[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනතිමානි ගුණයෙන් පිරිපුන් දේවහන්දියේ පඤ්ඤාසේඛර නාහිමියෝ

අනතිමානි ගුණයෙන් පිරිපුන් දේවහන්දියේ පඤ්ඤාසේඛර නාහිමියෝ

කොළඹ 08 කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමය,කෝට්ටේ ශ්‍රී නාග විහාරය ඇතුළු විහාර ගණයෙහි ආධිපත්‍යව හා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යායව වැඩ විසු ශාස්ත්‍රපති,ධර්මශාස්ත්‍ර ශිරෝමණි අතිගරු දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේඛරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් මෙම මස 23 වැනි දිනට වසරක් සපිරේ.මෙම ලිපිය උන්වහන්සේට උපහාර පිණිස ය.

1970 දශකයේ ආරම්භයේ පටන් දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සෑම පුර පසළොස්වක පොහොය දිනකම ප්‍රචාරය වූ ධර්ම සාකච්ඡාමය වැඩ සටහනකි සාධු සමාජය.

දහම් පාසල් දරුවන් පෙරටු කොට ගෙන සිදු කෙරුණු මෙම වැඩසටහන ඔස්සේ විවිධ ධර්මකරුණු සාකච්ඡා කෙරුණි. ඉන් ලද පන්නරයෙන් අද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත ශිල්පින් බවට පත්ව සිටින පිරිස බොහෝ ය.

ආරම්භක අවස්ථාවේ පටන්ම එම වැඩසටහන අඛණ්ඩව මෙහෙය වූ ශාස්ත්‍රපති අතිගරු දේවහන්දියේ පඤ්ඤාසේඛර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සිත් නිවන කාරුණික මෘදු වදනින්, සරල බසින් සිදු කෙරුණු ධර්ම කරුණු පැහැදිලි කිරීම ගිහි පැවිදි කාගේත් ආකර්ෂණය දිනා ගත් වැඩ සටහනක් බවට සාධු සමාජය වැඩසටහන පත්වීමට හේතු විය.

1935 අප්‍රේල් මස 13 වැනි දින කන්ද උඩරට රාජධානියෙහි දේවහන්දිය නම් සුන්දර ගම් පියසෙහි විසූ ජයසුන්දර ඒකනායක හේරත් මුදියන්සේලාගේ මුතුබණ්ඩා නිලමේතුමා හා වාසල මුදියන්සේලාගේ නින්දර කුඹුරේ පල්ලේ වලව්වේ සෝමාවතී කුමාරිහාමි යන පින්වත් මව්පියන්ට අතිජාත පුත්‍ර ව උපන් උන්වහන්සේ දේවහන්දිය කණිටු විද්‍යාලයෙන් හා මාතලේ විජය විද්‍යාලයෙන් ගිහි අධ්‍යාපනය ලබා 1948 වර්ෂයේ දී පැවිදි වනු පිණිස කොළඹ 08, කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමයට පැමිණ 1950 ඔක්තෝම්බර් 23 වන දින උතුම් පැවිදි බිමට පත්වුහ.එවකට තත් විහාරාධිපති ධුරය හෙබවූ අතිගරු දේවහන්දියේ ශ්‍රී සද්ධාතිස්සාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ හා අංගම්පිටියේ ගුණරතන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා වූහ. කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනින් හා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය හදාළ උන්වහන්සේ සාර්ථකව එම අධ්‍යාපනය නිම කොට 1958 ජූලි 21වැනි දින කෝට්ටේ රාජමහා විහාරීය සිරි මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත් වූහ.අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය හා ගෞරව ශාස්ත්‍රවේදී උපාධි ලබා කැලණිය විශ්ව විද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද හදාරා එයින් ද උසස් ලෙස සමත් වූහ.

පුරා තිස්තුන් වසරක් මුළුල්ලෙහි ගල්ගමුව මහා විද්‍යාලය,හුන්ගමුව මහා විද්‍යාලය,කොටහේන මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි සේවය කළහ.අනතුරුව අධ්‍යාපනික සේවයෙන් විශ්‍රාම ලබන තෙක් 1982 වර්ෂයේ පටන් දොළොස් වසරක කාලයක් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනෙහි පරිවේණාධිපතීන් වහන්සේ ලෙසත් ක්‍රියා කළහ.

ඒ අතර 1955 වර්ෂයේ පටන් ශ්‍රී ජයවර්ධනාරාමස්ථ බී.ජේ.එෆ්.දහම් පාසලේ ආචාර්යවරයකු ලෙස දහම් අධ්‍යාපනයට යොමු වූ උන්වහන්සේ 1970 සිට පුරා දෙතිස් වසරක් මුළුල්ලෙහි ප්‍රධානාචාර්යයන් වහන්සේ ලෙස ලක්දිව පමණක් නොව දේශාන්තරයෙහි ද ප්‍රකට සම්භාවනීය දහම් පාසලක් බවට පත් කිරීමට නායකත්වය දුන්හ.

ලක්දිව සෙනසුරාදා හා ඉරිදා දින දෙක තුළම දහම් පාසල ක්‍රියාත්මක කිරීම පළමු වරට ආරම්භ කළ උන්වහන්සේ තුන්දහසකට අධික ශිෂ්‍ය ප්‍රජාවක් අධ්‍යාපනය හදාරන දම්පියසක් ලෙසත් ආකල්පමය වශයෙන් හා විවිධ දක්ෂතා මඟින් ලොව ජය ගත් දරුකැළක් බිහි වන ආයතනයක් ලෙසත් ලක්දිව හොඳම දහම් පාසලට හිමි හේම බස්නායක පළිහ ස්ථිරව ම දිනා ගත් ලක්දිව එකම දහම් පාසල බවට බී.ජේ.එෆ්.දහම් පාසල පත් කිරීමටත් විශාල ධෛර්යකින් හා කැපවීමකින් ක්‍රියා කළහ.

තමන් වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා කාරක සභිකයන් වහන්සේ නමක ලෙස 1969 වර්ෂයේ දී ඒ සඳහා පැවති විනය විභාගයෙන් සමත්ව ඇතුළත් වූ උන්වහන්සේ එතැන් පටන් අපවත් වන තුරුම ස්වකීය සංඝ සභාවේ අභ්‍යුදය උදෙසා සුවිශේෂී මෙහෙවරක් කළ සංඝ පිතෘන් වහන්සේ නමකි.

කෝට්ටේ රාජමහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය හා කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ධුරය ද ඉසිලු උන්වහන්සේ අපවත් වන විට සංඝ සභාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම හා වයෝවෘද්ධතම සංඝ නේතෘන් වහන්සේ වූහ.

කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති, විද්‍යෝදය ආදිශිෂ්‍ය සංගමයේ උප සභාපති, ජාතික රූපවාහිනි සංස්ථාවේ හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි බෞද්ධ උපදේශක සභාවන්හි සාමාජික, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභික ආදී විවිධ ආයතනයන්හි සාමාජික හා අනුශාසක තනතුරු රාශියක් ඉසිලු උන්වහන්සේ ප්‍රකට ධර්ම දේශකයන් වහන්සේ නමක ලෙස විවිධ මාධ්‍යයන් ඔස්සේ මෙන්ම බොහෝ ස්ථානයන්හි දහස් ගණනක් ධර්ම දේශනා පැවැත්වූ ධර්ම දේශකයෙකි.

ප්‍රකට ලේඛකයකු ලෙස ග්‍රන්ථ කිහිපයක් රචනා කළ උන්වහන්සේ පුවත්පත්,සඟරා,ශාස්ත්‍රීය සංග්‍රහ රාශියකට ලිපි සිය ගණනක් රචනා කළ ලේඛකයෙකි.ස්වකිය පැවිදි සොයුරු මාදුළුවාවේ සොභිත මාහිමියන් වහන්සේ ගෙන ගිය ජාතිහිතෛෂි ව්‍යාපාරයන්හි සාමාජිකයෙකි. කිසිඳු පක්ෂයකට නැඹුරු නොවූ, කා සමඟත් සුහදව විසු, කාගේත් ගෞරවයට ලක් වූ මහා තෙර නමකි. දහස් ගණනක් ගිහි පැවිදි සිසුන්ගේ නැණස පාදා ඔවුන්ගේ දියුණුව දැක අසීමිත සතුටක් ලැබූ ගුරු දේවයෙකි. සිසු පුතුන් ගණනාවකට සසුන් දායාදය ලබා දී උන්වහන්සේලාගේ සේවාවන් දැක අප්‍රමාණ ව සොම්නස් සහගතව ආශිර්වාද කළ ගුරු පියෙකි.

මෙසේ පැතිරී ගිය ප්‍රසිද්ධියක් ඇතිව තුන් නිකායේ ම මහා සංඝරත්නයේත් රාජ්‍ය නායකයන් ඇතුළු ගිහි ප්‍රජාවගේත් ගෞරවයට ලක්වෙමින් වැඩ සිටියත් උන්වහන්සේගේ චරිතයේ දක්නට ලැබුණ සුවිශේෂී ගුණාංගයකි අනතිමානිකම. ඕනෑම කෙනකුට උන්වහන්සේ හමුව ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට මෙන්ම ඊට අවශ්‍ය සාර්ථක විසඳුම් ලබා ගැනීමට ද හැකි විය. තමන්ට කුමක් ලදත් නොලදත් සිය යුතුකම උපරිමයෙන් ඉටු කළහ. ඉවසීම දැඩි ලෙස ප්‍රගුණ කොට ගෙන හුන් උන්වහන්සේ ඕනෑම ගැටලුකාරී තත්වයක් හමු වුව ද නොසැලී සීටියහ.

මෙසේ ආත්මාර්ථ සාධනෙහි මෙන්ම පරාර්ථ සේවයෙහි ද උපරිමයෙන් යෙදුන උන්වහන්සේ 2021 පෙබරවාරි මස 23වැනි දින හදිසි හෘදයාබාධයකින් අපවත් වී වදාළහ.උන්වහන්සේගේ අපවත් වීමෙන් ඇතිවූ හිඩැස තව දිගු කලක් යන තුරු ශ්‍රී ජයවර්ධනාරාමය ඇතුළු උන්වහන්සේගේ ආධිපත්‍යය යටතේ පැවති විහාරස්ථානයන්ටත් උන්වහන්සේ අයත් කෝට්ටේ සංඝ සභාවටත් පොදුවේ සම්බුද්ධ ශාසනයටත් පිරවිය නොහැකි ය. කලාතුරකින් පහළ වන මෙවන් යති උතුමන්ගේ ඇසුර ලැබීමත් පුර්වාකෘත පුණ්‍ය මහිමයක් වන අතර, උන්වහන්සේගේ ඇසුරේ සසුන් දායාදය ලබා ශාසනික සම්ප්‍රදායන් ඉගෙන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙවරක් කිරීමට මඟ පෑදීම අපගේ ජීවිතයේ ලද මහත්ම භාග්‍යයකි. අපවත් වි වදාළ අප ගුරු දේවෝත්තම අතිගරු දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේඛරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව සැලසේවා.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]