[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගා දාසිය දෙව්ලොව ගිය හැටි

නාගා දාසිය දෙව්ලොව ගිය හැටි


පෙර අප ලක්දිව භික්ෂූන් වහන්සේ සැටනමක් උතුරු දෙස පිහිටි රාජායතන සෑ රදුන් වහන්සේ වැඳීමට එහි වැඩම කළා. චෛත්‍යය වැඳ පුදාගෙන එහි ම රැය ගෙවූ උන් වහන්සේ පසුදා උදෑසන පිණ්ඩපාතය සඳහා ගමට පිටත් වූණා. එහෙත් එක් නිවසකින්වත් ආහාරයට යමක් ලැබු‍ණේ නැහැ. උන්වහන්සේ හිස් පාත්‍රවලින් යුතුව ගම් දොරට වැඩම කළා.

ඒ ගමේ මෙහෙකාරියක් ලෙස සේවය කරන නාගා නම් කාන්තාවක් සිටියා. ඇය කළයක් ගෙන දිය ගෙන

ඒම පිණිස යන අතරේ ඒ භික්ෂූන් වහන්සේ දුටුවා. උන්වහන්සේ වෙත ගොස් වැඳ,

‘‘ස්වාමීනී, ඔබ වහන්සේට පිණ්ඩපාතය ලැබුණා ද?” යි විමසුවා.

‘‘උපාසිකා, තවම පෙරවරු කාලය යැයි” වදාළා.

නාගා දාසිය භික්ෂූන් වහන්සේට කිසිම ආහාරයක් ලැබී නැති බව තේරුම් ගෙන, මහත් වූ සංවේගයට පත්වුණා.

‘කෙසේ හෝ උන්වහන්සේට දානය සපයා දිය යුතු යි, බඩගින්නේ නො තැබිය යුතු යි. දන් දීමට කිසි වස්තුවක් මට නැහැ. සිදු වූ ණය ගෙවා ගැනීමට නො හැකිව වැඩ කරමින් සිටින දුගි කාන්තාවක්.

දැන් මම වැඩ කරන්නේ දවල් කාලයේ පමණයි. මට රැයෙහිත් වැඩ කරන්නට පුළුවන්. රැයෙහි වැඩ කර දීම සඳහා මුදලක් ණයට ගෙන, භික්ෂූන් වහන්සේට දානය සපයා දෙමි.’ යි සිතා කළය භික්ෂූන් වහන්සේ ඉදිරිපිට තබා මෙසේ කීවා.

”ස්වාමීනී, මේ කළය මෙහි තබා යමි. ඔබ වහන්සේ මා එනතුරු මෙහි මොහොතක් වැඩ සිටින සේක්වා.” එසේ කියා වහා ම තමන් සේවය කරමින් සිටි ගෙයට ම ගොස්, ගෙහිමියාගෙන් තවත් කහවණු හැටක් ණයට ඉල්ලා සිටියා.

‘‘නුඹ තවම පරණ ණය නො ගෙවා තිබිය දී තවත් ණය ඉල්ලා සිටින්නේ කුමට ද?” ගෙහිමියා විමසා සිටියා. එවිට නාගා,

‘‘හිමියනි, ධනය ගැන බිය නො වනු මැනවි. මම දැන් ගන්නා මුදල වෙනුවට රැයෙහි දී වැඩ කරන්නෙමි.” යැයි කීවා.

‘‘එසේ නම් හොඳයි” කියා ඔහු කහවණු හැට දුන්නා. උපාසිකාව මුදල් ගෙන වහා ගමෙහි ඇවිද එක ගෙයකට එක් කහවණුව බැගින් දී, දානය පිළියෙළ කරවාගෙන භික්ෂූන් වහන්සේට පිරිනැමුවා. දානය පිළිගන්වා වැඳ තමා දානය පිළියෙළ කර ගත් ආකාරය ද එම භික්ෂූන් වහන්සේට දන්වා පිටව ගියා.

ඇයගේ කතාවෙන් පුදුමයට පත් භික්ෂූන් වහන්සේ ඒ මොහොතෙහි දානය නො වළඳා තම තමන්ගේ පාත්‍රය ගෙන මහානාම නම් විල අසල මිදෙල්ල වනයට වැඩම කළා. නායක ස්වාමින් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ කීවා.

‘‘ඇවත්නි, මේ දානය දුන් දුගී කාන්තාව අපගේ මව හෝ සොහොයුරියක් ද නො වන්නී ය. ඥාතියෙක් ද නො වන්නී ය. අතිශයින් දිළිඳු වූ ඇය මේ දානය තම ශ්‍රමය විකුණා පිළියෙළ කර ඇත්තේ, සිල්වත්, ගුණවත්, භික්ෂූන්ට දන් දීමෙන් මහත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ යැයි සිතාගෙන ය. එම නිසා මේ දානය අප කෙලෙස් සහිතව සිට වැළඳීම සුදුසු නැත. ඇගේ දානය මහත් ඵල වනු පිණිස අප කෙසේ හෝ සියලූ කෙලෙසුන් නසා රහත් බව ලබා ම වළඳමු.”

එවිට භික්ෂූහු ‘රහත් නො වී මේ දානය නො වළඳමු’ යි වනයෙහි තැන තැන වැඩ හිඳීමින්, වෙනදාට වඩා බලවත් වූ උත්සාහයකින් භාවනාව පටන් ගෙන එදින පෙරවරු කාලයේ දී ම සියලූ දෙනා වහන්සේ ම සියලූ කෙලෙසුන් නසා, රහත් බව ලැබූ සේක.

මේ සිදුවීම දුටු දෙවියෝ සාධුකාර දුන්නා. උන්වහන්සේ දෙවියන්ගේ සාධුකාර මැද පවිත්‍ර වූ සිතිවිලි ඇතිව නාගා උපාසිකාවන්ට මහත් ඵල වනු පිණිස ඇය දුන් දානය වැළඳුවා. මේ පුවත දැනගත් රටේ රජතුමාගේ ධවල ඡත්‍රයට අධිගෘහිත වූ දෙවියා ද සාධුකාර දුන්නා.

රජතුමා ද දෙවියාගෙන් මේ පුවත අසා, නාගා ගැන පැහැදී ණය හිමියන් සමඟ ඇය ගෙන්වා, ඇයගේ ණය ගෙවා බොහෝ සම්පත් ද දුන්නා. ඇය තව තවත් පින්කම් කොට ජීවිතය අවසානයේ දෙව්ලොව උපන්නා. ඇයට ගෞරවාදර පිණිස මෙම දිවයින නාගදීපය ලෙස නම් කළේ යැයි ජනප්‍රවාදයේ කියැවෙනවා.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]