[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දියුණු වෙන්න කැමැති අය පුරුදු පුහුණු කළ යුතු ගුණ ධර්ම අටක්

දියුණු වෙන්න කැමැති අය පුරුදු පුහුණු කළ යුතු ගුණ ධර්ම අටක්

මේ ලෝකයේ හතර ආකාරයකට සත්ත්වයන් උපදින බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ අන්ඩජ ( බිත්තරය ඇතුළේ), ජලාබුජ (මව්කුසක) සංසේදජ (තෙත් පරිසරයක) ඕපපාතික (ඉහත තුන් ආකාරයට අමතරව.)යනුවෙනි.

ඕපපාතික සත්ත්වයන් උපදිනවා පියවි ඇසට දකින්නට ලැබෙන්නේ නැත. ඉහත ආකාර තුනෙහි ම උපන් අය දුටුවත් ඕපපාතික උපත දකින්නට නොහැකි ය. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්, දිව්‍ය ලෝකයේ දෙවියන්, ප්‍රේත ලෝකයේ ප්‍රේතයන් , නිරයේ නිරි සතුන් ආදී සත්ත්වයන් ඕපපාතික ලෙසයි උපදින්නේ. එනිසාම මෙවැනි උපතක් ගැන ඇතැම් අයට තිබෙන්නේ සැකයක්. වැරැදි වැටහීමක්.

ඕපපාතික සත්ත්වයන් ගේ උපත බොහෝ ම වේගයෙන් සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. හිසේ තබා ගෙන සිටින බරක් බිම තබන්නේ යම් සේ ද එසේ සැණකින් ඕපපාතික උපත සිදුවෙනවා. එසේ මියයන පුද්ගලයා සුළු වේලාවක දී සුගතියේ හෝ දුගතියේ උපදිනවා.

දිව්‍ය ලෝකය දෑසට පෙනෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා බොහෝ අය දිව්‍ය ලෝක උපත සැක කළා. සතරවරම් දෙවිවරු , සක්දෙවිඳු ආදීන් අපට නොපෙනෙන නිසාත්, අත්දකින්නට බැරි නිසාත් ඒ ගැන සැකයක් සමඟ ප්‍රශ්න කිරීමක් අදටත් සමාජයේ තිබෙනවා. සක් දෙවිඳු ගැන කිසිවක් නොදන්නා නිසා අපහාස, විහිලු තහලු කරනවා. එහෙත් සක් දෙවිඳු කියන්නේ උතුම් ගුණ දහම් දියුණු කරගෙන මිනිස් ලොවින් චුත වෙලා, දෙවියන් අතර ඉපදුණු මහබලසම්පන්න දෙවි කෙනෙක්. සක්දෙවියන් ඒ ගුණ ඇතිකර ගත්තේ මිනිස් ලෝකයේ ජීවත් වනවිට යි.

දිනක් මහාලී කියන ලිච්ඡවි තරුණයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ අසා සිටිනවා.

“ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සක් දෙවිඳු දැක තිබෙනවා ද?”

“මහාලී මම දැක තිබෙනවා.”

“මහාලී මම සක් දෙවිඳු දැක තිබෙනවා වගේම සක් දෙවිඳු දන්නවා. සක් දෙවිඳු බවට පත්වෙන්න කළ යුතු පුණ්‍ය ධර්මයනුත් දන්නවා.

සක් දෙවිඳු කියන්නේ චාතුම්මහාරාජිකය සහ තාවතිංසය කියන දිව්‍ය ලෝක දෙකට අධිපති යි. මහාලී ඔය සක්දෙවිඳු පෙර ආත්මයේ මනුස්ස ලෝකයේ සිටිද්දී ඔහුගේ නම මඝ. මේ මඝ කියන තරුණයා යි සක් දෙවිඳු වුණේ.

මහාලී ඔය සක්දෙවිඳු මනුස්ස ලෝකයේ සිටිද්දී දන් දීමට ඉතා කැමැති යි. දානයේ මුල් කොටස දෙන්නේ ඔහු. යම් කෙනෙක් දානයක් සංවිධානය කළොත් “මම තමයි දානයට මුලින් ම සම්බන්ධ වෙන්නේ” කියා මුල්ම කොටස ඔහු භාර ගත්තා. එනිසාම සක් දෙවිඳුට නමක් තිබෙනවා පුරින්දද කියා. සියලු දෙනාට ම පෙර දන් දෙන කෙනා එහි තේරුම යි.

මහාලී සක්දෙවිඳුට තවත් නමක් තිබෙනවා ශක්‍රයා කියලා. සකස් කර දන් දුන් නිසයි ඔහුට ශක්‍රයා කියා නම ලැබු‍‍ණේ. සකස් කර දන් දෙන්න හැමෝට ම බැහැ. අප කෙනකුට කෑමක් දෙනවා නම් ඔහුට කෑම සමඟ බීමට ජලයත් දෙන්න ඕනේ. එලෙස අංග සම්පූර්ණ ව සකස් කර දෙන දානය විශේෂ යි.

මාතලී සක් දෙවිඳුට තවත් නමක් තිබෙනවා වාසව කියලා. වාසව කියන්නේ මනුස්ස ලෝකයේ ගත කරද්දී වාසස්ථාන දන් දුන් නිස යි.

ඒ වගේම මහාලී සක් දෙවිඳුට සහස්ස නෙත්ත කියාත් කියනවා. ඒ දේවේන්ද්‍රයාට කරුණු දහසක් එක්වර හිතන්නට පුළුවන් නිසා එසේ හඳුන්වනවා. සාමාන්‍ය කෙනකුට එක් වරකට හිතන්න පුළුවන් එක් කරුණක් පමණ යි. සක් දෙවිඳුට එකවර කරුණු දහසක් සිතීමේ විශේෂ හැකියාවක් තිබෙනවා.

සක් දෙවිදු තමා තව්තිසා දෙව්ලොව සැප සම්පත්වලින් අධිපති භාවයෙන් අග්‍ර ව රජකම් කරන්නේ. ඔහුට ඉහළින් කවුරුත් නැහැ. එනිසා ම සක් දෙවිඳුට දේවානමින් ද කියලා කියනවා.

මනුස්සයෙක් උඩට ඔසවා තබන්න පුළුවන් උතුම් ගුණධර්ම අටක් ඒ මඝ කියන තරුණයා විශේෂයෙන් සමාදන් වී සිටියා. අපි ලෞකික ලෝකයේ දී ඉහළට යාමට නොයෙක් විෂයයන් ඉගෙන ගන්නවා. ධනය එකතු කරනවා. නම්බුනාම ලබා ගන්නවා. නමුත් ජීවිතය ඔසවා තබාගන්න පුළුවන් වෙන්නේ අපේ ජීවිතය තුළ තිබෙන ගුණධර්ම නිස යි. ඒක ලෙහෙසි දෙයක් නොවේ. එහෙත් මේ සක් දෙවිඳු මිනිස් ලෝකයේ ජීවත් වෙද්දී උතුම් ගුණධර්ම ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතය තිබෙන තුරුම පුරුදු කළා. ඔහු ඒ ගුණධර්මයන් පුරුදු කළේ මගේ ජීවිතය තිබෙන තුරා කියන සීමාව තුළ සිට යි. අපි පුරුදු කරන ගුණ ධර්මයන් කාලයක් යද්දී අතහැර දමනවා. අප ඉවසීම පුරුදු කරනවා. වසරක්, දෙකක්, තුනක් ඉවසනවා. මම ලොකු කාලයක් ඉවසුවා දැන් ඉවසන්නේ නැහැ කියා ඒ ඉවසීම අවසන් කරනවා. එසේ ඉවසීම අත්හැරිය විට අර ඉවසූ කාලය අපතේ යනවා.

එනිසා බොහෝ කැපවීමෙන් අප සමාදන් වූ ගුණධර්ම පුරුදු කරන්න ඕනේ. මඝ තරුණයා මේ ගුණධර්ම පුරුදු කළේ බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මය අසා හෝ වෙන උතුමෙක් කියු දෙයක් අසා හෝ නොවේ. ඔහුම තනියම සිතා තනිව ම සමාදන් වූ වෘත යි.

සක් දෙවිදු මනුස්ස ලෝකයේ සිටිද්දී දිවි හිමියෙන් වෘතයක් ලෙස සමාදන්ව සිටි ගුණ ධර්ම මෙසේයි.

මගේ ජීවිතය තිබෙන තුරු මම මව්පියන්ට සලකන කෙනෙක් වෙනවා.

මගේ ජීවිතය තිබෙන තුරු වැඩිහිටි, ඤාති මිත්‍රාදීන්ට ගෞරව සත්කාර කෙනෙක් වෙනවා.

මගේ ජීවිතය තිබෙන තුරු මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා

මගේ ජීවිතය තිබෙන තුරු කේළම් නොකියන කෙනෙක් වෙනවා.

මගේ ජීවිතය තිබෙන තුරු මසුරුමළ දුරුකළ සිතින් වාසය කරනවා.

මගේ ජීවිතය තිබෙන තුරු බොරු නොකියන කෙනෙක් වෙනවා.

මගේ ජීවිතය තිබෙන තුරු ක්‍රෝධය, තරහා සිත නැති කෙනෙක් වෙනවා.

මගේ ජීවිතය තිබෙන තුරු පරුෂවචන කතා නොකරන කෙනෙක් වෙනවා.

ඒ උතුම් ගුණධර්ම නිසා මඝ තරුණයාට පුළුවන් වුණා මරණයට පත්වන විට ම දෙදෙව් ලොවට අධිපති වී ඉපදෙන්න. ඒ ගුණධර්ම සමාදන් වූ පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ හැඳීන්වූයේ සත්පුරුෂයා කියලයි.

එනිසා අපටත් කිසිදු මුදලක් වැය නොකට අප තුළින් ම ඇතිකර ගත හැකි ඒ උතුම් ගුණධර්ම පුරුදු කර ගනිමු. මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට උත්සුක වෙමු.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]