[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතෘ භූමිය ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨ නායකයාට කෘතගුණ දැක්වූවා මිස මා කිසි විටෙකත් දේශපාලනය කළේ නැහැ

මාතෘ භූමිය ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨ නායකයාට කෘතගුණ දැක්වූවා මිස මා කිසි විටෙකත් දේශපාලනය කළේ නැහැ

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවො යන නාමය මේ රටේ බාල, මහලු, ගිහි, පැවිදි නොදන්නා කෙනෙක් නැති තරම්. හැම කෙනෙක් ම වාගේ ඔබ වහන්සේ දන්නවා, හඳුනනවා. මේ වගේ උදාර පැවිදි ජීවිතයක් වශයෙන් ප්‍රචළිත වීමට ඔබ වහන්සේ ගේ පැවිදි ජීවිතයේ ආරම්භය සිදුවුණේ කොහොමද ? අපේ නායක හාමුදුරුවනේ

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මුරුත්තෙට්ටුව කියන බොහොම ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ගැමි පරිසරයක ජන්ම ලාභය ලැබුවා. මගේ පියා ජීවනෝපාය වශයෙන් කෘෂි කර්මාන්තය කරගෙන ගියා. ඔහු දරුවන්ට බොහොම ආදරය කරුණාව දැක්වූවා වගේ ම ඉතාමත් ආදර්ශවත් පීතෘත්වයකින් යුතු චරිතයක් වුණා. මගේ පියාණන් වහන්සේ වගේ ම, මෑණියන් වහන්සේත් බොහොම ශ්‍රද්ධාවන්ත ගුණගරුක මව්පිය දෙපළක්. අපේ පවුල සහෝදර සහෝදරියන් හතර දෙනකුගෙන් සමන්විතයි. මම කුඩා කාලයේ දී මුරුත්තෙට්ටුව යෝගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තා. එම කාල පරිච්ඡේදයේ දී ම 1954 වර්ෂයේ දී පත්බේරියේ ධම්මාලෝක නායක මා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කිරුළපන පූර්වාරාම විහාරස්ථානයේ දී මුරුත්තෙට්ටුවේ ආනන්ද යන ශාසනික නාමයෙන් උතුම් ප්‍රවෘජ්‍යා භාවයට පත්වුණා. අනතුරුව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ නේවාසික ව වැඩ සිටිමින් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන තුළින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබුවා. එම කාල වකවානුවේ දී ම 1958 වර්ෂයේ දී කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරන්දර මොල්ලිගොඩ අරියවංශ මහානායක මා හිමිපාණන් වහන්සේගේ හා පත්බේරියේ ධම්මාලෝක නායක හිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභා සීමා මාලකයේ දී උතුම් වූ උපසම්පදා පුණ්‍යකර්මය සිදු වූ බව පුණ්‍යාණුමෝදනා පූර්වක ව සිහිපත් කළ යුතුයි. එවකට වැඩසිටි මහා පඬිවරුන්ගේ ඇසුර ලැබීමෙන් පැවිදි ජීවිතයට විශාල ආලෝකයක්, ශක්තියක් ලැබුණ බවත් කෘතවේදී ව මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.

ඒ වගේ ම කුඩා කාලයේ සිටම සමාජය වෙනුවෙන් උදව් උපකාර කිරීමට කැපවුණ ස්භාවයක් මා සතු ව පැවතුණා. ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය අවසන් වීමත් සමඟ සමාජ සේවා කටයුතු සඳහා දායක වුණා. ගරාවැටෙමින් තිබුණ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය සැදැහැවතුන් ගේ උදව් උපකාර ලබා ගෙන ප්‍රතිසංස්කරණය කරමින් පූජනීය වන්දනීය විහාරස්ථානයක් බවට පත්කිරීමට ඒ කාලයේ සිටම කටයුතු කළා.

ඔබ වහන්සේ හෙද සංගමයේ සභාපති ධූරයට පත්වීම පිළිබඳ එදත් අදත් විවාදාපන්න මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධ ඉතිහාසය පැහැදිලි කරන්න අපේ හාමුදුරුවනේ,

එක්දහස් නවසිය හැට ගණන්වල මම‌ අසනීප ව රෝහල්ගත වුණ අවස්ථාවක හෙද නිලධාරීන්ට උදාවෙලා තිබුණ දුක්ඛිත තත්ත්වය තේරුම් ගත්තා. හෙද සේවකයන් වහලුන් බවට පත්වෙලා තිබුණා. ඔවුන්ට දවසේ පැය විසි හතර ම සේවය කළ යුතු ස්වභාවයක් පැවතුණේ. පැය 12 ක දවල් සේවයත්, පැය 12 ක රාත්‍රී සේවයත් තිබුණා. මගේ නායකත්වයෙන් බිහි කළ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ පුරෝගාමිත්වයෙන් එම සියල්ල වෙනස් කරමින් හෙද සේවය රටේ පිළිගන්නා ගෞරවනීය සේවයක් බවට පත්කිරීමට කටයුතු කළා. ඒ තුළින් ඔවුන් වරප්‍රසාද ලබන පිරිසක් බවට පත්වුණා. එදා සිට වර්තමානය දක්වා ම එහි ක්‍රියාකාරී ව කටයුතු කරගෙන යනවා. එපමණක් නොවෙයි මහා කරදර කලබල පැවතුණ කාලවකවානුවල වෛද්‍ය විද්‍යාලය තුළ ඇතිවුණ දුක්ඛදායක තත්ත්වයන් සමනය කිරීමට නායකත්වය ලබා දුන්නා.

මේ රටේ ජාතික ,ශාසනික , ආගමික, දේශපාලනික , ක්‍රියාදාමයන්ට පුරෝගාමිත්වය ලබාදුන් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කළ ඔබ වහන්සේගේ එම සේවාව පිළිබඳ ව සඳහන් කරනවා නම්, නායක හාමුදුරුවනේ,

සුනාමිය,මහා ජල ගැලීම්, ත්‍රස්තවාදී විපත් ආදී වශයෙන් මේ රට ජාතික ව්‍යසනයකට මුහුණ දුන් සෑම අවස්ථාවක දී ම පෙරමුණ ගෙන එයට නායකත්වය ලබාදෙමින් කටයුතු කළා. ශාසනික වශයෙන් ගරාවැටෙමින් තිබුණ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය කොළඹ නගරයේ ප්‍රධාන විහාරස්ථානයක් බවට පත් කළා. දහම් පාසල් ආරම්භ කරමින් දරුවන් ගේ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමටත්, උදව් උපකාර අවශ්‍ය පාසල් දරුවන් වෙනුවෙන් පොත්පත් අධ්‍යාපන උපකරණ බෙදා දෙමින් ,කැපකරු දායකත්වය ලබා දෙමින් ඔවුන් අධ්‍යාපනික වශයෙන් දිරිමත් කළා. ඒ වගේ ම දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරමින්, විශාල සහන ලබාදීම අප්‍රකට ව සිදුකළා මිසක් කිසිවක් ප්‍රසිද්ධියේ සිදුකළේ නැහැ. ජාතික ආගමික ශාසනික සමාජීය කටයුතු සිදු කරන්නට යෙදුණේත් අප්‍රකට ව යි. පසුකාලීන ව ප්‍රසිද්ධියට පත් වුණා.

මම කිසිම අවස්ථාවක කිසිදු රජයකින් පෞද්ගලික උදව් උපකාර ලබා ගෙන නැහැ. සෑම අවස්ථාවක දී ම අපේ කාලය, ධනය , ශ්‍රමය වැය කරමින් ජාතික වගකීම් ඉෂ්ට කළා පමණයි. එදත්, අදත් හෙටත් ඒ ආකාරයෙන් ම කටයුතු කරනවා මිස වෙනසක් වෙන්නේ නැහැ .

ඒ වගේ ම 1956 වර්ෂයේ දී මේ රටේ ඇතිවුණ මහා විප්ලවය ජයග්‍රහණය කිරීම සඳහා හේන්පිටගෙදර ඤාණසීහ නායක හිමියන්, බද්දේගම විමලවංශ නායක හිමියන්, කොටගම වාචිස්සර නායක හිමියන් ආදී ගෞරවනීය මහා සංඝරත්නය සමඟ එක්ව උන්වහන්සේලාට සහයෝගය සඳහා සෑම අවස්ථාවක දී ම සංවිධාන ශක්තිය ලබා දීමට කැපවීමෙන් කටයුතු කළා. ජනතාවට දුකක් විපතක් වුණ සැම අවස්ථාවක දී ම කටයුතු කළා පමණක් නොවෙයි, 1986 වර්ෂයේ දී මහා වැඩ වර්ජනය තිබුණ අවස්ථාවේ දී ත් අභයාරාම විහාරස්ථානය මූලික කරගෙන ඔවුන්ට සහනයක් වීමට දායක වුණා.

ඒ වගේ ම දෙමළ ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය මර බියෙන් වෙළාගෙන බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින්, ගරුතර මහා සංඝරත්නය ඝාතනය කරමින්, අහිංසක පුරවැසියන් විනාශ කරමින් පැවතුණ කාල වකවානුවේ දී ත් පවුල් 1500ක අසරණ ජනතාවක් වසර 2ක කාලයක් විහාරස්ථානය තුළ රඳවාගෙන ඔවුන්ට ආහාර පාන ලබා දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමට වග බලා ගත්තා පමණක් නොවෙයි, මව්පියන් නැති දරුවන් වෙනුවෙන් ශිල්ප ආයතනය නමින් සමාජ සේවා ආයතනයක් බිහිකරමින් එම දරුවන් සඳහා රැකවරණය හා අධ්‍යාපන පහසුකම් ලබා දුන්නා. ඒ තුළින් වෛද්‍යවරුන් පවා බිහිවෙලා තිබෙනවා. දිළිදු ජනතාව වෙනුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් ලබා දීමටත්, සුනාමිය නිසා පීඩාවට පත් ව සිටි ජනතාව වෙනුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර දීමටත් කටයුතු කළා.

මහා සංඝරත්නය,බෞද්ධ සිද්ධස්ථාන, අහිංසක පුරවැසියන් විනාශ කරමින් දෙමළ ත්‍රස්තවාදීන් මේ රට මහා විපතකට ඇද දැමුවා. ත්‍රාසයෙන්, මර බියෙන් ගිනි ගනිමින් වසර 30 ක් පුරා පැවතුණ යුද්ධය අවසන් කරමින් මේ රටට නිදහසක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යි. මේ රටට නිදහස ලබා දුන් ශ්‍රේෂ්ඨ නායකයකු වශයෙන් එතුමාට කෘතගුණ සැලකීමක් කළ යුතුයි. අපේ බොහෝ අකෘතඥ මිනිසුන්ට යුද්ධය පැවතුණ ඒ කාල පරිච්ඡේදය මතක නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ගෙන මුලින් ම කියා දුන් පාඩම වුණේත් කෘතගුණ සැලකීමයි. එම නිසා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය මූලික කරගෙන දෙමළ ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨ නායකයකු වුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කෘතගුණ සැලකුවා මිස මා කිසිවිටෙකත් දේශපාලනයක් සිදු කළේ නැහැ.

ඒ වගේ ම බොහෝ අවස්ථාවල දී මා විසින් සිදු කරන්නට යෙදුණ ජාතික, ආගමික, ශාසනික, සේවය ඇගයීමට ලක්වුණා. කොරියාව ,ඉන්දියාව යන රටවලින් පිරිනමන ලද ආචාර්ය ගෞරව උපාධියෙන් පිදුම් ලැබුවා වගේ ම මැලේසියාවේ විශ්ව විද්‍යාලයකින් සම්මාන ආචාර්ය උපාධියක් ලබා දීමට කටයුතු කළා. විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශ්‍රී සුමංගල විද්‍යාවතංශ ගෞරව නාමය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ජන හිත ශාසන රත්න විභූෂණ ගෞරව නාමය, බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ජාලයෙන් ප්‍රශස්ත සේවා ඇගයීම් ප්‍රණාම උපහාර, කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ශාසන කීර්තී ශ්‍රී ධම්මාලෝක ගෞරව නාමය ආදී වශයෙන් මා විසින් සිදු කළ සේවය විශාල ලෙස ගෞරවාදරයට පාත්‍ර වුණා.

නිකිණි අමාවක

  සැප්තැම්බර් 06 සඳුදා පූ.භා 07.38 අමාවක ලබා 07 අඟහරුවාදා පූ.භා 06.21 ගෙවේ සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]