[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිත්‍ර සෙනෙවිගෙන් සිරිනාගට තර්ජනයක්

මිත්‍ර සෙනෙවිගෙන් සිරිනාගට තර්ජනයක්

පසුදා හිමිදිරියේ ම අවදි වී විජිතපුරයෙන් පිට වූ සිරිනාග දවල් බතට නිවසට පැමිණියේ ය. එතැන් සිට මාස දෙකකට ආසන්න කාලයක් මිත්‍ර මහ සෙනෙවි මඟ හැර ඉන්නට කටයුතු කළේ ය. රාජකාරි බහුල ව යෙදෙන්නකු සේ හැසිරුණේ ය. මිත්‍ර සෙනෙවි පැමිණියහොත් තමා නිවසෙහි සිටියත් නැති බව පවසන ලෙසට සේවකයන්ට අණ කර තිබිණි.

එහෙත් එක් සන්ධ්‍යාවක සිරිනාග පසු පසින් පැමිණි මිත්‍ර සෙනෙවි ඔහු හසුකර ගත්තේ ය.

"සිරිනාග" මිත්‍රගේ ඇමතීමෙන් සිරිනාග බියට පත් විය. සිය අසු නවතා ගත් ඔහු තමා ළඟට පැමිණි මිත්‍ර මහා සෙනෙවිතුමාට ආචාර සම්පන්න ව කතා කළේ ය.

"මහා සෙනෙවිතුමනි, ළඟට එනතුරු ම මා දුටුවේ නැහැ. "

"තොප නිතර ම මා මඟහැර යන්නට උත්සාහ කරන්නේ ඇයි ?"

"පසුගිය සති කිහිපයක කාලය පුරා ම මම විවේකයක් නො ගෙන ම කටයුතු කළේ මට පැවරුණු රාජකාරි කටයුතු අවසන් කරන්න යි. තව දින දෙකකින් පමණ එම වාර්තාව රජතුමාට භාර දීමට සිතාගෙන සිටිනවා."

"එය රජතුමාට දෙන්නට පෙර මට බලන්නට ඕනෑ."

"මහ සෙනෙවිතුමනි, එය රහසිගත වාර්තාවක් "

"මා දන්නවා. ඒ නිසා ම මට එය බැලිය යුතුයි"

"හොඳයි. මා එසේ කරන්නම්"

"තොප දින දෙකක් අනුරාධපුරයේ සිටි බව දැන ගන්නට ලැබුණා "

"දීඝාභය සෙනෙවිතුමාගේ කැඳවීමකට එහි ගියා."

"තොප පුෂ්පනාථ වෛද්‍යවරයා හමුවූයේ කුමකට ද?"

"මහ සෙනෙවිතුමනි, දින කිහිපයක සිට ඇති වී තිබෙන හිස ඇම්මක් නිසා එයට ප්‍රතිකාරයක් ලබා ගන්නටයි ගියේ"

"මට දීර්ඝ කාලයක සිට හිස ඇම්මක් තියෙනවා. මේ වෙදාට බැහැ එය සුව කරන්නට"

"ඔහු දුන් කල්කයකින් හා සුවඳ කුඩකින් මගේ හිස ඇම්ම සුව වී ගියා මහා ඇමතිතුමනි"

"සිරිනාග, තොප වැඩ කරන්නේ කාට වුවමනා හැටියට ද? තොප කවුරුන් කියා අමතක ද? තොප යන එන ගමන්, කරන වැඩකටයුතු මා දැන ගන්නට ඕනෑ."

"හොඳමයි, මහා සෙනෙවිතුමනි"

"මා දැන් වෙනත් හදිසි රාජකාරියකට යනවා. අද රාත්‍රියෙහි නොවරදවා ම මා හමුවන්නට ඕනෑ."

"හොඳමයි මහා සෙනෙවිතුමනි "

"මහා සෙනෙවි, තමන් සමග මහත් කෝපයෙන් පසුවන බව වටහාගත් සිරිනාග තුළ ඇතිවූයේ බියකි. නිවසට ගොස් මුහුණ කට සෝදාගත් ඔහු නිදියහනට වී බර කල්පනාවකට වැටුණේ ය.

මහා සෙනෙවි මන්දිරයට යනවා ද? නැද්ද? බොහෝ වේලා දෙගිඩියාවෙන් කල්පනා කරමින් සිටි සිරිනාග කුමක් වුවත් එහි යාමට තීරණය කළේ ය. ඔහු සන්ධ්‍යාවෙහි මුහුණ පෑ ගැටලුව ගැන ජයනාථ මහා සිටුතුමාට කීවේ ය. මිත්‍ර මහා සෙනෙවිගේ ඉල්ලීම ඉටු කරන්නට සිදු වන නිසා රාත්‍රියෙහි එහි ගොස් එන්නට සිදු වී ඇති බව පැවසුවේ ය.

"ඔව්, නොගියොත් ඔහු කේන්ති ගනීවි. පළිගන්නට හිතාවි. ඒ නිසා යන්න. ඉවසීමෙන් කතා බහ කරන්න. ඔහුට එකඟ වෙන්න . ඔහුගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ ගන්න." ජයනාථ සිටුතුමා උපදෙස් දුන්නේ ය.

ඔහු මහා සෙනෙවි මැදුරට යන විට මිත්‍ර සිටියේ ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙනි. නොඉවසිල්ලෙන් සිටි මිත්‍ර මහා සෙනෙවි ආලින්දයේ දී ම සිරිනාග පිළිගෙන තමන්ගේ නිල කුටියට කැඳවාගෙන ගියේ ය. ඔහුගේ කතාව පටන් ගත්තේ ය.

"සිරිනාග, තොපට ඉක්මනින් මුල අමතක වෙනවා. තාත්තාගේ සෙනෙහස නො ලබන විට, මෙහි කැඳවාගෙන විත් යුද ශිල්ප, භාෂා ශාස්ත්‍ර උගන්වා හොඳ පුහුණුවක් ලබා දී උප සෙනෙවියකු කළේ මම යි. "

මීට පෙර අවස්ථා කිහිපයක දී ම තමන් විසින් පිළිගන්නා ලද කරුණු නැවත නැවත සඳහන් කරමින් මොහු වෑයම් කරන්නේ තමා වහලකුගේ තත්ත්වයට පත් කර ගන්නට බව වැටහුණි. ඔහුගේ සිතෙහි හටගත්තේ කෝපයකි. එහෙත් ඔහු ඒ බවක් නො පෙන්වා කතා කළේ ය.

"ඇත්ත මහා සෙනෙවිතුමනි, මගේ පියාට වඩා මම ඔබ අගය කරනවා කරනවා. ඔබගේ අවවාද අනුශාසනාවලින් බැහැර ව කිසිවක් කිරීමේ අදහසක් මගේ නැහැ"

"තොප කියන්නේ බොරු. දැන් තොප බලාපොරොත්තු වෙන්නේ මගේ සතුරන්ගේ උපකාර. ඔවුන්ගේ ඇසුර." මිත්‍ර කතා කළේ ආවේගශීලී ව බව සිරිනාගට හැඟිණි.

"මහා සෙනෙවිතුමනි, ඔබතුමා යෝජනා කළ පරිදි ලැබුණු ඇතුළු නුවර ආරක්ෂක කටයුතු මේ සතිය තුළ පටන් ගන්නට මා අදහස් කරනවා."

"තොපට එම වගකීම පැවරෙන්නේ නැහැ. දීඝජන්තු තොප වෙනුවට එළාර රජතුමාගේ බෑණනුවන් කෙනකුට එම කාර්යය පවරන්නට තීරණය කරලා. රජතුමාත් එය අනුමත කරලා. තොප එම නිල නිවසට පැමිණියේ නැහැ. ඒ විතරක් නොවෙයි. තොප එම නිල නිවස තුණ්ඩිලට පවරන්නට කැමැත්ත පළ කරලා. මගේ විමසීමකින් තොරව තොප කළ එම කාර්යය ඉතාම නින්දිතයි. "

"තුණ්ඩිලට ඇතුළු නුවර ආරක්ෂාව පැවරෙන්නේ නම්, එම නිල නිවාසය ඔහුට හිමි විය යුතු බවයි මම කල්පනා කළේ. ඔවුන් මට වෙනත් තනතුරක් ලබා දෙයි. "

"තොපට තනතුරු පවරන්නෙත්, රාජකාරි නියම කරන්නෙත් වෙන කිසිවෙක් නොවෙයි. මම යි. මගේ නිර්දේශයන් පමණයි මහරජතුමා අනුමත කරන්නේ. "

"අනුරාධපුර රාජධානිය තුළ සිදු වූ කොල්ලකෑම් හා ඝාතන ගැන තොප ඉදිරිපත් කරන සමීක්ෂණ වාර්තාව රජතුමා වෙත ඉදිරිපත් කරන්නේ මමයි. "

"එහි වරදක් නැහැ සෙනෙවිතුමනි, ඉදිරි දින කිහිපය ඇතුළත එම වාර්තා දෙක ම ඔබතුමාට භාර දෙන්නට පුළුවන්. "

මිත්‍ර සෙනෙවිගේ ස්වරූපය සුහදශීලි නොවන බව සිරිනාගට සිතිණි. කුමක් හෝ දැඩි වරදක් අල්ලාගෙන ඔහු සූදානම් වන්නේ තමාගෙන් පළිගන්නට බව ඔහුට සිතිණි. දැන් ඔහුගේ සිත පවසන්නේ වහාම මේ මන්දිරයෙන් පැන ගැනීම සුදුසුයි යන්නයි.

මේ අවස්ථාවේ වාසනාවකට මෙන් පුණ්ණා පැමිණ පියා හමුවීමට අමුත්තකු පැමිණ ඇති බව කීවා ය. ඔහු කුටියෙන් බැහැරට ගියේ ය. සිරිනාග කල්පනාවට වැටුණේ ය.

මිත්‍ර සෙනෙවි කුටියට ඇතුළු විය. සිරිනාගගේ ඇස කිහිපවරක් ම ඔහුගේ කඩුව වෙත දිවීය.

"මට මොහොතකට එළියට යන්න සිදුවෙලා තිබෙනවා. තොප සමග කළ යුතු කතාබහ තවම ඉවර නැහැ. මා එනතුරු රැඳී සිටුව".

ඔහු තදබල අණක් ලෙස කියමින් පිටව ගියේ ය. සිරිනාග පත්වුණේ මහත් අපහසු තත්ත්වයකට ය. පුණ්ණා විසින් ගෙන එන ලද මී පැණි බඳුන එකවර හිස් කළ ඔහු ආලින්දයට පැමිණියේ ය. එතැනින් මිදුලට බැස උද්‍යානය වෙත ගොස් බංකුවක හිඳ ගත්තේ ය.

සිතන්නට බොහෝ දේ ඔහුට ඇත. ගැලවී යන්නට මඟක් සොයා ගත යුතු යැයි සිතේ. ඉදිරි අඩ හෝරාව කිසියම් භයානක අවස්ථාවකට තමා ගොදුරු වන බව ඔහුට නිසැක ය.

මිත්‍ර මහා සෙනෙවි, ගෝපුර ද්වාරයෙන් ඇතුළු වනු දුටු සිරිනාග වහා මන්දිරයට ගොස් මිත්‍රගේ නිල කුටියේ තමන් සිටි අසුනෙහි හිඳ ගත්තේ ය. මිත්‍ර සෙනෙවි තවමත් කෝපයෙන් පසුවන බවක් පෙනේ. ඔහු ළඟින් මත් පැන් ගඳක් ද වහනය විය. ඔහු යන්නට ඇත්තේ ඔහුගේ තානායමට බව සිරිනාගට සිතිණි. තම ඉණ රැඳී කඩුව කොපුවත් සමගම අසල වූ සෝපාව මතට විසි කළේ ය. එය සිරිනාගගේ උරහිස තුවාල කරමින් බිම ඇද වැටිණි. සිරිනාග එය අහුලා සෝපාව මත තැබීය.

"රාත්‍රී භෝජනය සුදානම්." පුණ්ණාගේ මව පැමිණ කීවා ය.

මිත්‍රගේ ඇස් කඩුව වෙත දිවෙනු සිරිනාගට දැක ගත හැකි විය. ඔහුට ජීවිතය පිළිබඳ බියක් ඇති විය.

"අපි රාත්‍රී භෝජනයෙන් පසුව කතා කරමු. සිරිනාගත් සමග ම මට එළියට යාමට උවමනාවක් තිබෙනවා"

මිත්‍ර සෙනෙවි නැගී සිටියා ය. ඒ සමග ම නැඟී සිටි සිරිනාග මිත්‍රගේ කඩුව කොපුවෙන් ගලවා ගත්තේ ය.

වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]