[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හුස්ම පොදෙනුත් කුසල් රැස්කර ගන්න පුළුවන්

හුස්ම පොදෙනුත් කුසල් රැස්කර ගන්න පුළුවන්

නොපෙනෙන සම්පත

අපට දැක ගැනීමට නොහැකි, ඇල්ලීමට හැකියාවක් නැති. ගඳක් සුවඳක් නැති, ස්පර්ශ වීමේ දී ශරීරයට දැනෙන වායුව මහා විශ්මිත දෙයක් හැටියට පෙන්වාදිය හැකි යි.

වායුව අපට නොපෙනුනත් වායුව තුළ ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහා භූත රූප අඩංගු වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකය ම සතර මහාභූත කොටස්වලින් නිර්මාණය වී ඇති බව යි. අපේ ශරීරය ද සකස් වී ඇත්තේ මෙම සතර මහා භූතවලින් බව කිව යුතු ය. පඨවි යනු තද ගතිය යි. ආපෝ නම් වැගිරෙන ගතිය යි. තේජෝ ධාතුව නම් උණුසුම් සිසිල් ගතිය යි. වායෝ ධාතුව යනු වායුව යි. වායෝ ධාතුව ඇතිබව අපට දැක ගැනීමට හැකියාවක් නැතත් සුළග ලෙස හමායන විට ගස් වැල් සෙලවීම නිසා වායුව ඇතිබව පෙනේ.

දියුණුවේ තරම

අද වන විට ලෝකයේ සුළං උපයෝගී කරගෙන විදුලිය නිපදවීම ද සිදුකරයි. විශේෂයෙන් හම්බන්තොට මන්නාරම තම්බපණ්නී, පුත්තලම උප්පුඩලුව, අඹේවෙල, මාම්පූරී, නිර්මලපුර වැනි ප්‍රදේශවල සුළං උපයෝගී කරගෙන ලංකාවේ ද විදුලිය නිපදවයි. එසේ විදුලිය නිපදවීම තුළින් පරිසරයට හානියක් ද සිදු නොවේ. වායු දූෂණයක් ද සිදු නොවේ.

වාහන පිරිසුදු කිරීම, ගෙවල් දොරවල් පිරිසුදු කිරීම ආදියේ දී ද තාක්‍ෂණික උපකරණ මගින් වායුව යොදාගෙන කටයුතු කිරීමට අපි පුරුදුව සිටිමු. යම් යම් යන්ත්‍ර සූත්‍ර සිසිල් කිරීමට මෙන් ම අපට උණුසුම් අවස්ථාවල සිසිලස ලබා ගැනීමට ද සුළං උපකාර වේ. ස්වභාවිකව සුළං අපට නොලැබේ නම් පරිසරයේ ඇති වායුව යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් සුළං බවට පත්කර ගෙන වැඩ ගැනීමට තරම් අපි දක්ෂයෝ වෙමු.

පින්වත් දුවේ පුතේ, ඔබ මොහොතකටවත් සිතුවා ද මේ වායුව අපට කුසල් රැස් කර ගත හැකි දෙයක් බවට පත් කරගන්න පුළුවන් බව. අප උපතේ සිට මරණය දක්වා හුස්ම ගැනීම සිදු කළත් එය ස්වභාවිකව සිදුවන දෙයකි. ඒ හැරුණු විට යම් අසනීප තත්ත්වයක් ඇති වූ විට කෘත්‍රීම ස්වසනය ලබා දීම සිදු කරයි. එසේත් නොමැති නම් ජලයේ කිමිදෙන විට විශේෂ උමං වැනි ඔක්ෂිජන් අඩු ස්ථානවලට යන විට කෘත්‍රීම ව ස්වසනය ලබාදෙන උපකරන භාවිත කරයි. අප ගන්නා හුස්ම පොද උපයෝගී කරගෙන කරන භාවනාවක් ගැන ඔබ අසා ඇති. ඒ ආනාපාන සති භාවනාව යි.

කළ හැකි දෙය

අප බුදුපියාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට කළ භාවනාව වූයේ ද ආනාපාන සති භාවනාව වීම විශේෂත්වයකි. එසේ ම සිදුහත් කුමාරයා ලෙසින් සිටි අවධියේ වප් මඟුල් දින පළක් බැඳ ආනාපාන සති භාවනාව වැඩූ බව ඔබ අසා ඇති. අප ගන්නා හුස්ම දෙස අවධානය යොමු කරමින් කරන භාවනාව ආනාපාන සති භාවනාව යි. මෙම භාවනාව ලොකු කුඩා ඕනෑම කෙනකුට පහසුවෙන් කළ හැකි භාවනාවකි. ඒ අනුව භාවනා කිරීමටත් උපකාරවන දෙයක් ලෙස වායුව හඳුන්වාදීම යුක්ති සහගත ය.

ඉහත අප කතා කළේ වායුව හා බැඳුන අපට ඉතා වැදගත්වන අවස්ථා කිහිපයකි.

මෙතරම් සම්පතක් වූ වායුව අදවන විට දූෂණයට ලක්වන්නට පටන් ගෙන ඇත. එය ඉබේ සිදුවන්නක් නොව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නකි. හිරුගේ සිට එන පාරජම්බුල නම් කිරණ විෂ සහිත වූවකි. මෙම කිරණ අප වෙත පැමිණීමේ දී ඕසෝන් නැමැති ස්ථරය හරහා පැමිණිය යුතු ය. එම ස්ථරය නිසා එම විෂ කෙලින් ම නොපැමිණෙයි. එහෙත් වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වීම හා විෂ වායු එක් වීම නිසා ඕසෝන් ස්ථරය සිදුරු වී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. සීතකරණ, වායු සමීකරන ආදිය සඳහා යෙදූ ගෑස් (ඉන්ධන) විෂ සහිත බව සොයාගෙන ඒ වෙනුවෙන් දැනට ලෝකයේ වෙනත් ඉන්ධන වර්ගයක් මේ වන විට භාවිතයට ගෙන ඇත.

සැනසීම සොයා වැනසීමට යෑම

මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ක්‍රියා කිරීමේ දී ද අපට වායුව දූෂණයට ලක් කිරීමට සිදුව තිබේ. එදිනෙදා ආහාර පිසීමට දර යොදාගැනීමේ දී ඒවා දහනය වීම නිසා පරිසරයට දුම එකතු වේ. බොහෝ නාගරික වැසියෝ ගෑස් වැනි දෑ හෝ භූමිතෙල් ලිප් වැනි දේ භාවිත කරති. ඒ තුළින් ද දුම එකතුවේ. බේකරි, හෝටල් වැනි ආයතනවලින් මෙන් ම ආහාර වර්ග නිපදවන විශාල කර්මාන්ත ශාලාවලින් ද දුම පිටකරයි. එසේ ඉන්ධන භාවිතය නිසා ද පරිසරයට දුම එකතු වේ.

අද අප රටේ මෙන් ම බොහෝ රටවල විදුලි නිශ්පාදනය සඳහා ද ඉන්ධන භාවිත කරයි. එම ගල්අඟුරු හෝ ඉන්ධන දහනය වීම නිසා ද පරිසරයට එකුවන දුම තුළින් පරිසරයේ වායු දූෂණය සිදුවේ. න්‍යෂ්ටික බලාගාර නිසා ද ඉතා බිහිසුණු ලෙස වායු දූෂණය සිදු වේ.

ගොවි මහත්වරු කෘෂි රසායන ද්‍රව්‍ය, වල්නාශක වැනි දෑ ඉසීම තුළින් ද පරිසරයේ වායූ දූෂණය සිදුවන බව අප දන්නා කරුණකි. හේන් ගොවිතැන් ආදිය සඳහා කැලෑ ගිනි තැබීම් ආදිය සිදු කරයි. එය ද පරිසර පද්ධති විනාශ වීම වගේ ම වායූ දුෂණයට ද හේතුවකි.

මේ හැරුණු විට විශේෂයෙන් ම ලෝකයේ බලවත් රටවල් විශාල අවිආයුධ, මිසයිල, බෝම්බ වැනි දෑ නිෂ්පාදනය කරයි. මේවාතුළින් ඉතා විශාල ලෙස වායු දූෂණය සිදු වේ. අද වන විට ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා මෙන් ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන ගුවන්යානා, නැව්, දුම්රිය, බස්රථ, ලොරි රථ යනා දී යානවාහන සියල්ල ම පාහේ දුම පිටකරන ඒවා නොවේ ද? ඒ සියල්ල තුළින් ම සිදුවන්නේ වායු දූෂණයයි. අප හිරු එළියෙන් හෝ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා යොමුවිය යුතු කාලය එළඹ ඇත. පොලිතීන්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ගිනිතැබීම අප කිසිවිටකත් නොකළ යුතු ය. ඒවා දහනය වීමේ දී පිටවන විෂ දුම නිසා ද වායු දූෂණය සිදු වේ.

සමහර අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම තුළින් ද වායු දූෂණය සිදුවෙයි. ජල මූලාශ්‍ර ආදියට අපවිත්‍ර දෑ දැමීම නිසා ඒවා අපවිත්‍ර වී දුර්ගන්ධය හමන තත්ත්වයට පත් වේ. එයින් ජල මුලාශ්‍ර අපවිත්‍ර වෙනවා සේ ම ඒ අවට ඇති වායුව ද දූෂණයට ලක් වේ.

මහා මාර්ග ඉදි කිරීම්, ගොඩනැගිලි ඉදිකිරීම් ආදියේ දී මෙන් ම ඒ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය නිෂ්පාදනයේ දී ප්‍රවාහනයේ දී වැනි අවස්ථාවන් හි දී ද දූවිලි මෙන් ම තවත් අප ද්‍රව්‍ය වායුව සමඟ මුසු වේ.

මෙවැනි බොහෝ දේ නිසා වටිනා ම සම්පතක් වු වායුව දූෂණය වේ. වායු ගෝලයේ ඇති උෂ්ණත්වය ඉහළ යෑම නිසා අදවන විට හිම කඳු දියවීමට පටන්ගෙන ඇත.

මෙනිසා මුහුදු ජලය ඉහළ යෑමට පටන්ගෙන ඇත. එසේ මුහුදු ජලය වැඩිවන විට ලෝකයේ ඇති පහත්බිම් නැතිනම් දූපත් මෙන් ම කුඩා දිවයින් යටවීමේ අවදානමක් ද ඇතිව තිබේ. මේ හැම කාරණයක් ම සලකා බලා අප වායු දූෂණයෙන් ඈත්වීමට කටයුතු කිරීමට අදිටන් කර ගනිමු.

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]