[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාර්ථකත්වයේ රස පල උදෙසා උත්සාහයෙන් ධෛර්යයෙන් ක්‍රියා කරමු

සාර්ථකත්වයේ රස පල උදෙසා උත්සාහයෙන් ධෛර්යයෙන් ක්‍රියා කරමු

කාල කළමනාකරණය ද, වැඩකටයුතුවල ඉහළ ඵලදායිතාව ද උන්වහන්සේ ලොවට පෙන්වා දුන් සේක. බුදුමඟ වඩින, සරල සුන්දර ගති සොබා දිස්වෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ සැබෑ අල්පේච්ඡතාවේ ජීවමාන ප්‍රතිරූපයයි. අද මෙන් නොව එදා බුදුරදුන් දවස පවර මහ සඟ ගණ ධර්ම චාරිකාවේ යෙදී ගත සතපවා ගැනීමට දිවා කල තුරු සෙවණ යට ද, රාත්‍රියේ දී ගිනිහල්ගෙයි, කුඹල් හලේ ද සැතපුණහ. පවස නිවාගත්තේ ළඟපාත ඇළක දොළක ඇල්දියෙනි. තුන් සිවුරක්, පාත්‍රයක් පමණ සන්තකයේ ‘තබාගත් බුදුසව්වෝ සංසාර සරතැස නිවා අනෙකාට ද එ මඟෙහි ප්‍රතිලාභ දානය කළහ.

දවසක් පාසල නිමවී පෙරළා නිවෙස් බලා යන ළමයින් පිරිසක් පලබර අඹ රුකක් දුටුවහ. අඹ කෑමේ මහත් රුචියෙන් යුතු ඔවුහු අඹ රැඳි අත්ත වෙත පොලුපහර එල්ල කරන්නට වූහ. වරක් දෙවරක් පහර එල්ල කළ ද අඹ පල බිම වැටුණේ නැත. ඉන් මන්දෝත්සාහි නොවූ ළමෝ නැවත නැවත අඹ රුකට පොලු පහර එල්ල කළහ.

අවසානයේ සැවොම සතුටු සිනා පාමින් මිහිරැති අඹපල භුක්ති වින්දහ. වරක්, දෙවරක් වෙර දැරුව ද අඹ නොවැටුණු විට ඉන් නොනැවතී උත්සාහයෙන් යෙදු වෙර වීරිය නිසාම සැමට අඹ රස විඳීමට හැකිවිය.

මෙලෙස කවරකු වුව ද උත්සාහයෙන්, වීර්යයෙන් ක්‍රියා කරයි නම්, එම තැනැත්තාගේ මෙලොව දියුණුව ද, පරලොව අභිවෘද්ධිය ද, ඒකාන්තයෙන් ම සැලසෙයි. ගිහියාගේ ගිහි දිවියේ ලෞකික දියුණුවට ද පැවිද්දාගේ ආධ්‍යාත්මික දිවියේ ආලෝකයට ද උත්සාහය, වීර්යය බලගතු මෙවලමකි.

වීර්යය බුද්ධාංකුර ධර්මයකි. සම්බුදු බවට පෙරුම් පුරන මහ බෝසතාණන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක අති දීර්ඝතර සංසාර චාරිකාවක දී පූර්ණය කළ යුතු පාරමිතා ධර්ම දහයෙන් එක් ධර්මතාවකි වීර්යය.

ඉගෙන කියා ගන්නා දරුවකුගේ මෙන්ම, රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරයන්හි නිරත අයකුගේ ද සාර්ථකත්වය, උත්සාහය වීර්යය මත රඳා පවතියි. පස් පවින්, දස අකුසලින් වැළකී සම්මා ආජිවයෙන් යුතු දැහැමි දිවිපෙවෙතකට වීර්යය උත්සාහය අනිවාර්යය සාධකයකි. සිත, කය, වචනය යන ද්වාරත්‍රයෙන් වන වැරැදි නොකොට දිවි ගෙවීමට ද පරීක්ෂාකාරීව, නිදොස් ව තමාගේ ක්‍රියා හරියාකාරව කිරීමට ද වෙරවීරිය තිබිය යුතුම ය. එවිට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට ද හැකි වේ. බොදු දිවි පෙවෙත අර්ථවත් වන්නේ ද, ඉතාමත් අසීරුවෙන් ලද මිනිස් ජීවිතය අරුත්බරව ගත කළා වන්නේ ද එවිට ය. ජීවිතයේ කවර දුකක්, කරදරයක්, බාධාවක් වුව, සිහි නුවණින්, උත්සාහයෙන් යුතුව ක්‍රියා කරන්නකුට ඒ සියලු අසීරුතා මැඩ ජය ගත හැකි වෙයි. එය කාලයකට සීමා නොවන සර්වකාලීන ධර්මතාවකි.

පෙර එක් සමයෙක, දඹදිව බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජ කල ‘නිමිත්ත පාඨනයේ සමත් වියත් බුද්ධිමත් සිටුවරයෙක් විසුවේ ය. නමින් චුල්ලසෙට්ඨි වූ හෙතෙම දිනක් රාජ සේවයට යන අතරමඟ මළ මීකුණක් දැක “නුවණැති කවරකුට වුව මේ මීකුණෙනුදු දියුණුව සාදාගෙන අඹු දරුවන් ද පෝෂණය කරමින් යෙහෙන් වැජඹිය හැකි යැයි” අනාවැකි පළ කළේ ය.

වියතාණන්ගේ මේ කියමන කනවැකුණු මහ මඟ හුන් දුගී තරුණයෙක් සිතට දිරිගෙන මළ මී කුණ රැගෙන පෙරට ගමන් කළේ ය. ඒ වීදියේ විසූ මිනිසෙක් මළ මී කුණ තම සුරතල් බළලාගේ ආහාරයට මිලදී ගත්තේ ය.

ධනයෙන් දිළිඳු වුව ද නුවණින් පොහොසත් මේ වීර්යවන්ත චුල්ලන්තේවාසික තරුණයා එම මීකුණෙන් ලත් මුදලින් පැන් කළයක් ද සමඟ උක්සකුරු ගෙන වනයේ මල් නෙළන මල් කරුවන්ට විකිණුවේ ය. විඩාබරිත වූ මල්කරුවෝ ඉන් තුටුවැ ඔහුට මල් මිට මිට පරිත්‍යාග කළහ. මල්කරුවන්ගෙන් ලද මල් මිටි ද, ඔවුන් මේ තරුණයාට ඉතිරි කළ ගස්වල මල් ද නෙළා විකුණා කහවනු අටක් උපයා ගැනීමට මේ උත්සාහවන්තයා සමත් වූයේ ය.

දවසක් මොර සූරන මහ වැස්සක් මැද හමාගිය මහ සුළඟින් දඹදිව රාජකීය උද්‍යානයේ වියළි දඬුපත් අතුපතර සිඳී බිඳී තැන තැන වැටීමෙන් මුළු උයනම අපවිත්‍ර විය. මේ බැව් දැනගත් චුල්ලන්තේවාසිකයෝ වහා ගොසින් උයන්පල්ලා මුණ ගැසී ඔහු හා මිතුරුව, සබඳ සිඳුණ දඬුපත් මා හට දෙන්නේ නම් මුළු උයනම පවිත්‍රකර දෙන්නෙමි’යි පැවසූහ.

හිස සලා උයන්පල්ලා ඊට කැමැත්ත පළ කළ කල්හි උයනේ කෙළි සෙල්ලම් කරන දරුවනට උක්සකුරු ද, පැන් ද දී ඔවුන් පහදවාගෙන ඔවුන්ගේ ද සහයෙන් මුළු උයනේ විසිරී පැතිරී තිබූ සිඳුණු දඬුපත් ඉවත්කර තැනක ගොඩගසා දර සොය සොයා ඇවිදින, රජ ගෙදරට වළං සපයන කුඹලාට ඒවා විකිණුවේ ය. ඉන් ඔහුට කහවනු විසි හතරක් ද , සැළි වළං පන්සියයක් ද ලැබුණේ ය. ඉන් අතමිට සරු වූ ඔහු නුවර දොර අභියස පැන්හලක් අරඹා තණකොළ කපන්නන්ට පැන් බෙදමින් සාර්ථක ව්‍යාපාර කටයුත්තක නිරතවූයේ ය. දිනෙක අශ්වයන් පන්සියයක් රැගෙන විදෙස් වෙළෙන්දකු තම රටට පැමිණෙන බැව් තම මිතුරු තණකොළ කපන්නකු වෙතින් දැනුවත් වූ මොහු ඔවුන්ගෙන් තණකොළ මිටිය බැගින් තණකොළ මිටි පන්සියයක් ඉල්ලවා තම නිවෙස ඉදිරියේ ගොඩ ගැසුවේ ය.

තම අසුන්ට අහාර පිණිස තණ සොයමින් ඇවිදින අස් වෙළෙන්දා චුල්ලන්නේවාසිකට කහවනු පන්සියයක් මිල ගෙවා අශ්වාහාර පිණිස තණ මිටි ලබා ගත්තේ ය.

මෙලෙස කෙමෙන් කෙමෙන් ධනවත් වූ මොහුට වරෙක මිතුරකු කියා සිටියේ නැව් තොටට වෙළෙඳ නැවක් පැමිණ ඇති බවයි. තම අත රැඳි ධනය වැඩි දියුණු කර ගැනීමට මෙය කදිම අවස්ථාවකැයි ස්වකීය වෙළෙඳ ඥානයෙන් තේරුම් ගත් මේ මානවක කුලියට සපයාගත් අගනා සුඛෝපභෝගී රථයක නැඟී ඉසුරුමත් වෙළෙඳ නායකයකු පරිද්දෙන් නැව් තොටට ගොස් ඉතාම වටිනා මුදුවක් අත්තිකාරම් ලෙස දී නැවේ සියලු භාණ්ඩ අත්පත් කර ගත්තේ ය.

වෙළෙඳ නැව නැව් තොටට පැමිණි බැව් දත් බරණැස වෙළෙන්දෝ භාණ්ඩ මිලදී ගැනීමට මිල ගෙවීමට සූදානම් වෙද්දී නැව් හිමියා චුල්ලන්තේවාසික දෙසට අත දිගු කොට පැවසුවේ මහ වෙළෙන්දා නැවේ සියලු භාණ්ඩ අත්පත්කරගත් බැවින් ඔහුට මිල ගෙවා ඒවා ලබා ගන්නා ලෙසයි.

පසුව බරණැස් නුවර වෙළෙඳ ප්‍රජාව චුල්ලන්තේවාසිකට මිල ගෙවා භාණ්ඩ ලබා ගත්හ. මෙම භාණ්ඩ අලෙවි කිරීමෙන් ඔහු කහවනු දෙලක්ෂයක් උපයා ගැනීමට සමත් විය. මීයකුගේ මළකුණකින් පටන්ගෙන මහා ධනස්කන්ධයකට උරුමකම් කියූ චුල්ලන්තේවාසිකයෝ ධනයෙන් මෙන්ම ගුණයෙන් ද පොහොසත්හු ය. එනිසාම හෙතෙම මී කුණකින් දියුණුව සලසා ගැනීමේ මඟ කියූ චුල්ලසෙට්ඨි සිටුතුමා සොයා ගොසින් කහවණු ලක්ෂයක තිළිණයකින් ඔහු පුදා තමාගේ ජීවත අන්දරය පඬිතුමාට පවසා සිටියේ ය. මේ කාර්යශූර, නුවණැති, ගුණයහපත් පුරුෂයාගේ විස්තරයෙන් ඉමහත් ප්‍රසාදයට පත් චුල්ලසෙට්ඨි සිටුතුමාණෝ තමාගේ සියලු වස්තු සම්භාරය ද මේ කාර්යශූර තරුණයාට පවරා, තම දියණිය ද ඔහුට සරණපාවා දුන්හ. සිටුතුමාගේ ඇවෑමෙන් චුල්ලන්තේවාසිකයෝ බරණැස සිටු පදවියට ද පත්වූහ.

ධනයෙන්, බලයෙන්, කීර්තියෙන් චුල්ලන්තේවාසිකට සැප සම්පත් ළඟා වූයේ ඔහු නොපසුබස්නා වීර්යයෙන්, සිහිබුද්ධිය ඇතිව, ධාර්මිකව දිවිගෙවීම නිසාවෙනි. අතේ පිච්චියකුදු නොමැතිව මළ මීයකු අතින් ගෙන මහ මඟ සැරිසැරූ තරුණයා බරණැස මහා සිටු පදවියෙන් පිදුම් ලැබුයේ පෙරකී යහගුණ ඔහු තුළ වූ බැවිනි. ජාතක පොත්වහන්සේ තුළ ඇතුළත් චුල්ලසෙට්ඨි ජාතක කතා පුවත උත්සාහයෙන්, වීර්යයෙන් තම දිවි මඟ බබුළුවා ගැනීමට වෙර දරන කාහටත් මනා පිටිවහලකි.

එදා දඹදිව රජගහනුවර සිඟාල පුතාට බුදුරදුන් ඉගැන්වූ පාඩම මෙදා දියුණුවේ මං සොයන, වෙර වඩන කොයිකාටත් අමිල ධන නිධාන පෙන්වන මහඟු උපදේශයකි. ඒ ඔස්සේ ජීවිත හදාගත් කෙනකුගේ මෙලොව දිවිය බබළයි. සාර්ථක වෙයි. එසේ සකස් කරගත් ජීවිත ගත කරන්නෝ පරලොව සුගතිය ද, නිර්වාණ ශාන්තිය ද අත්පත් කර ගනිති.

මෙලෙස නුවණැත්තා බුදුදහමේ මහඟු ඉගැන්වීම් තම දිවිමඟට එකතු පහදා කර ගනියි. ධාර්මික, වීර්යවන්ත, දිවිපෙවෙත තමාගේ ද ස්වකීය ඥාති බන්ධු මිත්‍රාදීන්ගේ ද සුබසිද්ධිය උදෙසාම මෙහෙයවයි.

ලොව ඇති සීමිත සම්පත්, අසීමිත අවශ්‍යතා සමඟ මුසු කිරීමට යාමේ දී සම්පත් මනා ලෙස පරිහරණය කිරීම උදෙසා බිහිවන විද්‍යාව ආර්ථික විද්‍යාවයි. ලොවැ පහළ වූ ඇඩම්ස්මිත්, ලයනල් රොබින්ස්, වැනි අර්ථ ශාස්ත්‍රඥයින් රටක - සමාජයක වෘද්ධිය, සංවර්ධනය උදෙසා නිෂ්පාදනය, ආයෝජනය, ඉතුරුම් ඉහළ නංවාගත යුතු අයුරු පෙන්වා දෙයි. අද අපට ඇති සියලු සම්පත් එකවර භුක්ති නොවිඳ මතු පරම්පරාවටත් ඉතිරිකිරීම ගැන ධරණීය සංවර්ධන සංකල්පය කියාපායි.

ඉතිරි කිරීම් නොමැති කල ආයෝජන නොමැතිවීමෙන් නිෂ්පාදන ධාරිතාව පසුබසින බැව් ලොවැ අර්ථ විශේෂඥයින්ගේ මතයයි. අදහසයි.

සැලසුම්කරණය, කළමනාකරණය, පරිභෝජන රටාව, ඉතිරිකිරීම්, ආයෝජන ආදී ආර්ථික සංකල්ප පුද්ගලයාගේ ද, රටක සමාජයක ද, දියුණුවට ඉවහල් වන අයුරින් ප්‍රශස්ත ලෙස යෙදවීම සංවර්ධනයට මඟ පාදන බැව් ආර්ථික විශේෂඥ විග්‍රහයයි.

මෙම ආර්ථික විද්‍යා නිර්මාපකයින්ගේ නිර්දේශයනට පෙරාතුව මෙයට වසර දෙදහස් පන්සිය ගණනකට ඉහතදී මගෙ බුදුපියාණන් වහන්සේ ලොවට හෙළිකළ උතුම් ජීවන දර්ශනයෙන් ද, අසහාය ජගදාචාර්යයන් වහන්සේගේ උතුම් දිනචරියාවෙන් ද, උත්කෘෂ්ට චරිතාපදානයෙන් ද, සමාජ වෘද්ධියකට, ආර්ථික, සමාජයීය, සංස්කෘතික, දේශපාලන, අංශයන් හා බැඳි සැබෑ සංවර්ධනයකට තුන්කල් සුදිලෙන සැමදා බබළන මහා ප්‍රදීපස්ථම්භයක් ලෙසින් මං පෙත් විවරකරයි. එදා මහ බෝසතාණන් වහන්සේ තුසිත දෙව් ලොවින් මනුලොව ඉපදීමට පෙර කාලය, දීපය, දේශය, කුලය, මව් වශයෙන් ‘පස්මහ බැලුම්’ ගැන අවධානය යොමු කළ බැව් සම්බුදු චරිතාපදානයෙන් විද්‍යමානවෙයි.

ඒ තුළින් සැලසුම් කිරීම ගැන තේරුම් ගැනීම උගහට නොවෙයි. මානව ශිෂ්ටාචාරයේ කාලසටහනක් හඳුන්වා දී ඒ අනුව දිනචරියාව සංවිධානය කළ, වැඩ කටයුතු පෙළගැස්සූ ශාස්තෘවරයාණෝ අප බුදුපියාණෝමයැ. ඒ අනුව කාල කළමනාකරණය ද, වැඩකටයුතුවල ඉහළ ඵලදායිතාව ද උන්වහන්සේ ලොවට පෙන්වා දුන් සේක.

බුදුමඟ වඩින, සරල සුන්දර ගති සොබා දිස්වෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ සැබෑ අල්පේච්ඡතාවේ ජීවමාන ප්‍රතිරූපයයි. අද මෙන් නොව එදා බුදුරදුන් දවස පවර මහ සඟ ගණ ධර්ම චාරිකාවේ යෙදී ගත සතපවා ගැනීමට දිවා කල තුරු සෛවණ යට ද, රාත්‍රියේ දී ගිනිහල්ගෙයි, කුඹල් හලේ ද සැතපුණහ. පවස නිවාගත්තේ ළඟපාත ඇළක දොළක ඇල්දියෙනි. තුන් සිවුරක් , පාත්‍රයක් පමණ සන්තකයේ ‘තබාගත් බුදුසව්වෝ’ සංසාර සරතැස නිවා අනෙකාට ද එමඟෙහි ප්‍රතිලාභ දානය කළහ.

අපමණ දුක් කම්කටොලු බාධා සම මෙතින් ඉවසූහ. කිසිවිට උකටලී නොවී පරමාධ්‍යාශය උදෙසා ව්‍යාපෘත වූහ. අවම පරිභෝජනය, සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම බෞද්ධ සමාජයේ සිව්වනක් පිරිසෙන් මොනවට දිස්වෙයි.

බුදු මඟ යන බුදු සව්වෝ කිසිවිටෙක බුදුදහම නොඉක්මවති. එනිසාම ඔවුනට අල්පේච්ඡතාව හොඳට හුරු පුරුදු ය. කෙනකු තුළ හෝ රටක් තුළ ඉතිරිකිරීම් තිබූ පමණින් මතු වැඩ සඳහා එම සම්පත් යෙදවීමට, ආයෝජනයට ඉඩ ප්‍රස්ථා සාදයි. ඉතිරිකිරීම් කී සැණින් බොහෝ දෙනාගේ සිහියට නැඟෙනුයේ මුදල් හදල් ඉතිරිය ගැන පමණි. මුදල් මෙන්ම කාලය, ජලය, ස්වභාවික සම්පත් පමණක් නොව අප මුදාහරිත වචන ද අපට ඉතිරි කළ හැකි දෑ ය.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]