[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණ රුව වරුණ: මගේ මව්බිමට මා ණය නැහැ

ගුණ රුව වරුණ:

මගේ මව්බිමට මා ණය නැහැ

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර

මෙම ලිපියේ මුල් කොටස පසුගිය 16 වැනිදා පත්‍රයේ පළවිය.

එවකට සිටි අංශ ප්‍රධානී මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා මට ජයවර්ධනපුරට එන්න කියලා ආරාධනා කළා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසට ජයවර්ධනපුරට සම්බන්ධ වෙනවා.

1994 දී මහාචාර්යවරයකු ලෙස උසස්වීමක් ලබනවා. ඊට අමතරව පශ්චාත් උපාධි මණ්ඩලයේ සභාපති ලෙස ද පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස ද කටයුතු කර 2001 දී ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති වෙනවා.

2003 වසරේ දී මට ජයවර්ධනපුර උපකුලපති පදවිය පිරිනැමෙනවා. එය අහඹු සිදුවීමක්. මම එවැනි තනතුරු බලාපොරොත්තු නොවුණ කෙනෙක්. මගේ අරමුණ මහාචාර්ය තනතුරට පත්වීම පමණයි. ඊට එහා ගිය තනතුරු වද හිරිහැර පමණයි.

එවකට මේ තනතුර දැරූ උපකුලපතිතුමාට ලොකු අර්බුදයක් ඇතිවුණා. එහිදී පාලනාධිකාරිය ඔහු පදවියෙන් ඉවත් කළා. විශ්වවිද්‍යාලයේ තිබුණු භයානක තත්ත්වය මත කිසි කෙනෙක් ඒ පදවිය භාරගත්තේ නැහැ. ඒ දිනවල මා සිංගප්පුරුවේ සිට ලංකාවට එනකොට දින දොළහකුත් ගතවෙලා තනතුර කිසිවෙක් භාර අරන් නැහැ. හැමෝම මට කිව්වා මේ තනතුර භාරගන්න කියලා. ඉතින් මම ගොඩක් කල්පනා කරලා බලලා ටික කාලයකට තනතුර භාරගත්තා.

ඒ කාලයේ සිසුන් අතරේ විශාල අසමගියක් ඇති වෙලා තිබුණා. උපකුලපතිට පක්ෂ විපක්ෂ ලෙස ආචාර්යවරු භේද භින්න වී සිටියා. මාස හයක් විතර මම වැඩ බැලුවා. පසුව මා තුන් අවුරුද්දකට ස්ථිර කළා.නමුත් මම තුන් අවුරුද්ද ම තනතුරේ හිටියේ නැහැ. මම ස්ථිර පදවියේ අවුරුද්දක් ගත වුණාම ශිෂ්‍යයන්ගෙන් ඉල්ලීමක් කළා. “මා දැන් සියල්ල සන්සුන් කරලා තියෙන්නේ, ඒ නිසා මා වෙනුවෙන් එක දෙයක් කරන්න” කියලා. “නවකවදය සහමුලින්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවත්වමු” කියලා. ඔවුන් කටවචනයට එකඟ වුණා. නමුත් නැවැත්වුවේ නැහැ. ඉතාම පහත් විදියට නවක වදය සිද්ධ වුණා. කොපමණ උත්සාහ කළත් නවත්වන්න බැරි වුණා. ඒ නිසා මම තීරණයක් ගත්තා. මේ වගේ බොරු පොරොන්දු දෙන ශිෂ්‍යයන් සමඟ මට වැඩ කරන්න බැහැ කියලා. 2006 දී මම ඉල්ලා අස්වීමේ ලිපිය යැව්වා. ඒ අතරතුර සිසුන් ඉල්ලීම් කළා. නමුත් මා ගත් තීරණය වෙනස් කළේ නැහැ. ඉන්පසු මා රැකියාවෙන් විශ්‍රාම ගියා. ඒ වන විට ලංකාවේ විශ්වවිද්‍යාලවලට කරන්න ඕන උපරිම සේවය මා කරලා තියෙන නිසා නැවතත් විදේශගතවීමට තීරණය කළා. සිංගප්පුරුවේ බෞද්ධ පර්යේෂණ සංගමයේ පශ්චාත් උපාධි ආයතනයේ ආරාධනයකට අනුව බෞද්ධ පුස්තකාල පශ්චාත් උපාධි ආයතනයේ නේවාසික මහාචාර්යවරයා ලෙස සේවයට එක්වුණා. එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ බෙල්ලන්විල ධම්මරතන හාමුදුරුවෝ. අනෙක් සියලු දෙනා සිංගප්පුරු අය.

ලංකාවේ රූපවාහිනිය ආරම්භ කළ පසුව රූපවාහිනී ආගමික උපදේශක මණ්ඩලයේ සිටියා. මුතුහර යටතේ පැනමුතු, ආයුබෝවන්, නුගසෙවණ, දම් සභා මණ්ඩපය වැනි රූපවාහිනී වැඩසටහන් කළා. ගුවන්විදුලි ධර්ම සාකච්ඡා රැසක් කළා.

පුවත්පත් සඳහා බෞද්ධ ලිපි, සමාජ ලිපි, සමාජ මනෝවිද්‍යා ලිපි රැසක් ලිව්වා. බෞද්ධ පොත් පත් රැසක් ලියා පළ කළා. බෞද්ධ ශිෂ්ටාචාරයේ මූල ධර්ම, බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසය, ආදි බෞද්ධ චින්තනය, චීන ධම්මපද කතා, බුදු සමය සහ සමාජය වැනි පොත් ද ළමා පොත් ද ඇතුළුව සිංහලෙන් ඉංගී‍්‍රසියෙන් මේ වන විට පොත් රැසක් ලියා තිබෙනවා.

අපි උපන් වරකාපොළ ඉඩම බුදු සසුනට පූජා කළා. අද එහි මෙත්මුනි වෙහෙර නමින් පන්සලක් ඉදිකර තිබෙනවා. ගමේ නමත් මෙත්මුනිගම කියලා වෙනස් වුනා. මෛත්‍රීබුදුන් වෙනුවෙන් නම් කළ ලොව මුල්ම ගම මෙත්මුනිගමයි.

මගේ ශාස්ත්‍රීය කටයුතුවලට නොමඳ දිරියක් වූ බිරිඳ මල්ලිකා විජේබණ්ඩාර. ඇය මගේ පෞද්ගලික පන්තියක හිටපු ගෝලයෙක්. විවාහ වන විට ඇඟලුම් කර්මාන්ත ශාලාවක

කළමනාකාරවරියක්. පසුව රැකියාවෙන් ඉවත් වුණා. වසර දෙකකට පෙර ඇය මියගියා. මගේ දරු දෙදෙනා ද දැනුමෙන් හා යහගුණයෙන් පොහොසත්ව සිය රටට සේවය කරමින් සතුටින් ජීවත් වෙනවා. තාරක පුතා වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ආයතනයක් පවත්වාගෙන යන අතර චානිමා දියණිය නීතිය පිළිබඳ උසස් උපාධි ලබා විනිසුරුවරියක ලෙස කටයුතු කරනවා.

ජීවිතය දෙස ආපසු හැරී බැලීමේ දී ගෙවුණු කාලය හරිම විචිත්‍රයි. හුඟාක් ක්ෂේත්‍රවල අත්දැකීම් ලැබුවා. මගේ මව්බිමට මා ණය නැහැ. මා එසේ කියන්නේ හොඳ පුරවැසියකු වීමෙන් මෙන්ම වැටුපට වඩා වැඩ කර පිනටත් කළ සේවය නිසායි. දේශනයෙන් අවවාදයෙන් මෙන්ම ආදර්ශයෙන් ද බෞද්ධ සාරධර්ම මෙන්ම විවිධ විෂයයන් පිළිබඳ පතපොතින් ලද දැනුම ලොවට දායාද කිරීමේ කටයුත්තේ තවමත් මා නියැළී සිටිනවා. එසේ කරන්නේ ගෙවන්නට ණයක් ඉතිරිව තිබෙන නිසා නොවෙයි. එමඟින් ලැබෙන සොඳුරු ආස්වාදය නිසා යි.

ජීවිතයේ අවසානය දක්වාම ප්‍රසන්නව, සතුටින් නිහතමානිව ජීවත්වීමට මා කැමතියි. වරක් කොටහේනේ දීපදුත්තාරාමාධිපතිව සිටි පින්වත්තේ ජිනරතන හිමියෝ

“චන්දිම කියන්නේ හරි මාන්නක්කාරයෙක්” යි මගේ මුහුණටම පැවසුවා. මා එයින් මහත් තිගැස්සුමට පත්වුණා. මානය මා අකමැතිම දුර්ගුණය වීම සහ හැකිතාක් නිහතමානී වීමට මා උත්සාහ දරන නිසායි.

‘අනේ මම අකැමැතිම දුර්ගුණය ඒකයි හාමුදුරුවනේ මීට ඉස්සර කවුරුත් ඔහොම කියලා නෑ යි මම කිව්වා. ' එවිට උන්වහන්සේ පැවසුවේ "ඔය නිහතමානය පිටිපස්සේ සියුම් මාන්නයක් තියෙනවා. ඒක එක අතකින් හොඳයි. නරක වැඩකට ආසාවක් හිතට ආවත් දුසිරිතට නොවැටී හොඳ නම රැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි." ඒ සියුම් නිරීක්ෂණය මා නිහතමානීව සිතට ගත්තා.

මා ඉතාම අගය කරන බුදුවදන කාලාම සූත්‍රයයි. කුඩා වියේදී අසන්නට ලැබුණු කුමාරතුංග මුනිදාස පඬිතුමන්ගේ “දෙවියකු කී දෙයක් වත් - කරුණු නැතිව නොඅදහනු” යන වැකියට පදනම් වූයේ ද ඒ දහම යැයි සිතනවා. බුද්ධ දේශනාවක් වූ හණමිටියේ කතාව ද එයට ගළපා ගත් විට මගේ චින්තනය සැකවින් නිරූපණය වෙනවා.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]