වේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බතීගම මධ්‍යම ග්‍රාමසේවා වසමේ ගෝනවලහේන පදිංචි ඉඩම් වැවිලි ව්‍යාපාරික ඩී.එස්.වීරසිංහ මුදලාලි මහතා හා ඩී. නාවුරුන්නගේ මහ හාමිනේ උපාසිකාව යන දම්පතීහු මහ නාහිමියන්ගේ දෙමව්පියන් වූහ.

මෙම පින්බර දම්පතීන්ට 1918 ජුනි මස 30 දින පින්බර පුත් රුවනක් ලැබිණි. එම දරුවා ඩී.කේ.වීරසිංහ විය. මෙම කුල කුමරා බතීගම ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික ගිහි අධ්‍යාපනය ලැබූ අතර විටින්විට තම ගමේ පන්සල වූ දීඝවාළුකාරාම රාජමහා විහාරයට තම මව සමඟ යාම තුළින් පෙර පින් මතු ව කුඩා කුමරු පැවිදි වීමට අදහස වීමෙන් වීරසිංහ දම්පතීහු තම පුතු පැවිදි කිරීම සඳහා දික්වැල්ල දීඝවාළුකාරාම රාජමහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක අතිගරු දික්වැල්ලේ සිරි සංඝතිලක මහා නායක මා හිමියන්ට භාර කර ඇත.

මෙම කුල කුමරු පැවිදි දිවියට අවැසි බණ දහම් වත් පිළිවෙත් පුරා 1931 ජුනි 30 වන දින දික්වැල්ලේ සිරි සංඝතිලක මහ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් දීඝවාළුකාරාම පින් බිමේ දී දික්වැල්ලේ ඤාණවංස හිමි නමින් උතුම් පැවිද්ද ලැබී ය.

පොඩි හාමුදුරුවන් වහන්සේ සාමණේර ජීවිතයට ඇවැසි මූලික වරනැඟිලි ශතක පොත් කටපාඩම් කිරීමේ කටයුතු සිය ගුරුදේවයන් වෙතින් හදාරා මූලික අධ්‍යාපනය හැදෑරීම සඳහා රන්දොඹේ ශිෂ්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් ව රාජගුරු වැලිතර සිරි සුදස්සන මහානායක උප සංඝරාජයාණන් වහන්සේගේ පා සෙවනේ වෙසෙමින් ධර්ම විනය ඇතුළු ශබ්ද ශාස්ත්‍රයන් ඉගෙන ගත්හ. එම වකවානුවේදී ම උපසපන් වීමට නිසි වයස් පිරීම හේතු කොට 1937 ජුනි 12 වන දින බලපිටිය මාදුනදී මහා මංගල සමුද්‍රාරාම උදකුක්ඛේප සීමා මාලකයේ දී දික්වැල්ලේ සිරි සංඝතිලක නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා වැලිතර සිරි සුදස්සන නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සුපරිශුද්ධ උපසම්පත්තියට පත් වූහ.

වැඩිදුර ඉගෙනුම සඳහා ගාල්ල විද්‍යාලෝක මහ පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන මධ්‍යම යන විභාගවලින් සමත්ව 1951 දී විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන අවසාන විභාගයට ඉදිරිපත් වි උසස් අයුරින් සමත් වූ අතර සිංහල සාහිත්‍යද්වරය යන ශාස්ත්‍රීය ග්‍රන්ථය රචනා කොට පිළිගැනීමෙන් රාජකීය පණ්ඩිත උපාධිය දිනා ගැනීමට හැකි විය.

තම ගුරු දේවයන් වහන්සේගේ දැඩි අසනීප තත්වය නිසා 1960 දී විහාරස්ථානයට වැඩ නාහිමියන් සමඟ ප්‍රදේශයේ ආගමික සාමාජික කටයුතුවල නිරත විය.ගුරු දේවයන් වහන්සේ 1961.11.29 දින අපවත්වූයෙන් එම විහාරාධිපති පදවියට ඥාණවංස හිමියෝ පත්වූහ.

තම විහාරස්ථානය මුල් කරගෙන ජාතික ආගමික ශාසනික මෙහෙවර සුළු පිරිසකට ඉටුකිරීමට නොහැකි බව අවබෝධ කරගත් අප නාහිමියෝ කුල දරුවන් පැවිදි කොට සාමණේරයන් වහන්සේලා පුරුදු පුහුණු කිරීම සඳහා 1963 ජනවාරි 01 වන දින මාර /විද්‍යාතිලක පිරිවෙන ආරම්භ කළ අතර, ඒ තුළින් දහස් ගණනක් පැවිදි කර යහපත් උගත් පිරිසක් ඇති කළහ.

ප්‍රදේශයේ යහපත් දරුවන් පිරිසක් ඇති කරනු වස් 1964 ජනවාරි මස 01 වන දින සිරි සංඝතිලක දහම් පාසල ආරම්භ කෙරිණි.

විහාරස්ථානයකට අවැසි සංඝාවාස, බුදුමැදුර, සෑරදුන්, බෝමලුව, ශිෂ්‍ය නිවාස ඇති කරමින් විහාරස්ථානය අංග සම්පූර්ණ කරන ලදී.

මෙම ශාසනික ආගමික මෙහෙවර අගය කරමින් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සුධර්මා කාරක සභාව මඟින් 1960 දි නිකායික කාරක සංඝ සභාවට පත් කරගත් අතර ඒ තුළින් නිකායේ අභිවෘද්ධිය පිණිස විශාල මෙහෙවරක් කළ අතර ඒ සඳහා විශේෂ සැලකිල්ලක් වශයෙන් 1984 අපේ‍්‍රල් 16 වන දින එම සංඝ සභාව මඟින් උන්වහන්සේට ‘සිරිචූලපදුම සංඝතිලක වංසද්ධජ’ යන ගෞරව නාමය සහිත මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.

ශාසනයේ අභිවෘද්ධිය හා භික්ෂූන් වහන්සේලා පිළිබඳ සොයා බලා ශාසනය දියුණු කිරීම පිළිබඳ මහත් සතුටුව 1992 අපේ‍්‍රල් මස 25 වැනි දින තත් නිකායේ අනුනායක ධූරයක් පිරිනමන ලදී.

2005 අගෝස්තු 23 දින අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත සිරි සද්ධම්මවංසපාල ගණාචරිය සිරි සුදස්සන වංසාවතංස කොස්ගොඩ ජිනාලංකාර මහානායක ස්වාමින් වහන්සේ දැඩි ලෙස ගිලන්ව වැඩ සිටි බැවින් නිකායේ මහානායක ධුරයට අප නාහිමියන් පත් කරන්නට යෙදිණි. උන්වහන්සේ තමන්ගෙන් පසුවත් ශාසනික සේවාව ඉදිරියට පවත්වා ගෙන යාම උදෙසා සමත් ශිෂ්‍ය පුත්‍රයන් රැසක් තනා ඇත.

මෙවන් උදාර ශාසනික, ආගමික සාමාජික ආධ්‍යාපනික මෙහෙවරක් ඇති කළ අප නාහිමියෝ 2007 අපේ‍්‍රල් 02 බක් පෝදින, පෝදා වැඩසටහන කිරීමෙන් පසු සියල්ල අනිත්‍ය බව පසක් කරමින් සිහිනුවණින් අපවත් වූ සේක.

නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 15 ක් පිරීම නිමිතිකර විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරස්ථ මහ සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මගින් කටයුතු සලසා ඇත.

අපේ‍්‍රල් මස 01 වන දින සවස 6.00 ට කාව්‍ය ශ්‍රී මූලටියන ඉසිරවංස හිමිපාණන් වහන්සේ මෙහෙයවන අටපිරිකර සහිත අටවිසි බුද්ධපූජා, ආශිර්වාද බෝධි පූජාව ද, රාත්‍රී 7.00ට කපුගම සුධර්මාරාම විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රපති කපුගම සුගතසාර මා හිමිපාණන්ගේ විශේෂ දහම් දෙසුම ද පසුදින දහවල සපිරිකර සඟ සතු මහා දක්ෂිණාවද වේ.

මෙම උතුම් මහා පින් බලෙන් උන්වහන්සේට නිවන් සුව ලැබේවා.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]