[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විනයට මූලිකත්වය දෙමින් ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියට ක්‍රියා කරනවා

විනයට මූලිකත්වය දෙමින් ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියට ක්‍රියා කරනවා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති “සිරි ඥානාභිවංසාලංකාර ධීරානන්ද ධම්මාධාරවංසපාල මහින්දාලෝක වංසාවතංස විනයාචරිය” අතිපූජ්‍ය රත්මලානේ සිරි සුනීත අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

කෙළිදෙළෙන් ගතකරන ළමාවියේදී ම පැවිදි ජීවිතයට ඇලුම් කළ ඔබ වහන්සේ අමරපුර සිරිසද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් මේ වන විට විශාල ශාසනික කාර්යභාරයක් සිදුකරනු ලබනවා. ඒ පිළිබඳ සිහිපත් කරනවා නම් අපේ හාමුදුරුවනේ,

මම 1972 මාර්තු 16 වැනිදා රත්මලාන මහින්දාරාම විහාරස්ථානයේ දී උතුම් පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා තව මාස දෙකක් ගතවන විට පුණ්‍යවන්ත ශාසනික ජීවිතයට පුරා වසර 50 ක් සම්පූර්ණ වෙනවා. මගේ ආචාර්ය පාදෝත්තමයාණන් වහන්සේ වශයෙන් කටයුතු කළ රත්මලානේ මහින්දාලෝක නායක හාමුදුරුවන් වහන්සේ පුණ්‍යානුමෝදනා පූර්වකව ගෞරවයෙන් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.

පැවිදිවීමෙන් අනතුරුව, අම්බලන්ගොඩ රන්දොඹේ ශිෂ්‍යාලංකාර මහ පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබාගෙන අවුරුදු 20 සම්පූර්ණ වීමේ දී අමරපුර සංඝ සභාවේ සභාපති සහ සද්ධම්මවංස මහානිකායේ මහානායක ධුරන්ධරව වැඩසිටි පරමපූජනීය ගරුසම්භාවිත කොස්ගොඩ ධම්මවංස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් තලල්ලේ ධම්මානන්ද නා හිමි, පින්වත්තේ දේවානන්ද නා හිමි, රත්ගම සුමනානන්ද නාහිමි යන ගරුතර ස්වාමීන් වහන්සේලාගේ කර්මවාගාචාර්යත්වයෙන් වැලිතර මහා කප්පින වලව්බද ස්වේජින් සීමාමාලකයේ දී උතුම් උපසම්පදා සීලයට පත්වුණා.

1993 වර්ෂයේදි පළමුවෙන්ම බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පදවියට පත්වෙලා, දෙවැනි පියවර වශයෙන් සුධර්මාකාරක සංඝ සභාවේ කාරක සභික ධුරයට පත්කරනු ලැබුවා. අනතුරුව ක්‍රමයෙන් අමරපුර සිරිසද්ධම්මවංස මහානිකායේ ප්‍රධාන අධිකරණ නායක ධුරයටත් කාලයාගේ ඇවෑමෙන් එම පාර්ශ්වයේ අනුනායක පදවි ප්‍රාප්තිය දක්වා ගමන් කරමින් ඒ ඒ කාලවලදී නිකායේ ශාසනික කටයුතු වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබාදෙනවා. ඒ වගේම අධිකරණ විනිශ්චය සාකච්ඡාවලදී මට සතුටුවිය හැකි ආකාරයටත් අනෙක් පාර්ශ්වයන් සතුටුවිය හැකි ආකාරයටත් අදහස් ලබාදෙමින් සිරි සද්ධම්මවංස මහා නිකාය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදුකරගෙන යනවා.

ශාසනභාරධාරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේට පැවරී තිබෙන කාර්යභාරය මොනවගේ ද නායක හාමුදුරුවනේ,

මම ශාසනභාරධාරි ස්වාමීන් වහන්සේ නමක් හැටියට විධායක සභාවේ සිටිමින් තීන්දු තීරණ ගනු ලබනවා. විශේෂයෙන් සම්මුතියක් හැටියට පෞද්ගලික තීන්දු තීරණ නොගෙන සුධර්මාකාරක සංඝ සභාවට අපේ අදහස් යෝජනා ඉදිරිපත් කළාට පසුව ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම අපට පැවරී තිබෙනවා. ඊට අමතරව පැවිදි පින්කම්, විනයකර්ම ආදී කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබාදෙමින් කටයුතු කරනවා. අපේ නිකායෙන් ඒ සඳහා මට විශේෂත්වයක් ලබාදී තිබෙනවා.

ධර්මධර, විනයධර සුපේශල ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් සිදුකළ ජාතික, ආගමික, ශාසනික, මෙහෙවර සඳහන් කරනවා නම්,

මම පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් ධර්මදේශනා කිරීමට සමාජයට පිවිසුණ දා සිට මේ දක්වාම ඒ සමාජ මෙහෙවරෙහි ආගමික කටයුතුවලදි මගේ දායකත්වය මම ඉතාමත් ඉහළින් ලබාදෙනවා. ඒ වගේම කළ යුතු දේ නොකළ යුතු දේ ඉතාම හොඳින් තෝරාබේරා ගෙන මම ලබාගත් අධ්‍යාපනයත් සමඟ විනයට මූලිකත්වය ලබාදෙමින් ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම දුෂ්කර ප්‍රදේශ කිහිපයක ගරාවැටුණු විහාරස්ථාන කිහිපයක් ප්‍රතිසංස්කරණය කරමින් නැවත ගොඩනැඟීමට කටයුතු කළා. ඒ අතර පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන රත්මලාන පුෂ්පාරාමය, පයාගල සූරියබණ්ඩාර රාජමන්තින්දාරාමය, කැලෑගම සුගත බිම්බාරාමය හා රත්මලානේ මහින්දාරාම විහාරස්ථානය සැදැහැවතුන්ගේ ආධාර උපකාර ලබාගෙන සම්පූර්ණයෙන්ම නවීකරණය කළ විහාරස්ථාන වශයෙන් පෙන්වාදෙන්න පුළුවන්. පයාගල සූරියබණ්ඩාර දහම් පාසලත්, රත්මලාන ශ්‍රී ධම්මාධාර දහම් පාසලත් අලුතෙන් ආරම්භ කළා. ඒවගේම දරුවන් 1000 කට වැඩි පිරිසක් දහම් අධ්‍යාපනය ලබන වාද්දුවේ ඤාණරතන දහම් පාසල ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළා.

ඒ ඒ විහාරස්ථාන මුල්කරගෙන ආරම්භ කරන්නට යෙදුනු සමිති සමාගම් වෙනුවෙන් අනුශාසකත්වය ලබාදෙමින්, මෙම විහාරස්ථාන කේන්ද්‍රකරගෙන වාර්ෂිකව පවත්වනු ලබන මිහිඳු මහ පෙරහර සංස්කෘතික මංගල්‍යයක් හැටියට හොඳින් පවත්වාගෙන යනවා.

ශාසනික ජීවිතයට වසර 50 ක් සම්පූර්ණවෙමින් සම්භාවනාවට පාත්‍රව වැඩ සිටින යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් පැවිදි ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් අනුසාරයෙන් හැදෙන වැඩෙන පොඩි හාමුදුරුවන් වහන්සේලාට ලබා දෙන අවවාද අනුශාසනා මොනවගේ ද හාමුදුරුවනේ,

මුල් ළමා විය, තරුණ විය බොහොම දුෂ්කරව පවත්වාගෙන යාමට සිදුවුණත්, අපි හැමදේම බොහොම සතුටින් බාරගත්තා. ධර්ම කාරණා හොඳින් ජීවිතයට එකතු කරගෙන ඒ අනුව හොඳ අරමුණක් ඇතිකරගෙන එම අරමුණ ඉටුකරගැනීමට වීර්යය කළ නිසා තමයි වර්තමානය තුළ මෙවැනි වගකීම් දරමින් ශාසනික වශයෙන් විශාල කාර්යභාරයක් ඉටුකරගන්න හැකියාව ලැබුණේ. අනාගතයේ හැදෙන වැඩෙන සියලු පොඩි හාමුදුරුවන් වහන්සේලා ශ්‍රද්ධාව මුල්කරගෙන ගුරුවරුන්ට කීකරුව ගෞරව බුහුමන් දක්වමින් තමන්ගේ මව්පියන්ට අවමානයක් නොවන ආකාරයට භික්ෂු ජීවිතය පවත්වාගෙන යනවා නම්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතියට ඉතාම වැදගත් වන බව සිහිපත් කළ යුතුයි.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]