[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිංහල බෞද්ධකමට එල්ලවන පීඩනය වළක්වා ගැනීමේ අරමුණ එක්තරා ප්‍රමාණයකට සාර්ථක වුණා

සිංහල බෞද්ධකමට එල්ලවන පීඩනය වළක්වා ගැනීමේ අරමුණ එක්තරා ප්‍රමාණයකට සාර්ථක වුණා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති මංගල ධර්ම කීර්ති ශ්‍රී නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක කොටපොල අමරකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

පිච්ච මල් හාමුදුරුවෝ යන නාමයෙන් ජනී ජනයා අතර ඉතා ප්‍රචළිත ඔබ වහන්සේ ආගමික, ජාතික, දේශපාලනික සුබසාධනමය වශයෙන් විශාල කාර්යයක් සිදුකරන ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් අපි කවුරුත් හඳුනනවා. පුංචි කාලයේ පැවිදිව මෙවැනි කාර්ය ශූරත්වයක් ඇතිකර ගැනීමට ගුරු හාමුදුරුවරුන්ගේ ආශ්‍රය ලබමින් ලැබූ ශාසනික අධ්‍යාපනික පසුබිම කොහොමද? අපේ හාමුදුරුවනේ,

දෙනියාය ප්‍රදේශයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති මුගුණුමුල්ල කියන බොහොම හද්දා පිටිසර ගමක තමයි මගේ මව්පියන් පදිංචිවෙලා හිටියේ. එම දෙපළ ඉතාමත් ශ්‍රද්ධාවත් ගුණ ගරුක මව්පියන් බවත් කෘතවේදීව ප්‍රකාශ කළ යුතුයි. ගොඩකුඹුර කනිටු විදුහල, බෙරලපනාතර කනිටු විදුහල, කොටපොළ මහා විද්‍යාලය, දොඩන්දූව කුමාර මහා විහාරස්ථ රජගිරි පිරිවෙන තුළින් මූලික අධ්‍යාපනය ලබා ගත්තා. මගේ නායක හාමුදුරුවන් වහන්සේ දොඩන්දුව කේන්ද්‍රගත කරගෙන එදා සිටම සේරුවිල සංවර්ධන කටයුතු සිදුකළ නිසා උන්වහන්සේගේ සම්බන්ධතාවයත් සමඟ මම රාජගිරි පිරිවනේ අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.

1962 වර්ෂයේ ජනවාරි මස 22 වැනි දින කොටපොල අමරකිත්ති යන උතුම් ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රවෘජ්‍යාභාවයට පත්වෙලා ගත කළ පැවිදි ජීවිතයට අවුරුදු 60ක් සම්පූර්ණ වෙනවා. ඒ පුණ්‍යවන්ත පැවිදි ජීවිතයට ඇතුළත්වීමේ දී ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ වශයෙන් කටයුතු කළ අතිගෞරවනීය දබගස් ආරේ ශ්‍රී සුමේධංකර නායක මාහිමිපාණන් වහන්සේ වගේම උපාධ්‍යයන් වහන්සේ වශයෙන් කටයුතු කළ ධර්ම විනයධර පොල්වත්තේ ලංකාරාමාධිපති අග්ගමහා පණ්ඩිත ගරු සම්භාවිත පොල්වත්තේ බුද්ධදත්ත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ අවස්ථාවේ දී පුණ්‍යානුමෝදනා පූර්වක ව, කෘතවේදී ව සිහිපත් කළ යුතු යි.

ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම සම්භාවනාවට පාත්‍ර වූ අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් පිරිපුන් සුපේශල ශික්ෂාකාමී මහා යතිවරුන්ගේ ඇසුරේ ශාසනික වත් පිළිවෙත් පුරුදු පුහුණුවීමත්, එම ආභාසය ලැබීමත් පැවිදි ජීවිතය සාර්ථකවීමට හේතු වුණා.

ඒ වගේම රාජගිරි පිරිවනේ මූලික ශාසනික අධ්‍යාපනය ලබා ගනිමින් ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුතුව ගම්පහ බැණ්ඩියමුල්ල විද්‍යාසේකර පිරිවෙන, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන වගේම පැපිලියාන සුනේත්‍රාදේවි විද්‍යායතනය යන කීර්තිමත් පරිවේණාස්ථානයන්හි ශාසනානුලෝමී හැඟීමෙන් වැඩසිටි සාර්වභෞම වියත් ඇදුරු මඩුල්ලක් ඇසුරේ ඉතාම සාර්ථකව ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කළා. එම කාල පරිච්ඡේදයේ දී ම සේරුවිල මංගල රාජමහා විහාර බද්ධ සීමාමාලකයේ දී අධිශීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගැනීමට භාග්‍යවන්ත වුණා.

සෘජුපටිපන්න සඟ ගුණයෙන් සෝභමාන වූ සුපේශල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමක් වශයෙන් වැඩ සිටින ඔබ වහන්සේ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ කල්‍යාණවංස පාර්ශ්වයේ නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් සිදුකරන සේවාවන් ඉතා කෙටියෙන් පැහැදිලි කරන්න නායක හාමුදුරුවනේ,

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකළ ආගමික, ජාතික, ශාසනික මෙහෙවර ඇගයීමට පාත්‍ර කරමින් ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ කල්‍යාණවංස පාර්ශ්වයෙන් නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනැමීමට කටයුතු කළා. ඒ වගේම 1979 වර්ෂයේ දී තමයි සේරුවිල පාසලකට මුල්ම ගුරුපත්වීම ලැබුණේ. එවැනි දුෂ්කර පළාතක සේවය කිරීමෙන් ලැබුණ අත්දැකීම් බොහෝ වැදගත් වුණා.

එම පළාතේ දරුවන්ගේ දුෂ්කරතා හඳුනාගෙන ඔවුන්ට උදව් උපකාර කිරීමේ අරමුණින් 1979 වර්ෂයේ දී සේරුවිල දී ම නෙළුම් ළමා සංවිධානය ආරම්භ කළා. පසුකාලීනව එය ශාන්ති ළමා සංවිධානය බවට පත් වුණා. ‘ශාන්ති ළමා සංවිධානය’ හරහා මා විසින් සම්පාදනය කරන්නට යෙදුණ ‘ශාන්ති ළමා හඬ’ ගුවන්විදුලි වැඩසටහන සෑම පුර පසළොස්වක පොහොය දිනකම වසර 13ක් අඛණ්ඩව ඉතාම සාර්ථකව සිදුකළා. ධම්මචින්තා වැඩසටහන, ගුවන්විදුලි ධර්ම දේශනා, ගුවන්විදුලි ධර්ම සාකච්ඡා හා රූපවාහිනී වැඩසටහන් රාශියක් සිදුකිරීමට අවස්ථාව ලැබුණා. ශාන්ති ළමා සංවිධානය පසුකාලීනව ශාන්ති පදනම බවට පත්කරමින් විශාල කාර්යභාරයක් ඉටු කළා.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේ උදෙසා ආරම්භ කළ ජාතික පිච්චමල් පූජා පින්කම වසර 30ක් අඛණ්ඩව සිදුකරගෙන ආවා වගේම දඹදිව සැවැත්නුවර ජේතවනාරාමයෙහි අවුරුදු 7ක් පුරා රෝසමල් පූජාව සිදුකළා. එයට අමතරව දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත එල්ලකරන ලද මෙලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය නිමිතිකරගෙන එය අනුස්මරණය කිරීම වෙනුවෙන් දළදා මාලිගාවේ සුවඳ මංගල්‍ය පුණ්‍යෙීත්සවය අඛණ්ඩව වසර 5 ක් සිදුකරගෙන ආවා. ලෝක වසංගත තත්ත්වය හමුවේ එම පින්කම් ප්‍රමාද වෙලා තිබෙනවා.

එම යුගය තුළ සිංහල බෞද්ධයාගේ තත්ත්වය බොහොම පසුගාමී තැනක තිබුණා කියන එක තමයි අපේ කල්පනාව. සිංහල බෞද්ධකමට දැඩි පීඩනයක් එල්ලවෙලා තිබුණා. භික්ෂූන් වහන්සේලා කිහිප නමක් එකතුවෙලා සාකච්ඡා කරලා තමයි දේශපාලනය කිරීමට තීරණය කළේ. සිංහල බෞද්ධකමට එල්ලවන පීඩනය වළක්වාගැනීම අරමුණු කරගෙන සිදුකළ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වුණා.

ආධ්‍යාත්මික, දේශපාලනික, සමාජීය අංශයෙන් බොහෝ සේවාවන් රාශියක් කිරීමට අපට හැකියාව ලැබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිනි මාතාවන්ට අවශ්‍ය ආධාර උපකාර කළා. ඊට අමතරව 1992 වර්ෂයේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කළා. එම වැඩසටහන වසර 30ක් පුරා සිදුකරගෙන ආවා වගේම එය අම්පාර, මාතර දිස්ත්‍රික්කයටත් දියත් කර තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයටත් එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ලංකාවාසී ශ්‍රද්ධාවන්ත ත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් තමයි මේ සියලු කාර්යයන් සිදුකර තිබෙන්නේ. විදේශීය උපකාර මත සුනාමි සහනාධාර, නියං සහනාධාර ලබාදීමට අපේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කළා ඒ වගේම කොළඹ බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කළා.

භික්ෂූන් වහන්සේලාගේ මුඛ්‍ය පරමාර්ථය ශාසනික සංරක්ෂණතාවයයි. එම නිසා නූතනයේ පැන නැගී ඇති ශාසනික අර්බුදයන්ට විසඳුම් සොයමින් ක්‍රියාකරන ස්වාමීන් වහන්සේ තමන් වශයෙන් ප්‍රකට ඔබ වහන්සේ මෙහිදී දක්වන්නේ කුමන අදහසක් ද?

අපි බොහෝ දෙනෙක් කරන්නේ භික්ෂූන් වහන්සේට දෝෂාරෝපණය කරන එකයි. නමුත් උන්වහන්සේලාට අවශ්‍ය කරන මඟ පෙන්වීම කිරීමට විවේචනය කරන පිරිස් ඉදිරිපත් වන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ සහායත් ලබාගෙන එක දිස්ත්‍රික්කයකින් පරිවේණාධිපතින් වහන්සේ පනස් නමක් හැට නමක් වැඩම කරමින් කළුතර පුහුණු මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කරගෙන යනවා. එම වැඩසටහන දිස්ත්‍රික්ක 15ක ක්‍රියාත්මක කරල තිබෙනවා. එමඟින් භික්ෂු චරිතවල අලුත් පිබිදීමක් ඇති කිරීමට අපට පුළුවන්කම ලැබුණා.

පරිවේණාධිපතින් වහන්සේලා භික්ෂූන් වහන්සේලාට බලපෑම් කළ හැකි පිරිසක් නිසා උන්වහන්සේලා හරහා එම වැදගත් අදහස ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙත ලබාදීම පහසුයි. අපි ස්වේච්ඡාවෙන් ම පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ලබාගෙන දිස්ත්‍රික්ක 15ක එම වැඩසටහන සිදුකර තිබෙනවා.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]