[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අප්‍රමාදී බව දෙලොව දියුණුවටයි

අප්‍රමාදී බව දෙලොව දියුණුවටයි

රේවත හාමුදුරුවෝ රහත් බවට පත්ව වැඩ සිටි බවක් සමුජ්ජනී හාමුදුරුවෝ දැන සිටියේ නැහැ. දවසක් දා මේ අමදින හාමුදුරුවෝ රේවත හාමුදුරුවන් මුණ ගැසුණ අවස්ථාවක රේවත හාමුදුරුවන්ගෙන් විමසා සිටියා, ඔබ වහන්සේ හරිම කම්මැළි යි නේ ද? සැහැදැවත් පිරිස් දෙන දානය වළඳා කම්මැළිකමට කුටියට ම වෙලා වාසය කරනවා. නරක ද? ඉදලක් හෝ මුස්නක් අරගෙන කිසියම් කොටසක් මේ ආරාමයේ අමදිනවා නම් කියලා.

ඒ අවස්ථාවේ දී රහත් බව නිසා තාදී ගුණයෙන් යුක්ත ව වැඩ විසූ රේවත හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. ඇවැත්නි, වත් පිළිවෙත් කිරීම භික්ෂුවකගෙන් ඉටු විය යුතු වැදගත් කොටසක් තමා. නියමිත දින චරියාවකට අනුව මලුපෙත්මං ඇමදීම. එහෙම වුණත් හැම වේලාවක ම එය සිදු කළ යුතු වූවක් ම නොවේ. අලුයම අවදිවී උදෑසන ම මලුපෙත් මං ඇමදිම් කරලා ඉන් පස්සේ සුදුසු අවස්ථාව තෝරා ගෙන සිහියෙන් යුක්තව භාවනා කටයුතු කළයුතු වෙනවා.

සවස් කාලයෙහි නියමිත දින චරියාවට අනුව මලුපෙත්මං ඇමදීම් ආදි කුදුමහත් වත්පිළිවෙත් කටයුතු සිදු කරලා සුදුසු අවස්ථාව තෝරා ගෙන භාවනා කටයුතුවල නිරත විය යුතු වෙනවා. ඉන් අනතුරුව තමන් වහන්සේ ඉලක්ක කර ගත් සසර විමුක්තිය උදා කර ගැනීමෙහි නියුතු විය යුතු වන බව. මේ කරුණෙහි දී කල්‍යාණ මිත්‍ර සම්පත්තිය යි, කල්‍යාණ මිත්‍රයාගේ එක්වීම යි වැදගත් වුණේ. මෙතෙක් කල් උතුම් පැවිද්දේ එක කොටසක් පමණක් අනුගමනය කරමින් තම ජිවිතය ගත කළ සම්මුජ්ජනී භික්ෂූන් වහන්සේ මෙම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා රේවත හාමුදුරුවෝ ලබා දුන් අවවාදයෙහි පිහිටියා. ඒ නිසා නොබෝ කලකින් ම මේ සම්මුජ්ජනී හාමුදුරුවෝ රහත් බවට පත් වුණා.

මෙතැන් සිට මේ ආරාමයෙහි සෙසු භික්ෂූන් වහන්සේට මේ සම්මුජ්ජනී හාමුදුරුවන්ගේ පැවැත්ම පිළිබඳ වෙනසක් දැනුණා. දැන් පෙර කල්හි මෙන් සම්මුජ්ජනී හාමුදුරුවෝ නිතරම අමදින්නේ නැහැ කියන මේ කරුණ නිසා අනෙකුත් හාමුදුරුවරු සම්මුජ්ජනී හාමුදුරුවන්ගෙන් විමසා සිටියා පෙර මෙන් නිරතුරුව ම මලුපෙත්මං අමදින්නේ නැත්තේ කුමක් නිසාද කියලා. ඊට උන්වහන්සේගෙන් ලැබුණ පිළිතුර වුණේ දැන් තමන් වහන්සේ නො පමාව වාසය කරනවා, ඒ වගේ ම සුදුසු වේලාවේ පමණක් අමදින බවයි.

බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් යම් අය මුලින් ප්‍රමාද වී ගතයුතු මඟ නිවැරැදිව අවබෝධ කර නොගෙන ක්‍රියා කරනවා. එහෙත් පසුව නිවැරැදි අවබෝධය ලබා ගත් පසු නිවැරදි ආර්ය මාර්ගය අරමුණ කර ගෙන නිවන් මඟ පසක් කර ගන්නවා.

මෙහි දී වැදගත් වන්නේ මේ කරුණෙහි දී යම් පැවිදි හෝ ගිහි අයකු කෙරෙහි නිවැරැදි අවබෝධය කර නො ගැනිම හෝ තමන් විසින් ම ධර්මය වැරැදි ලෙස අවබෝධ කර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති ධර්ම විනයට පරිබාහිරව ක්‍රියා කර, ප්‍රමාද සහිත ජිවිත ගත කරන බව. එයට ධර්මයෙහි ප්‍රකාශ වන්නේ අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කරනවා කියන එකයි.

එනම් සිහියෙන් තොරව ක්‍රියා කිරීම යි. ඊට විරුද්ධ ගමන් මඟ වන්නේ යෝනිසොමනසිකාරයෙන් හෙවත් අප්‍රමාදයෙන් යුක්තව ක්‍රියා කරනවා කියන එක යි. මෙවැනි තත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ මෙම කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් යුක්තව ක්‍රියා කිරිම නිසා පුද්ගලයා හැම පැත්තකින් ම නිවරැදි වීමට අවශ්‍ය මඟ සකස් කර ගන්නවා කියන කරුණයි.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]