සැම සුවඳ පරදවන
සිල් සුවඳ රැක ගන්න
අප සතු නොයෙක් දේ තිබෙනවා. එහෙත් මේ සියලු දේ තාවකාලිකයි. සියල්ල දාලා හිස් අතින්
යන්න වෙනවා. අන්න එදාට ආදරයෙන් එකතු කරපුව නොවෙයි. කරුණාවෙන් දීපුවයි පිහිට වන්නේ.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සද්ධා ධනං ශීල ධනං
හිරිඔත්තංපියං ධනං
සුතධනං ච චාගෝ ච
පඤ්ඤා මෙ ධනාතී
පින්වතුනි
අකාරුණික වූ ලොවකට කරුණාව බෙදා දුන්, අශුභවාදී ලොවකට ශුභවාදී දර්ශනයක් පෙන්නුම් කොට
වදාළ අප ශාන්ති නායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ගාථා ධර්මයෙන්
පැහැදිලි කරන්නේ පරලොව ජීවිතයට අවශ්‍ය කරන ගමන් වියදම් එකතු කරගත යුතු ආකාරය
පිළිබඳවයි.
පින්වතුනි වසරක් ගත කරලා. නව වසරක් ලැබුවා කියන්නේ තමන්ගේ ජීවිතයෙන් එක් ඒකකයක් ගත
වුණා කියලයි. පසුගිය වසර තුළ අප මෙලොව ජීවිතයට හම්බ කළාවූ ධනයත්. පරලොව ජීවිතයට
හම්බ කළා වූ ධනයත් ගැන ඔබගේ හදවතට තට්ටුකර බලන්න.
අප ශාන්ති නායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, ආර්ථික ධනයට වඩා
ආර්යන් වහන්සේලා තුළ තිබෙන්නා වූ මහා ධනය මේ අති බිහිසුණු සංසාරෙන් එතෙර වන්නට
ඉවහල් වන බවයි.
එහි පළමු ධනය ශ්‍රද්ධාව යි. තුනුරුවන් කෙරෙහි ඇතිවන්නා වූ විශ්වාසයට, පිළිගැනීමට,
භක්තියට කියනවා ශ්‍රද්ධාව කියලා.
නවඅරහාදී බුදු ගුණයන් කෙරෙහි ඇතිවන්නාවූ පිළිගැනීම, විශ්වාසය පුරා අවුරුදු හතළිස්
පහක් පුරාවට දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇතිවන්නාවූ පිළිගැනීමට විශ්වාසයට
කියනවා ශ්‍රද්ධාව කියලා.
පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම මුල, මැද අග, සරලයි. පිරිසුදුයි. එන්න
නිරීක්ෂණය කරන්න. ගවේෂණය කරන්න පිළිපදින්න. සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ,
ඕපනයිකෝ, පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි පරම්පරාවෙන්, ආවා කියලා. ගුරුවරු කියලා
දුන්නා කියලා. ගමේ වැඩිහිටියෝ කියලා දුන්නා කියලා. මහා පණ්ඩිතයෝ කියලා දුන්නා කියලා
පිළිගන්න එපා. තමන් ගේ නුවණින් අවබෝධ කර ගත යුතුයි.
පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤු හීති කියලා අපි නිතරම සජ්ඣායනා කරන්නේ ඒ නිසයි.
සද්ධානුසාරී පුද්ගලයෙකු විය යුතුයි.
දෙවැනි ධනය ශීලය. දෑ සමන් ආදී ඉතා පි‍්‍රයජනක සිත් ඇද ගන්නා නන්වැදෑරුම් සුවඳ වර්ග
වෙයි. ඒ හැම සුගන්ධයක් ම යටිසුළඟට ඉතා දුර විහිදෙතත් උඩු සුළඟට අඟලක් පමණකුදු
නොවිහිදෙයි.
මේ තෙමේ සිල්වතෙ කැයි ශීලය නිසා උපදිනා කිර්තිඝෝෂය දිසානු දිසා පැතිරෙන නිසා සීලය
සුගන්ධයෙකැයි කියයි. යටි සුළඟට මෙන් ම උඩු සුළඟට ද සමාන ව පැතිරෙන යම් සුගන්ධයක්
ඇත්නම් සීල ගන්ධය වැනි අන් සුවඳක් කිසි තැනක නොවේ.
සීලයේ අනුසස් ඉතා කෙටියෙන් සංග්‍රහ කොට ප්‍රකාශ කරන්නේ නම් මෙසේ ය. "සීලාලංකාර සමො
අලංකාරො නත්ථි". මිනිසාගේ ගුණ ශරීරය සැරසීමට සීල නමැති ආභරණය වැනි වූ අන් කිසි
අලංකාරයෙක් නැත. “සීලගන්ධ සමො ගන්ධො නත්ථි. සීලය නිසා උපදිනා ගුණගන්ධය වැනි අන්
සුවඳක් නැත.
රාග ද්වේෂාදී කෙලෙස් කිලුටු සෝදාහැර සත්වයාගේ සන්තානය පිරිසුදු කිරීමට සීලය හා සමාන
දැයෙක් නැත. “සීලසමං පරිළාහුපසමනං නත්ථි.කෙලෙස් දැවිලි සන්සිඳුවා සන්තානය සිහිල්
කිරීමට සිල් නමැති ජලය හැර අන් කිසිවක් නැත.
සීලය පිරිසුදු බව වැටහීම කොට ඇත්තේ ය. කාය කර්ම, වාක් කර්ම, මනඞ කර්මයන්ගේ පවිත්‍ර
බව හෙවත් කය සිත වචනය යන තුන්දොර අකුසලයෙන් කිලිටි නොවී නිර්දෝෂීව පවත්වාගත යුතුයි.
හිරි ඔතප් දෙක හෙවත් ලජ්ජා භය ඇති කල්හිම ශීලය ආරක්ෂා වෙයි. හිරි ඔතප් නැති තැන
ශීලයකුත් නැත.
‘නිබ්බාන නගරප්පවෙසංනෙච, සීල සමං ද්වාරං නත්ථි' නිර්වාණය නමැති නගරයට, ක්ෂේම භූමියට
ඇතුළුවීමට සීලය හා සමාන වූ අන්කිසි දොරටුවක් නැත. අප සීලයෙන් ධනවත් විය යුතුයි.
මේ කාලයේ ඇතැම් බෞද්ධයෝ කල්පනා කරන්නේ සිල් රකින්න ඕනෑ හාමුදුරුවෝ විතරයි කියලයි.
ඇත්ත හාමුදුරුවෝ ලස්සන වෙන්නේ සිල්වත් වූ විටයි. ‘සීල ගන්ධො අනුත්තරෝ , සිල් සුවඳ
මේ ලෝකයේ තිබෙන පළමු සුවඳ.
ඔය ඇත්තෝ කල්පනා කරන්න එපා. සිල්ගන්න බණමඩුවක් ඕනමයි. නවගුණ වැලක් ඕනමයි. හේත්තු
වෙන්න තාප්පයක් ඕනෑමයි කියලා. හැත්තෑපහ අසූව පනින්න ඕනෑමයි කියලා.
සිල්වත්කම කියන්නේ මම මේ වැරැදි කරන්නේ නැහැ. තමන්ගේ හදවතට මේ ගිවිසුම ගහගන්න, සිත,
කය, වචනය සංවර කර ගන්න උත්සාහ කරන්න.
සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහැලි හමුවෙහි සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණකමත් බණ දහමත් එයයි මට
ඒ වගේ මාර සේනාවක් ආවත් බය වෙන්න එපා. අයුක්තියට සිංහ වේශයෙන් ඉදිරියට යන්න. හැබැයි
වැරැදිවලට බියවන්න. අප ළඟ තියෙන්න ඕනෑ ඇසූපිරූ තැන් ඇති බව. බොහෝ දේ අහලා දැන ගන්න
ඕන. ආධ්‍යාත්මික ගුණ වගාවන් වර්ධනය කළ යුතුයි.
බෞද්ධයෝ දන්නවා අප සතු නොයෙක් දේ තිබෙනවා. නමුත් මේ සියලු දේ තාවකාලිකයි. සියල්ල
දාලා හිස් අතින් යන්න වෙනවා. අන්න එදාට ආදරයෙන් එකතු කරපුව නොවෙයි. කරුණාවෙන්
දීපුවයි පිහිට වන්නේ.
ඈත අතීතයේ අපේ මුතුන් මිත්තෝ චාග ධනය හොඳට කළා. තුන් වේලට බත් කාපු අපි මිටි හාල්
මුට්ටය අමතක කළේ නැහැ. පුළුවන් තරම් දීමට හුරුවෙන්න.
අවසාන ධනය ‘පඤ්ඤා මෙ සත්තමා ධනං. මනුෂ්‍යයා කියල කියන්නේ ලොව හැම සත්වයින්ට වඩා
දියුණු මනසක් ඇති නිසා. ඒ මනස දියුණු කර ගන්න නම්, අපේ ඉන්ද්‍රියයන් මනාව
පිහිටුවාගෙන චක්ඛු සෝත, ඝාන, කාය මන, යන හයට ලැබෙන්නා වූ ජීවි හා සඤ්ඤාව තුළින්
විඤ්ඤාණයට හරවා ප්‍රඥාවෙන් බැලිය යුතුයි. ශ්‍රවණය කළ යුතුයි. අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම සිහිකළ යුතුයි.
වාරියපොල
ගල්වැව ,
කතත්තේ වැව,
ශ්‍රී සුගතාරාම රාජමහා විහාරවාසී
ධර්මාචාර්ය
හිදව සෝභිත හිමි |