[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුකසේ විඳීය යුතු බලවත් කර්ම විපාක

දුකසේ විඳීය යුතු බලවත් කර්ම විපාක

"ස්වාමිනි, මම දැන් මිය‌ගොස් පනස් පස් අවුරුද්දක් වෙනවා. මේ තාක් මම කාපු කෑමක් හෝ බීපු බීමක් ගැන මට දැනීමක් නැහැ. අනේ ස්වාමිනි, මම ගොඩක් පිපාසයෙන් ඉන්නේ. මට පැන් ටිකක් ලබා දෙන සේක්වා!" යි ඉල්ලා සිටියා.

ප්‍රේත ආත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහි දී කරන ලද බලවත් අකුසල කර්ම හේතු කරගෙන යි. ඇතැම් විට ඉතාම බලවත් අකුසල කර්ම හේතුකොට ගෙන සමහරු නිරයේ බොහෝ කලක් පැසී එයින් චුත ව ප්‍රේත ලෝකයේ ඉපදේ. සමහර අය මිනිස් ලොවෙන් චුත වෙද්දී ම ප්‍රේත ලෝකයේ ඉපදේ.

ප්‍රේත ලෝකයේ ජීවත්වන ප්‍රේතයන්ට අපට මෙන් වෙන් වූ ලෝක නැත. ඒ ප්‍රේතයෝ පර්වත පා මුල, හිස් නිවාසවල, පාළු තැන්වල, සොහොන් පිටිවල ඕපපාතික ව ඉපදේ.

ප්‍රේත ලෝකයේ තොරතුරු අපට කියා දෙන්නේ ප්‍රේත වස්තු ග්‍රන්ථය තුළිනි. මිනිසා විසින් දූෂිත සිතින් යුතු ව සිත, කය, වචනයෙන් පව් කරන ලදුව එකී සා පිපාසයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු එයින් හෙළි වේ. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම්, සොටු, ලේ , සැරව ආදිය අනුභව කරමින් තම සා පිපාසා නිවා ගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුළු ය. එම තොරතුරු අසන විට මෙම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන් ම, පිළිකුළක් ඇතිවීම නිතැතින් ම සිදු වෙයි.

ප්‍රේත වස්තුවෙහි සඳහන් වන උත්තරමාතු ප්‍රේත වස්තුව මෙසේ යි.

ඒ කාලයේ රට පාලනය කළ උදේනි රජතුමාගේ එක්තරා ඇමතිවරයෙක් මිය ගියා. ඒ ඇමැතිවරයාගේ උත්තර නම් පුතා, රජතුමා විසින් ඇමැතිවරයා කළ තනතුරටම පත්කරනු ලැබුවා. උත්තර ඇමැති දිනක් නගරයේ ප්‍රතිසංස්කරණ කටයුත සඳහා අවශ්‍ය ලී සෙවීමට වනයට ගියා. ඔහු මහා කාශ්‍යප රහතන් වහන්සේ වැඩ සිටි කුටිය වෙත ගියා. උන්වහන්සේගේ සරල ජීවිතය දැක, ඉරියව්වලට පැහැදී උන්වහන්සේ සමඟ පිළිසඳර කතාබහ කළා. එවිට උන්වහන්‌සේ උත්තර ඇමැතිවරයාට ධර්මය දේශනා කළා. බණ අසා තුනුරුවන් කෙරෙහි පැහැදී

"ස්වාමිනි, මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට දින මාගේ නිවසේ දානයට භික්ෂූන් වහන්සේ සමඟ වඩින සේකවා!" යි ආරාධනා කර සිටියා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා. ඇමතිවරයා පසු දින කල්තබා ම ප්‍රණීත භෝජන පිළියෙළ කළා. මහා කශ්‍යප තෙරුන් වහන්සේ අනෙක් භික්ෂූන් වහන්සේ සමඟ වඩින පෙරමඟට ගියා. පාත්තරය ගෙන නිවසට කැඳවාගෙන විත් බොහෝ ගෞරවයෙන් පැණ වූ ආසන මත භික්ෂූන් වහන්සේ වැඩ හිඳුවා ප්‍රණීත ව සැකසූ දානය පූජා කළා. පසුව දොහොත් මුදුන් තබාගෙන අනුමෝදනා දේශනාව ශ්‍රවණය කළා. ස්වාමින් වහන්සේලාගේ පසුපසින් ම නුවර කොනට ගමන් කළා. එතැන නැවතී,

"ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ නිතර මගේ නිවසට දානය සඳහා වඩිනු මැනව" යි නැවත ද ආරාධනා කළා. උන්වහන්සේලා ඒ ආරාධනාව පිළිගත් බව දැනුන නිසා ඉතා සොම්නස් සිතින් නැවත නිවස වෙත පැමිණියා. ඔහු ආර්ය මහ සංඝ රත්නය කෙරෙහි ඉතාමත් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේලා ඇසුරු කළා. අවවාද ලබා ගෙන කටයුතු කළ නිසා නොබෝ කලකින් උත්තර තරුණයා සෝවාන් ඵලයට පත් වුණා. ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඔහු විහාරයක් ඉදිකළා. තමාගේ බොහෝ නෑයන් තුනුරුවන් කෙරෙහි පහදවා ශ්‍රද්ධාව ඇති කළා.

එහෙත් මේ තරුණයාගේ මව ඉතාමත් ම මසුරු යි. අකීකරු යි. තුනුරුවන් කෙරෙහි කිසිදු ශ්‍රද්ධාවක් නැති අහංකාර ස්ත්‍රියක්. ඇය තම පුතා කරන පින්කම්වලට විරුද්ධ වුණා. ඒවාට දොස් නැගුවා. සාප කළා.

දිනක් ඇය බොහෝ සේ කිපුණා. ඇය තම පුතාට මෙසේ කියා සිටියා,

"ඔබ මේ මුඬු මහණුන්ට දානය දෙන්නේ මාගේ කැමැත්ත නො විමසා යි. මේ දේට මම අකැමැති යි. නුඹ මේ දෙන ආහාරපාන පරලොව දී ලේ බවට පත්වේවා!" යි සාප කළා. එහෙත් විහාරය සාදා පූජා කළ දිනයේ දී උත්තරගේ මව ඒ පිළිබඳ පහන් සිතක් ඇති කරගෙන මොණර පිල් කළඹක් පිදුවා.

කාලකට පසු ඇය මියගොස් ප්‍රේත ලෝකයේ භයානක පෙනුමක් ඇති ප්‍රේතියක් ලෙස ඕපපාතිකව උපත ලැබුවා.

භාවනාවෙන් කාලය ගත කරන්නට ගං තෙරට වැඩි එක් තෙරුන් වහන්සේ නමක් වෙත මේ ප්‍රේතිය ආවා. ඇගේ කොණ්ඩය බොහෝ දිගුයි. බිම ඇතිල්ලෙනවා. කෙස්වලින් තමා ඒ ප්‍රේතිය ඇඟ වසාගෙන ඉන්නේ. ඇය මෙස් කියා සිටියා.

"ස්වාමිනි, මම දැන් මිය‌ගොස් පනස් පස් අවුරුද්දක් වෙනවා. මේ තාක් මම කාපු කෑමක් හෝ බීපු බීමක් ගැන මට දැනීමක් නැහැ. අනේ ස්වාමිනි, මම ගොඩක් පිපාසයෙන් ඉන්නේ. මට පැන් ටිකක් ලබා දෙන සේක්වා!" යි ඉල්ලා සිටියා.

"මේ තිබෙන්නේ සීතල දිය දහර ඇති ගංගා නදිය නෙව. හිමාල කන්දේ සිටයි මේ ගඟ ගලන්නේ. මේ ගඟෙන් පැන් අරගෙන පානය කරන්න. මගෙන් පැන් ඉල්ලා සිටින්නේ ඇයි?"

"අනේ ස්වාමිනි, මම පැන් ටිකක් බොන්නට ඕනෑ කියල ගඟට යනවා. එහෙත් ඒ වතුර ලේ බවට හැරෙනවා. මම ඒ නිසයි පැන් ටිකක් ඉල්ලුවේ."

"ඔබ කයෙන්, වචනයෙන්, මනසින් මොනවගේ පාපයක් ද කර ගත්තේ. ගංගාවේ ජලය ලේ බවට හරවන්නට තරම් විපාකයක් හැදුනේ කිනම් කර්මයක් නිසා ද?"

"මට හිටියා උත්තර කියා පුතෙක්. හරිම ශ්‍රද්ධාවන්ත යි. තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. ඔහු මම අකමැති වෙලා සිටිද්දී ම ශ්‍රමණයන් වහන්සේලාට දන් දුන්නා. සිවුරු, පිණ්ඩපාතය, සේනාසන, ගිලන්පස දුන්නා. මසුරුකමින් පෙළුණ මා ඔහුට නින්දා අපහාස කළා. දෙස් තිබ්බා. උඹ මම අකමැති ව සිටිද්දී ම නේද මෙසේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස දෙන්නේ. ඒයි උත්තර නුඹට පරලොව දී මේවා සියල්ල ම ලේ බවට පත්වේවා!" කියා සාප කළා. ඒ කර්ම විපාකය නිසයි ගංගා ජලය මට ලේ බවට පත්වන්නේ.

ප්‍රේතිය කෙරෙහි අනුකම්පාව උපදවා ගත් තෙරුන් වහන්සේ ඇයට පින් පිණිස භික්ෂූන් වහන්සේලාට පැන් පූජා කළා. පිඬුසිඟා වැඩ දානය පූජා කළා. සිවුරු, බෙහෙත් පූජා කළා. ඒ විපාක වශයෙන් ඒ ප්‍රේතියට දිව්‍ය සැප ලැබුණා. ඇය ඒ සියලු දේ තෙරුන් වහන්සේ ඉදිරියට පැමිණ කියා සිටියා.

තෙරුන් වහන්සේ විසින් ඒ පුවත මහා සංඝ රත්නයට වදාළා. එය ඇසූ බොහෝ දෙනා මසුරු මල දුරු කොට දස කුසල්හි යෙදී ධර්මයෙහි හැසිරුණා.

වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]