[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රංශ ශ්‍රී ලංකා සබඳතා අර්ථවත් කළ ආචාර්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ

ප්‍රංශ ශ්‍රී ලංකා සබඳතා අර්ථවත් කළ ආචාර්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ

මිනිස් සමාජයට මෙහෙවර සිදු කිරීමේ වත්මන් ආදර්ශය ආචාර්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක මාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි. උන්වහන්සේ පෞද්ගලික දේපළ රැස් කළේ නැත. රැස්කිරිම නොකොට දන්දීම සිදු කළහ . අධිපතිකම් සඳහා ඥාතීන් පැවිදි කළේ නැත.

මුල්කිරිගල සංඝ පරම්පරාවේ මුලනේ අග්ගාරාම මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් ලෙස තංගල්ල ඇත්ගාලමුල්ල අස්වත්ථ ආරාම විහාරයේ දී 1956 ජුනි මස 26 වැනි දින පැවිදි භූමියට පත්වූහ.

රුහුණෙන් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනටත් ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් පා තැබූ අප නායක සමිඳුන් වහන්සේ යුරෝපය තුළ ශ්‍රී ලාංකික ගෞරව නාමය ස්ථාපිත කළහ . 1983 වසරේ ප්‍රංශයට වැඩම කොට ප්‍රංශ ,වියට්නාම් ,කාම්බෝජ , ලාඕස් ,ටිබෙට් ,චීන ,ආදි විවිධ රටවල බෞද්ධයන්ගේ අමන්දානන්දයට පාත්‍ර හිමි නමකි. දසක තුනකට අධික කාලයක් ලෝක පූජිත ව වැඩවසමින් ශාසනයටත් ,ලෝක බෞද්ධ ජනතාවටත් සිදුකළ මෙහෙය, ජනිත කළ කැපකිරීම අතිමහත් ය .

සුවිශාල සමාජ මෙහෙවරක යෙදී සිටි අපගේ නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම අදහාගත නොහැකි තරම් ය .

දයාවෙන් අනුකම්පාවෙන් ජනතාවට සෙත සෑදූ අප නා හිමි අනුරාධපුර ගම්මාන අටක් සඳහා ලක්ෂ 14 වියළි සලාක හා මුදල් ලබා දුන්හ. එම අයගෙන් තුන් පිරිසක් සඳහා නිවාස තුනක් ඉදිකිරීමට කටයුතු සූදානම් කළහ . අනුරාධපුර ගජබා විහාරය සහ දම්සක් විහාරය, බලංගොඩ රාජගිරි විහාරය ආරම්භ කිරීම සඳහා ඤාණිස්සර නායක සමිඳුන් ධනයෙන්, උපදේශයෙන් මඟ පෙන්වූහ. 2021 නොවැම්බර් මස 05 දින චන්දාලෝක හිමි ඇමතූ නායක හාමුදුරුවන් ප්‍රකාශ කළේ අනුරාධපුර සඳහිරු සෑයේ පින්කමට වඩින බවත් ඉන්පසු ඉදිකරගෙන යන නිවාස බැලීමට යන බවත් ය. එදින සවස නායක හාමුදුරුවන් වහන්සේ අපවත් වූ බව දැනගන්නට ලැබුණි .

නාහිමියන් සිදුකළ ජාතික ශාසනික සේවය අගයමින් රුහුණු විශ්ව විද්‍යාලය ආචාර්ය උපාධියක් පිළිගැන්වීය. ඇත්ගාලමුල්ල අස්වත්ථ ආරාමය , කුඩාබැදිගම සුදස්සනානන්ද විහාරය යන විහාරයන්හි විහාරාධිපතිත්වය මෙහෙයවූයේ උන්වහන්සේ ය . අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී කුලදරුවන් 05ක් පැවිදි කරනු ලැබුවේ චන්දාලෝක හිමියන්ගේ ද සම්බන්ධය ඇතුව ය .

උන්වහන්සේ අධිපතිත්වය දැරූ විහාරස්ථානවල දහම් පාසල් ගුරු භවතුන් වෙත පාර්ශ්වික පරිත්‍යාගයක් සිදු කළහ . හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමක් අපවත් වූ විට ආධාර මුදලක් ලබාදීමට ක්‍රියා කළහ. ගම්මාන පහක ජනතාව සඳහා මරණයක දී ආධාර මුදලක් ලබා දුන්හ . මිද්දෙණිය කදුරුපොකුණ පාසල්වල ශිෂ්‍යයන් සරසවි වරම් ලද විට ආධාර මුදලක් ලබා දුන්හ .

කළුතර අනුරාධපුර රත්නපුර හම්බන්තොට නිවාස 25 ඉදිකිරිමට ක්‍රියා කළහ .


මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් සමඟ හකුරුවෙල චන්දාලෝක හිමි (වම්පසින්)

වැඩිහිටියන් 44 දෙනකුට සහ සිසුන් 25 සඳහා මාසිකව 3000 ක ආධාර මුදලක් ලබා දුන්හ. 1990 සිට වෛද්‍ය සිසුන් 1225ට වැඩි පිරිසක් සඳහා වෛද්‍ය ශිෂ්‍යත්ව ලබා දුන් අතර රණවිරු පවුල් 13 දරුවන් සඳහා අධ්‍යාපනය නිමවන තෙක් මුදලක් ලබාදීමට ක්‍රියා කළහ .පාසල් දරුවන් 100 ක් සඳහා මාසිකව පරිත්‍යාග සිදු කරමින් කොළඹ මහ රෝහල .මහරගම පිළිකා රෝහල , තලාව රෝහල සඳහා වෛද්‍ය උපකරණ ලබා දුන්හ .

මව්පියන්ට පින් පිණිස නිවාස විස්සක් සාදා පරිත්‍යාග කළහ. මවුපියන්ට පින් පිණිස විද්‍යෝදය පිරිවෙනේ වාර්ෂික දාන අටක් සිදු කර වූහ. එමෙන්ම මිද්දෙණිය රෝහල වෙත කෝටි හතරහමාරක් වැයකොට අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් සහ වෛද්‍ය නේවාසිකාගාරයක් ද ඉදිකර වීය. මිද්දෙනිය ප්‍රදේශයේ ජනතාවට ඇවිදින මං තීරුවක් සහ ළමා උද්‍යානයක් කෝටියක මුදලින් ඉදිකර වීය. සැදැහැවත් මවුපියන්ගෙන් ආශිර්වාදය ලද මේ පින්වත් කුමරා 1955 ජුනි මස 25 දින ඇත්ගාලමුල්ල අස්වත්ථාරාම විහාරයේ දී පැවිදි භූමියට පත්වූහ .

ප්‍රංශය ප්‍රධාන අධිකරණ සංඝනායක පැරිස් ජේතවන විහාරාධිපති හා තංගල්ල ඇත්ගාල මුල්ල අස්වත්ථ ආරාම විහාරයේ විහාරාධිපතිව වැඩ උන් මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසුව අශ්වත්ථාරාම පුරාණ විහාරයේ අධිපති ධූරය මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් හකුරුවෙල චන්දාලෝක ජේ්‍යෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙත ප්‍රදානය කොට ඇත. චන්දාලෝක හිමියන් අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය මගින් ශාස්ත්‍රවේදී උපාධියත් ,කැලණිය විශ්ව විද්‍යාලය මගින් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත . වීරකැටිය මූලගිරි පිරිවෙන . වරකාගොඩ ගල්ලෙන විහාර පිරිවෙන. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන මඟින්ද උන්වහන්සේ අධ්‍යාපනය ලබා ඇත .

උන්වහන්සේ විහාරස්ථාන පහක් ආරම්භ කිරීමට ක්‍රියා කොට ඇත.මී කුඹුක් ආදි පැළ 50000 අධිකව රෝපණය කොට ඇත. කොරෝනා රෝගීන් 1800 අධික පිරිසක් සඳහා ප්‍රතිකාර ලබාදී සුවපත් කොට ඇත. ප්‍රංශයේ ජේතවන විහාරයේ කටයුතු සිදු කරන්නේ මුලනේ ගුණානන්ද හිමියන් ය. උන්වහන්සේ ඥානිස්සර නාහිමිගේ තුන්වන ශිෂ්‍ය භික්ෂුව යි. මේ මස 05 දිනට ඤාණිස්සර නාහිමියන් අපවත්වී තෙමසකි. එදිනට හකුරුවෙල චන්දාලෝක හිමියන් සමඟ පැවිදි භූමියට පත්ව වසර තිහක් සපිරේ.

මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක මාහිමිපාණන් වහන්සේට උපහාර පිණිස විදේශ ධර්ම ප්‍රචාරය අරමුණු කොටගෙන ත්‍රිපිටක ධර්ම හා පෙරදිග අපරදිග භාෂා ශාස්ත්‍ර ඉගැන්වීමට අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට වත්මන් විහාරාධිපති හකුරුවෙල චන්දාලෝක හිමියෝ ක්‍රියා කරති. බෞද්ධ රාජ්‍යයන් සමඟ අධ්‍යාපන , සන්නිවේදන , සංස්කෘතික ජාලයක් ගොඩනැඟීමට චන්දාලෝක හිමියෝ ක්‍රියා කරමින් සිටිති.

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් අපවත්වී තෙමසක් ගත වන පෙබරවාරි 05 වන දින මිද්දෙණිය මුරුංගාගස්යායේ සුමංගල පිරිවෙන් විහාරයේ දී භික්ෂූන් වහන්සේ සියක් නමක් සඳහා දානමය පුණ්‍යකර්මයක් සිදු කළ අතර, මුරුංගාගස්යායේ විතාරන්දෙනිය ගෙදර වීරක්කොඩි පවුලේ ඥාතීන් විසින් සහ ගම්වාසීන් ද ඇතුළුව ප්‍රංශයේ ජේතවනාරාම විහාරයේ දායක පින් වතුන්ගේ ද උපකාර හිමිවිය.

බෞද්ධ ලෝකය තුළ ශ්‍රී ලාංකේය නාමය රන් අකුරින් සටහන් කිරීමට ක්‍රියා කළ අචාර්‍ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක මාහිමිපාණන් වහන්සේට සුගති සැප සැලසේවා.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]