නිවෙසේ දී ම භාවනා කරමු
රත්නපුර, පැල්වාඩිය
මිණිපුර අමාශාන්ති තපෝවනයේ,
රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත
තපෝවනයේ රතන හිමි
භාවනා කරන්නේ කොහොමද කියා බොහෝ දෙනා අපෙන් අසති. සමහරු රැල්ලට යමින් බොහෝ පිරිස්
එක් රැස් වී, සාමුහිකව ම භාවනා කළ යුතුයි, නැතිනම් භාවනා වැඩෙන්නේ නැතැ'යි සිතති.
සමහරු රැකියා, ගෙදර දොරේ කටයුතු සමඟ භාවනා කළ නොහැකි යැයි වරදවා සිතති. බොහෝ අයට
භාවනාව ගැන තිබෙන්නේ වැරැදි වැටහීමකි. එම නිසා භාවනාව ගැන ඉතා සරලව ඔබට පැහැදිලි
කරන්නට අදහස් කළෙමු.
භාවනා වැඩීම කියන්නේ කුමක්ද?
භාවනා වඩන්නට පෙර ඒ සඳහා කටයුතු කරන පින්වතුන්ට භාවනාව ගැන මූලික අවබෝධයක් තිබිය
යුතු ය. එය භාවනාව දියුණුවට මහෝපකාරී වේ. භාවනා වැඩීම යැයි කියන්නේ කුසල ධර්මයන්
වැඩීමටයි.
“භාවේති කුසලෙ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා” ලෙස ඒ බව සඳහන් වේ. “කුසල් දහම්
වැඩිදියුණු කරන මානසික ක්‍රියාවලිය භාවනාවයි.” යන්න එහි සරල අදහසයි.
අකුසල් සහ කුසල් කියා දෙකක් තිබේ. මින්, අකුසල් යන්නෙහි තේරුම නරක, අයහපත්, පාප ගති
ඇති කරන යන අදහසයි. මේ අකුසලයන් යෙදෙන සිත් ඇතිව කරන, කියන, සිතන, පතන පාප කර්මවලට
නොයෙකුත් දුක් විපාක ඇති කරයි.
කුසල් යන්නෙහි තේරුම වන්නේ නරක, අයහපත්, පාප ගති නසන යන අදහසයි. මේ කුසලයන් යෙදෙන
සිත් ඇතිව කරන, කියන, සිතන, පතන, යහපත් කර්මවලට නොයෙකුත් සැප විපාක ඇති කරනු ලබයි.
භාවනා කරන්නට පෙර මේ අකුසල ධර්ම ගැනත්, කුසල ධර්ම ගැනත් වැටහීමක් ඇති කර ගත යුතු ම
ය. ඒ සඳහා ධර්මයට ඇහුන් කන්දෙමින්, ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රීය ආදී දහම් කරුණු
දැන ගන්නට “පරතෝඝෝසය” තිබිය යුතු ය.
පරතෝඝෝෂය කියන්නේ ධර්මයට ඇහුම්කන්දීමටයි. සම්මා දිට්ඨිය ඇති වන්නට නම් ධර්මයට
ඇහුම්කන් දෙමින් දැන ඉගෙන ගත යුතු ම ය.
පරතෝඝෝෂයත්, යෝනිසෝ මනසිකාරයත් සම්මා දිට්ඨිය ඇති වන්නට අත්‍යවශ්‍යම කරුණු වේ.
අභිධර්මය, සූත්‍ර, විනය යන ත්‍රිපිටකයත්, එහි අටුවා ටිකා, එසේම විසුද්ධි මාර්ගය
වැනි මහනීය ධර්ම ග්‍රන්ථත්, සතිපට්ඨාන භාවනා ක්‍රමයත්, විදර්ශනා භාවනා ගැන සඳහන් වන
ග්‍රන්ථත්, විසුද්ධි ධර්ම හතත්, බුරුමයේ පවතින භාවනා ග්‍රන්ථත්, කර්මස්ථානය
සංග්‍රහයත්, ආචාර්ය පරම්පරාවල භාවනා ක්‍රමත් හැදෑරීමෙන් ද, අත්දැකීම් බහුල කල්‍යාණ
මිත්‍රයන් වහන්සේලාගේ ඇසුරෙන් ද ආදී බොහෝ මාර්ගවලින් පරතෝඝෝෂය ඇති කර ගත හැකි ය.
භාවනා පටන් ගන්නට කටයුතු කරන ආධුනිකයකුට ඉහත සඳහන් සියලු දෑ බැලීමට, කිරීමට නොහැකි
ය. එහෙත් භාවනා කමටහන් වැඩීමේ මාර්ගය පෙන්වන ආචාර්යයන් වහන්සේලා ඉහත සඳහන් කළ නොකළ
සියල්ලත්, ඇසුරු කර තිබිය යුතුම වේ. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට එය මහෝපකාරී වේ.
කොයි මොහොතකවත් ත්‍රිපිටකය ඉක්මවා කටයුතු නොකළ යුතු ය.
උසස් ප්‍රතිඵල
සන්තානයේ පවතින අකුසල ධර්ම යටපත් කරමින්, දුරු කරමින් සිත දියුණු කර ගත හැකි උපරිම
මට්ටමකට හෝ අතරමැද තත්ත්වයකට හෝ දියුණු කරගෙන විෂ්කම්භන ප්‍රහාණයෙන් සහමුලින්ම
කෙලෙසුන් දුරු කරන ක්‍රමයට (සමථයානිකයාගේ විදර්ශනාව) හෝ කෙලින්ම විදර්ශනා වඩා
කෙලෙස් ධර්ම සහමුලින්ම නසමින් මගඵල ලැබීම (ශුෂ්ක විදර්ශනායානිකයා) හෝ භාවනා
වැඩීමෙන් ලබාගත හැකි උසස් ප්‍රතිඵල වේ. සසර දුකින් මිදීමට නම් අනිවාර්යයෙන් ම
නුවණැතියන් විසින් භාවනා කළ යුතුම වේ.
සිත දියුණු කරන භාවනා ක්‍රමය සමථ භාවනාව ලෙස හඳුන්වනු ලැබේ. මෙම ක්‍රමයෙන් දැන්
පවතින චිත්ත සන්තානය පියවරෙන් පියවර දියුණු කරගෙන උපචාර සමාධිය, ධ්‍යාන, අභිඥා ආදිය
උපදවා ගත හැකි ය. දියුණු කර ගත් සිතක් ඇතිව, දියුණුව ලබා තිබෙන මට්ටම අනුව
විදර්ශනාවට යොමු වීම මෙම ක්‍රමයෙන් සිදු කෙරේ. මෙයට සමථ භාවනාව කියාත්, චිත්ත
භාවනාව කියාත් කියනු ලැබේ.
නුවණ දියුණු කිරීම
නුවණ දියුණු කරන භාවනා ක්‍රමය විදර්ශනා භාවනාව ලෙස හඳුන්වනු ලැබේ. නිවන් දකින්නට
විදර්ශනා භාවනා ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් නැත. මහා සතිපට්ඨාන සූත්‍රය ආදී සෑම
තැනකම ඉතා මැනවින් සමථ, විදර්ශනා කමටහන් දේශනා කර ඇත. විදර්ශනා භාවනාව ගැන පුද්ගල
භේදය අනුව දේශනා කර ඇති සූත්‍ර දේශනා ද අති විශාල ප්‍රමාණයක් තිබේ.
මහා සතිපට්ඨාන සූත්‍රයේ දී කායානුපස්සනාව, වේදානුපස්සනාව, චිත්තානුපස්සනාව,
ධම්මානුපස්සනාව යන සතර, සිහිය පිහිටුවා ගැනීමට ස්ථාන ලෙස දේශනා කළහ. කායානුපස්සනා
සතිපට්ඨාන දහ හතර (14) ආකාරයක් වේ. වේදනානුපස්සනා සතිපට්ඨානය නව (09) ආකාරයක් වේ.
චිත්තානුපස්සනා සතිපට්ඨානය දහසය (16) ආකාරයක් වේ. ධම්මානුපස්සනා සතිපට්ඨානය පස්
(05) ආකාරයක් වේ. එලෙස සතළිස් සතර (44) ආකාරයකට දේශනා කර තිබේ.
සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර දේශනා අතර සමහර දේශනා, සමථ භාවනාව වඩා සිත දියුණු කරගෙන
දියුණු කර ගත් සිතක් ඇතිව විපස්සනා වඩා කෙලෙසුන් නසා නිවන් දකින ආකාරයට දේශනා කර
ඇත. සමහර දේශනා කෙලින්ම විදර්ශනා භාවනා වඩා කෙලෙසුන් නසා මඟ ඵල උපදවා ගන්නා ආකාරයට
දේශනා කර ඇත. ආනාපානසති භාවනාව වැනි භාවනා ක්‍රම දියුණු කරගෙන ධ්‍යානාදිය උපදවා
ගනිමින් විදර්ශනා වඩා මාර්ග ඵල උපදවා ගන්නා භාවනා ක්‍රමයකි.
ගුරුවරයකු නැතිව භාවනා නොකළ යුතුයි
මෙම භාවනා ක්‍රම දෙකම වැඩීමට පෙර චිත්ත සන්තතිය ඒ සඳහා පුහුණු කර ගනිමින්, අකුසල්
අත්හැර කුසලයන්ගෙන් පිරුණු ඉතා සමබර ජීවන රටාවක් ඇති කරගත යුත ය. පැවිදි පින්වතුන්
වහන්සේලා ආචාර්ය උපාධ්‍යාය උපස්ථාන, සබ්‍රහ්මචාරී යුතුකම්, ආදී විනය පිටකයෙහි ඇති
ආකාරයත්, ගිහි පින්වතුන්, මව්පිය උපස්ථාන, අඹුසැමි යුතුªකම්, ආදී මංගල,
ව්‍යග්ගපජ්ජ, ධම්මික, අණන, පරාභව ආදී සූත්‍රවල ඇති ආකාරයටත් කටයුතු කළ යුතු ය.
කාය වාග් කර්මයන් කුසලයක් බවට ම පත් කර ගන්නට සීලයත්, චිත්ත සන්තතිය ත්‍රිහේතුක ඥාන
සම්පයුත්ත කුසල් සිත් වැඩි වශයෙන් ඇතිවන තත්ත්වයන්ට හුරු කර ගන්නට වන්දනාමාන
ආදියත්, මීට පෙර භාවනා කර ඇති කෙනෙකුගේ පුහුණුවක් ඇති කර ගන්නටත්, ආනිශංස බොහෝ
ලබන්නටත් සතර ආරක්ෂක භාවනාවක් පූර්වකෘත්‍යයන්වලට ඇතුළත් වේ. පූර්ව කෘත්‍යයන්වලින්
අති විශාල ආනිසංස ප්‍රතිපල විපාකයෝ ලැබේ. පූර්වභාග ප්‍රතිපදාවට එයින් ලැබෙන උපකාරය
අතිවිශාල වේ.
ආචාර්ය වහන්සේ නමකගේ උපදෙස් අනුවම භාවනා කළ යුතු ය. ගුරුවරයකු නැතිව භාවනා නොකළ
යුතු ය. එයට හේතුව වන්නේ කුසල් දහම් වැඩීම වන භාවනාව අති විශාල කරුණු රාශියක් අනුව
කළයුත්තක් බැවිනි.
නිවසේදී ද, වැඩපල කරමින් සිටියදී ද, ගිහි ජීවිතයේ ඕනෑම කටයුත්තක දී කළ හැකි ය.
වැරැදි ඉගැන්වීම් බොහෝමයක් වර්තමානයේ දී තිබෙන නිසා භාවනා කිරීමේ දී පහත සඳහන්
කරුණුවලට අවධානය යොමු කළ යුතු ම ය. මීළඟ සතියේ දී එම කරුණු කියා දෙනු ලැබේ. |