[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හිමාලය අලංකාරයි, අනේ ! නුඹත් එහි යනවා නම් ...

කච්ඡප ජාතකය ඇසුරිනි:

හිමාලය අලංකාරයි, අනේ ! නුඹත් එහි යනවා නම් ...

මෙම ලිපියේ පළමු කොටස ‘ඉදිබු පාඩම’ ඉල් පුර අටවක පෝදා පත්‍රයේ පළවිය.

හිමාලයේ රන් ගුහාවක හංසයෝ දෙදෙනෙක් විසූහ. උන්ගේ මිතුරු ඉදිබුවෙක් එක් ගමක කුඩා වැවක ජීවත් විය.

දිනක් හංසයෝ ඉදිබුවාට මෙසේ කීහ.

“මිතුරා ඔබ ජීවත්වන මේ වැව නිකම්ම නිකම් මඩ වගුරක් පමණයි. දුගඳ ද හමයි. ජලය ද අඩුයි. අප වෙසෙන හිමාලයේ සිහිල් පිවිතුරු ජල ධාරාවල මිහිර නුඹට විඳින්නට ලැබී නැහැ. පස් පියුම් පිරි විල්වලින් හිමාලය අලංකාරයි. අනේ නුඹත් එහි යනවා නම්”

ඉදිබුවා කෝපයට පත් විය.

“නුඹලා මගේ මිතුරන් බව හැබැයි. එහෙත් නුඹලා මට ඔච්චම් කරනවා. කිසි කලෙක මට යාමට නො ලැබෙන තැනක්, දැකීමට නො ලැබෙන තැනක්, ගැන කියා මා පිස්සු වට්ටන්න එපා. ගෙයක් ඔසවාගෙන හෙමින් ඇවිදින මට විහිළු කරන්න එපා.”

“අනේ අපි නුඹට සරදම් කළා නොවෙයි. අපට නුඹ ගැන දුක සිතුණා. අප ලබන සතුට සැපත නුඹටත් ලබා දිය හැකිනම්”

ඉදිබුවා සිය හිස කටුව තුළ සඟවා ගත්තේ ය. හංසයෙක් ඌට ළං විය.

“හිත රිදිලා. අපි නුඹෙන් සමාව ඉල්ලනවා. නුඹ හිමාලයේ රන් ගුහාවට ගෙන යා හැකි මඟක් තිබෙනවා.

ඉදිබු හිස කටුවෙන් පිටතට පැමිණියේ ය.

“මඟක් තියෙනවා.”

“අපි දෙදෙනා දණ්ඩක දෙකෙළවරින් අල්ලා ගන්නවා. නුඹ දණ්ඩ මැදින් එල්ලෙනවා. අපි දණ්ඩ ඔසවාගෙන හිමාලයට පියාඹනවා.”

ඉදිබුවාගෙන් සිනා හඬක් නැඟිණ.

“මට එල්ලෙන්න වෙන්නෙ අත්වලින් නොවෙයි. කටින්.”

“ඔව්, නුඹ දණ්ඩේ මැද කටින් අල්ලා එහි එල්ලෙන්න ඕනැ. කට අරින්න එහෙම බැහැ. තේරුණාද? කතාව නතර කරන්න ඕනෑ.”

“හෝරා ගණනක් ම කතා නොකර ඉන්නේ කොහොමද? ඒත් මම කොහොම හරි කටින් එල්ලී ඉන්නම්...”

“මිත්‍රයා, නුඹ හැමවෙලේ ම කතා කරන කයිවාරු රජෙක් නේ ඔන්න හෝරා ගණනක් කටට විවේකයක් ලබා දෙන්න පුළුවන් අවස්ථාවක්. තමන් ගැන ඕනෑවට වැඩිය කයිවාරු ගහන එක නෙ මිත්‍රයාගෙ පුරුද්ද. අපි කිව්වට අහන එකක් යැ. කට වහගෙන ඉඳිල්ලෙ අගය මේ ගමනෙදි පෙනේවි.”

“නුඹලා මට විහිළු කරනවා. මා කතා කරනවා අහගෙන ඉන්න නුඹලාට බැරිබව මා දැන සිටියේ නැහැ. නුඹලාට මා ඔය තරම් අපි‍්‍රය නම් මා නුඹලා සමඟ එන්නේ මොකටද? මට ඔය රන් ගුහා ඕනේ නැහැ. මම මේ මඩ වගුරෙ ම ඉන්නම්.”

ඉදිබුවා කෝපයෙන් කීය. යළි කටුව තුළ හිස සඟවා ගත්තේ ය.

“අඩු පාඩු පෙන්වා දීම හොඳ මිත්‍රයන්ගේ යුතුකම. අපි කතා කළේ එහෙම හිතලා. අපි දැන්ම ම යමු . එන්න. මේ දණ්ඩ මැදින් අල්ලා ගන්න.”

ඉදිබු හිස යළි පිටතට ආවේ ය. ඌ අදිමදි කරමින් මිතුරන් දෙස බලා සිටියේ ය. පසුව කට ඇරියේ ය. හංසයෝ දණ්ඩ ඔසවා එය අල්ලා ගත යුතු නැත. මිතුරාට පෙන්වූහ.

ඉදිබුවා දණ්ඩේ එල්ලුණේ ය.

හංසයෝ දණ්ඩේ දෙ කෙළවර තුඩින් ඔසවාගෙන පියාඹන්නට වූ හ.

ඉදිබුවාගේ කටට ඉදිබු සිරුරේ බර දැනිණ.

“මෙතෙක් කල් මා කටින් සිරුර මහත් කළා. දැන් මා සිරුර කටින් ඔසවාගෙන යනවා. හා කොපමණ රසබර සිතිවිල්ලක් ද? එහෙත් එය මිතුරන්ට කියන්නේ කෙසේද? රන් ගුහාවට යන තුරු මා එය නො කියා ඉන්නේ කෙසේද?”

ඌ සිත දැඩිකර ගත්තේ ය.

කඳු මුදුන් පසුකොට තැනිතලාවක් උඩින් පියාඹා යනවිට ඌට මිනිස් කටහඬවල් ඇසිණ.

“පෙර දිනෙක ගල් කැබලිවලින් ගසා මට හිරිහැර කළ මිනිස් පැටවුන් ද මේ?”

ඌට ප්‍රශ්නයක් ඇතිවිය.

“හු... හු.... හු... අන්න ගල් ඉබ්බෙක් අහසින් පියාඹා යනවා. හු.... හු... ගල් ඉබ්බා පියාඹනවා. ඉබ්බාට පිහාටු ඇවිල්ලා .... හු..... හු .....”

කොල්ලන්ගේ හඬ ඉදිබුවාට ඇසිණ.

“හු.... හු.... ගල් ඉබ්බට පිහාටු ඇවිල්ලා.”

“චික්.... මුං මට ගල් ඉබ්බාය කියනවා. මම වෙහෙර ඉබ්බෙක්. ලස්සන මෝස්තර රටා සහිත වෙහෙර ඉබ්බෙක් මං. කොල්ලනේ මට අපහාස කරන්න එපා.”

ඉදිබුවාට ඉවසීම අපහසුවිය. කොල්ලන්ට බැන වැදීමට සිතූ ඌ “තොපිට” කියා කට ඇරීමට සැරසුණා පමණි. ඇරුණු කටින් වචන පිටවීමට ඉඩක් නොලැබිණ. මොහොතකින් ඌ බිමට වැටී දෙකඩ වී මස් කැබලි වී ගිය හෙයිනි.

හංසයෝ දණ්ඩ ද ඉදිබු මස් කැබලි අතරට හෙළා හිමාලයට ගියහ.

පුරෝහිත ඇමතිගේ කතාව නතර වූයේ රාජ සභාවෙන් මතු වූ දිගු සුසුම්වැලක් ද සමඟ ය.

“රජතුමනි, අනුන්ට වන පීඩාව ගැන නොසලකා දිගටම කතා කිරීමට, කයිවාරු ගැසීමට පුරුදු වී සිටි ඉදිබුවා කට නිසා විනාශවුණා. කතාව පාලනය කිරීම අපහසු වූ, තමා ගැන ඕනෑවට වඩා කයිවාරු ගසන කාට වුණත් සිදු වන්නේ ඔය දෙයම තමයි” පුරෝහිත කීය.

ඇමතිවරු රජු දෙස බැලූහ. රජුගේ මුහුණ රතුවිය. එය ලජ්ජාවෙන් පිරී තිබිණ.

“තොප ඔය කියන්නේ මටත් එක්කද?”

රජු ඇසී ය.

“ඔබතුමාට එය ගැළපේ නම් එසේ සිතුවාට කමක් නැහැ. තොප්පිය ඔළුවට ගැළපේ නම් දාගන්න එකයි ඇත්තේ කියල කියනවනේ.”

රජ සබයේ පසු පෙළ අසුන්වලින් මඳ සිනා හඬක් නැඟිණ.

බිසව අතින් කට වසා ගත්තා ය.

රජු නැඟිට්ටේ ය.

පසු දොරින් රජ මැදුරට ගිය ඔහු සිය කුටියට වැදී දොර වසා ගත්තේ ය.

ඇමතිවරු පුරෝහිතයා දෙස අනුකම්පාවෙන් බැලූහ.

රජුගේ සිත රිද වූ කිසිවකුට මෙලොව ජීවත්වීමට ඉඩක් නැත.

“ඔය කාරණය රජතුමාට කීමට ඉඩක් නැතිවයි මා සිටියේ. මා දැන් එය ඉතා හොඳින් කීවා. දැන් මට දඬුවමක් ලැබුණත් කමක් නැහැ.”

පුරෝහිතයා ඇමතිවරුනට කීය.

ඔහුට දඬුවමක් නො ලැබිණ.

ඉන් පසු රජුගේ කතාව අඩුවිය. අනුන්ට සවන්දීම වැඩිවිය.

ඇමතිවරු ද, සෙනෙවිවරු ද, අග බිසව ඇතුළු බිසෝවරු ද ඉදිබුවාට ස්තූති කළහ.

ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]