[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුහදශීලී ජීවිතයකට කයින් සිදුවන වරදින් වැළකීම

සුහදශීලී ජීවිතයකට කයින් සිදුවන වරදින් වැළකීම

ඇසළ පුර පසළොස්වක පොහෝ දා බරණැස ඉසිපතනයේ දී බුදුරජාණන් වහන්සේ විසින් පස්වග භික්ෂූන් වහන්සේලාට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළහ. එහි ආරම්භයේ දැක්වෙන්නේ පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙක වන කාමසුඛල්ලිකානු යෝගය හා අත්තකිලමථානු යෝගය ගැනයි.

ඒ අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය මාර්ගය අවබෝධ කරන ලද බව ද එහි දැක්වෙයි. එය ඇතුළත් වන්නේ චතුරාර්ය සත්‍යයේ ය. චතුරාර්ය සත්‍යය බුදු දහමේ මූලික ඉගැන්වීමකි.

දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය යනුවෙන් චතුරාර්ය සත්‍යය නම් කොට තිබේ.

බුදු පසේ බුදු මහරහත් යන ආර්යයන් වහන්සේලා අවබෝධ කරගත් නිසාත් කිසි කලෙක බොරු නොවන නිසාත්, කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි නිසාත්, උතුම් සත්‍ය වන නිසාත්, අවබෝධ කිරීමෙන් සෝවාන් ආදී තත්ත්වයට පැමිණෙන නිසාත් මෙම කරුණු සතර සත්‍යය නමින් හැඳින් වෙයි.

ඉපදීමේ පටන් අත්විඳින සියල්ල දුක සේ දැනගෙන ඒ දුක ඇතිවීමට හේතු වන තෘෂ්ණාව නැති කොට නිවන අවබෝධ කිරීමට උපදෙස් දුන් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා වූ මාර්ගය ද පෙන්වා දුන්හ. එය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යි. මෙය ජීවත්වීම සඳහා වැදගත් මඟ පෙන්වීමක් ලබා දෙන ප්‍රතිපදාවකි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් ද එය හඳුන්වයි. බුදු සසුනෙහි හැර වෙනත් කිසිදු සසුනක මෙබඳු මඟක් දක්නට නැත.

මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇති කරුණු අටෙන් සිව්වැනි අංගය සම්මා කම්මන්තය යි. අනුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට අනුගමනය කළ යුතු දේ එහි දැක්වෙයි. එහි අර්ථය යහපත් කටයුතු යනු යි.

සංයුත්ත නිකාය මග්ග සංයුත්තයෙහි විභංග සූත්‍රයෙහි විවරණය වී ඇති පරිදි පර පණ නැසීම සොරකම, අබ්‍රහ්මචර්යාව යන තුනෙන් වැළකී කටයුතු කිරීම සම්මා කම්මන්ත නම් වේ.

එනම් කයින් සිදුවන වැරැදිවලින් වැළකීම යි. එහෙයින් සම්මා කම්මන්තය යනු කාය සංවරය යි. කාය සංවරය සීලයෙහි මූලික පැතිකඩකි. යහපත් ලෙස කාය, වාක් ක්‍රියාවන් පැවැත්වීම සීලය සේ අර්ථකථනය වී ඇත්තේ එහෙයිනි. ඒ අනුව සීලය සපුරාලීමට කායිකව සම්පූර්ණ විය යුතු කරුණු සම්මා කම්මන්තය යටතට අයත් වෙයි. ඉහත කී පරිදි ඊට කරුණු තුනක් අයත් වේ.

පණ ඇති සතුන්ගේ දිවි තොර කිරීම හෝ කරවීම, ප්‍රාණඝාත නම් වේ. සම්මා කම්මන්තයට අයත් අංගයක් ලෙස ප්‍රාණඝාතයෙන් වැළකීම අර්ථකථනය කළ යුත්තේ එයින් කෙනකුට ලැබෙන දේ සලකා බැලීමෙනි.

සතුන් මැරීමෙන් වැළකෙන පුද්ගලයා තුළ මතුවන ගුණධර්ම කිහිපයකි. කරුණා, මෛත්‍රී, ලජ්ජා, දයා අනුකම්පා ආදිය ඊට අයත් ය. එය සියලු සත්ත්වයන් කෙරෙහි වන හිතවත් බව හා අනුකම්පාව ලෙස සූත්‍රවල දැක්වේ. ඒ අනුව සම්මා කම්මන්තයේ එක් පැතිකඩක් වන්නේ මෙත්තාව හා කරුණාව වර්ධනය කිරීමයි.

සාමයෙහි මූලිකාංග වන ඒවා සතර බ්‍රහ්ම විහරණවල පළමු හා දෙවන තැන් නියෝජනය කරයි. එහෙයින් එක් අතකින් ප්‍රාණඝාතයෙන් වැළැක්ම යනු බ්‍රහ්මවිහරණ දෙකකින් යුක්ත වීම යි.

තමන්ට නොදෙන ලද දෙය සොර සිතින් ගැනීම අදින්නාදානය හෙවත් සොරකමයි. තමන්ට අයත් නැති දේ පැහැර ගැනීම, වංචා කිරීම, මංකොල්ලකෑම, අයථා ලෙස ලබා ගැනීම හා අනුන් රවටා අයත් කර ගැනීම ද සොරකමට ම වැටෙයි.

තෘෂ්ණාව, අලසකම, ක්‍රෝධය හෝ වෛරය ඊට පදනම් සලසයි. සොරකමෙන් වැළකෙන්නා සමීප කර ගන්නා ගුණාංග දානය හෙවත් පරිත්‍යාගය හා සම්බන්ධ වේ. ඒ තුළ ක්‍රියාත්මක වන්නේ නොසොර වූ පිරිසුදු චින්තනයකි. සොරකමෙන් වැළකී පරිත්‍යාගය හුරු කිරීම සම්මා කම්මන්තය සේ සැලකීම වඩා සුදුසු ය.

එක් අතකින් දානය පාරමිතාවකි. එය සම්පූර්ණ කිරීමෙන් නිවන අවබෝධ කළ හැකි ය. අනෙක් අතින් දානය හෙවත් පරිත්‍යාගය වැදගත් සමාජ ධර්මයකි. පිරිසක් හා සමඟ එකට කටයුතු කිරීමේ දී ඔවුනොවුන් අතර බැඳීම වර්ධනය වීමට පරිත්‍යාගය බලපායි. පරිත්‍යාගශීලී පුද්ගලයා මිනිස් නොමිනිස් සැම පි‍්‍රය වේ.

ඔහුගේ ඇසුරට බොහෝ දෙනා එකතු වේ. ඔහුගේ කීර්තිය ද බොහෝ තැන පැතිරී යයි. පිරිස අතර ඔහු විශ්වාසවන්තයකු වෙයි. මෙම අන්‍යොන්‍ය බැඳීම සමාජ ප්‍රගමනයට වඩාත් වැදගත් වෙයි.

සම්මා කම්මන්තය සම්පූර්ණ වීමට අවශ්‍ය තෙවැනි අංග අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම යි. එනම් බ්‍රහ්මචාරීවීම යි. බොහෝ දෙනෙක් මෙය කාම මිථ්‍යාචාරයෙන් වැළකීම සේ විවරණය කළ ද, ඉහත කී සංයුත්ත නිකාය විභංග සූත්‍රයට අනුව බ්‍රහ්මචර්යාවෙන් වැළකීම ම සම්මා කම්මන්තයට අදාළ වේ.

අර්ථ දහයකින් බ්‍රහ්මචරිය ශබ්දය විස්තර කරන අටුවාව පස්වන හා සවන අර්ථ සේ දක්වා ඇත්තේ මෛථුන විරතිය එනම් වැළකීම හා ස්වදාර සන්තුෂ්ටිය යි.

මෙහි මෛථුන විරතිය යනු අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම යි. එනම් ලිංගික හැසිරීමෙන් ඉවත්වීම යි. ස්වදාර සන්තුෂ්ටිය යනු කාම මිථ්‍යාචාරයෙන් වැළකීම යි. එනම් ස්වාමියා භාර්යාව නො ඉක්මවීම හා භාර්යාව ස්වාමියා නො ඉක්මවීම යි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි සඳහන් පරිදි මෛථුනය ග්‍රාම්‍ය ධර්මයකි. අටුවාව අසත් ධර්මයක් සේ එයම විස්තර කරයි. මෛථුනයෙන් සපුරා ඉවත් වී එනම් බ්‍රහ්මචාරීවීමෙන් මාර්ගාංගයක් සේ සම්මා කම්මන්තය සම්පූර්ණ කර නිර්වාණාවබෝධයට පත් විය හැකි ය.

පර පුරුෂ හා පර ස්ත්‍රී සේවනයෙන් ඉවත්වීම සම්මා කම්මන්තයේ සමාජීය අර්ථය යි. එය සුචරිතවත් සමාජයක් ගොඩනැඟීමේ පදනම යි. වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ බහුලව දක්නට ලැබෙන ස්ත්‍රී හා ළමා දූෂණ අපචාරවල මෙන්ම ඝාතනවල ද පදනම වී ඇත්තේ සම්මා කම්මන්තයේ මෙම පැතිකඩ පුද්ගල ජීවිතවල තහවුරු වී නොතිබීම යි.

පසුගිය කාලයේ තුළ සිදු වූ බොහෝ මනුෂ්‍යය ඝාතන සිදු වී ඇත්තේ අයථා කාම සේවනයේ අනිටු විපාක වශයෙනි. මෙම අයථා කාම සේවනය සඳහා පුද්ගල මනස සකස් කිරීමෙහි ලා බොහෝ රූපවාහිනී නාලිකා යම් දායකත්වයක් සපයන බව අපගේ අදහසයි. මිනිස් මනස තුළ සංවර්ධනය කළ යුතු වැදගත් ගුණධර්ම වෙනුවට නොමිනිස් ගති වර්ධනය කිරීමෙහි ලා කටයුතු කිරීම අතිශය ඛේදජනක ය.

සම්මා කම්මන්තයේ පැතිකඩ දෙකක් ඇති බව දත යුතු ය. ඉන් පළමු වැන්න නිර්වාණාවබෝධයට අවශ්‍ය කුසල නිෂ්පාදනය කිරීමට පුද්ගලයා යොමු කිරීම යි. කය මූලික කරගත් කුසල සම්පාදනය සඳහා සම්මා කම්මන්තය ප්‍රගුණ කළ යුතු වේ.

ප්‍රාණ ඝාතයෙන් වැළකීමෙන් කරුණාව හා මෛත්‍රීය ප්‍රගුණ කෙරෙයි.

සොරකමෙන් වැළකී පරිත්‍යාගශීලීවීමෙන් තෘෂ්ණාව තුනී කෙරෙයි.

බ්‍රහ්මචර්යාවෙන් රාග සමනයට මඟ පාදයි. සාමකාමී හා සුචරිතවත් සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීම සම්මා කම්මන්තයේ දෙවැනි පැතිකඩ යි.

මිනිස් නොමිනිස් සැම දෙනා කෙරෙහි කරුණා, මෛත්‍රී, දයා, අනුකම්පා සහගත සිතිවිලි පතුරුවන ඔවුනොවුන් ගරු කරන අන්‍යොන්‍ය සුහදත්වයෙන් සැම දෙනා පිළිබඳ විශ්වසනීයත්වයෙන් ක්‍රියාකරන සුචරිතවත් සමගි සම්පන්න මිනිසුන් සහිත සමාජයක් ගොඩනංවා ගැනීමට සම්මා කම්මන්තය වඩාත් ඉවහල් වෙයි.

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]