[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

සම්භාව්‍ය අධ්‍යාපනයේ පිරිවෙන් භූමිකාව

ගිහි පැවිදි ශිෂ්‍ය දෙ පිරිසම පිරිවෙන්වල ඉගෙනුම ලබති. විද්‍යායතන පිරිවෙන්වල පාසල් විෂය මාලාව ක්‍රියාත්මක වේ. මූලික සහ මහ පිරිවෙන් ආශි‍්‍රතව අපේ ප්‍රාචීන අධ්‍යාපනය සුරක්ෂිත කොට ශාසනානුලෝමී භික්ෂු ශිෂ්‍ය පිරිසක් ශාසනයට දායාද කිරීම මූලික අභිප්‍රාය වේ.

ජාතික අධ්‍යාපනයේ විශිෂ්ට ආරම්භක පියවර පිරිවෙන් අධ්‍යාපනය වෙයි. අනුරාධපුර යුගයේ දී ආරාම අධ්‍යාපනය ලෙස හැඳින් වූ මෙය මහා විහාර ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමට බිහි වූවකි. එහි ආරාමික අධ්‍යාපන ආයතනය අද ‘පිරිවෙන’ යනුවෙන් හැඳින් වේ. පිරිවෙන පෞරාණික අධ්‍යාපන ආයතනක් බව පැහැදිලි ය.

අපට පිරිවෙන පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුවන්නේ ක්‍රි.පූ. 03 සියවසේ සිදු වූ මහින්දාගමනය නිසාවෙනි. මිහිඳු මහරහතන් වහන්සේ ලක් දිවට වැඩම කරන විට පාලි ත්‍රිපිටකය සහ අට්ඨ කතා වැඩම කළහ. එම ධර්මය මුඛ පරම්පරා ගතව මෙන්ම ලේඛන වශයෙන්ද රැගෙන එන්නට ඇත.

අසෝක රාජ්‍ය සමය වන විට ඉන්දියාවේ බ්‍රාහ්මී අක්ෂර ක්‍රමය තිබුණි. අසෝක ප්‍රාකෘතයෙන් රචිත අසෝක සෙල්ලිපි එකල ප්‍රධාන මාධ්‍ය භාවිතයක් විය. මිහිඳු හිමියන් රැගෙන වැඩම කළ සම්බුදු දහම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම පිරිවෙන සතු යුතුකම විය. අද පවා පිරිවෙන බෞද්ධ අධ්‍යාපනය ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ගිහි පැවිදි ජනතාව අතර ප්‍රකට වී ඇත.

අනුරාධපුර මහා විහාරය එම යුගයේ ප්‍රධාන අධ්‍යාපන මූලායතනය වූ අතර පසුව අභයගිරිය ද අධ්‍යාපන ආයතනය ලෙස ප්‍රකට විය. දේවානම්පියතිස්ස රජ දවසේ ම අනුරාධපුරය ආශි‍්‍රතව පිරිවෙන් රැසක් බිහි වූ බව මහාවංස 15 පරිච්ඡේදයේ සඳහන් වේ. ඒවා අතර කාල පාසාද, සුන්හාත, දීඝ චංකමන, දීග සන්ද සේනාපතී පිරිවන් අග්‍රගණ්‍ය වේ.

ක්‍රි.පූ. 89 වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන තුරු ථෙරවාද ත්‍රිපිටක දහම වාචික මාර්ගයෙන් රැකගෙන ඒමට එකල සිටි මාර්ග ඵලලාභී භික්ෂූහු ක්‍රියා කළහ. මේ නිසා දීඝ භානක, මජ්ක්‍ධිම, භානක, ජාතක භානක ආදී අටළොස් භානක පරපුරක් ද මහා විහාරය ආශි‍්‍රතව බිහි විය. එකල පිරිවෙන් විෂය මාලාව ත්‍රිපිටක ධර්මය පදනම් වූවක් විය. එයට අමතරව ගණිත, නක්ෂත්‍ර, ආයුර්වේද ආදිය ද විය. මූලික වශයෙන් මාගදී පාලි භාෂාව අධ්‍යනය ප්‍රමුඛ විය. සිංහල භික්ෂූහු හෙළ බසින් ඉගැන්වූහ. මහා අටුවාව, කුරුන් දී අටුවාව සහ මහා පච්චරි අටුවාව නමින් හෙළටුවා තිබුණි. මිහිඳු හිමියන් රැගෙන පැමිණි පාලි අටුවා සිංහල භාෂාවට පෙරලුවෝ මහා විහාර භික්ෂුහු ය.

ක්‍රි.පූ. 05 සියවසේ ලක්දිවට වැඩම කළ අටුවාචාරී බුද්ධඝෝෂ මා හිමි මහ පඬිරුවනකි. පාලි භාෂාව ජාත්‍යන්තර භාෂාවක් බවට පත් කිරීමට පුරෝගාමී වූ උන්වහන්සේ සිංහල අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළහ. මෙම තත්ත්වය පොළොන්නරු, දඹදෙණි යුග දක්වා ම පැවතිණි, හෙළ බසින් තිබූ සියලු වංස කතා ජාත්‍යන්තර හෙවත් දීපංකරවාසීන්ගේ ප්‍රයෝජනය පිණිස යළි පාලියෙන් රචනා කරන ලදී. මේ නිසා මහා බෝධි වංස, තූප වංස, දාඨා වංස වැනි පාලි වංස කතා ග්‍රන්ථ බිහි විය. ත්‍රිපිටකය වන පොත් කළ තෙරවරු සිටියහ. අභිධර්මයට ප්‍රමුඛ තැනක් හිමි විය. බාලාවතාර, රූපසිද්ධි, මොග්ගල්ලාන වැනි පාලි ව්‍යාකරණ ග්‍රන්ථ, ඡන්දස් අලංකාර ග්‍රන්ථ ද, පොළොන්නරු යුගය වන විට බිහි විය.

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ම ලක්දිව ආරාමික භික්ෂුව පාරිවේණික සහ ජාතික අධ්‍යාපනයේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉෂ්ට කළහ. අභයගිරිය ආශි‍්‍රත ව පිරිවෙන් එකොළහක් තිබූ අතර ඒවායේ සංස්කෘත භාෂාව සමඟ මහායාන බුදු සමය ඉගැන්වීය. ක්‍රි.පූ. 03 සියවසේ සිට ඉන්දීය බ්‍රාහ්මී අක්ෂර රටා ලක්දිව ද භාවිත වූ බව ප්‍රාකෘත සිංහල යුගයේ සෙල්ලිපිවලින් සනාථ වේ. රිටිගල, ආඩියාකන්ද, ආනයික් කොට්ටකන්ද, තෝනිගල, කුඩුම්බිගල, රිටිගල සෙල් ලිපිවලින් ඒ බව සනාථ වේ. ලක්දිව සෙල්ලිපිවල දෙමළ වචන ද බහුල වශයෙන් පෙනෙන නිසා දමිළ භාෂාව ද ආරාමික අධ්‍යාපනය තුළ විෂයයක් වශයෙන් උගන්වන්නට ඇත. භාෂා එකසිය එකක් (ඒකසත වෝහාර) ඉගෙන ගත් භික්ෂුවක් ගැන විභංග අටුවාවේ සඳහන් වේ. එම භික්ෂුව බහුශ්‍රැත නමින් හැඳින්විය.

රාජ්‍ය අනුග්‍රහය ලැබ සෑම යුගකම පිරිවෙන් අධ්‍යාපනය දියුණු විය. අටුවා පමණක් නොව ටීකා ප්‍රකරණ වංස කතා ග්‍රන්ථ ද ගිහි - පැවිදි උගත්තු රචනා කළහ. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය ආදී ග්‍රන්ථ ද, මයුරපාද පිරිවෙන්පති හිමියෝ පූජාවලිය ද රචනා කළහ. භික්ෂූන් ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අෂ්ටමූල ආයතන නිසා ජාතික සහ සම්භාව්‍ය පිරිවෙන් අධ්‍යාපනයේ නවෝදයක් උදා විය.

මහනුවර යුගය තෙක් භික්ෂු අධ්‍යාපනය සහ ශාසනය රැකුණත් ක්‍රි.ව. 16 සිවයසේ උඩරට රාජධානිය තුළ වූ අකාර්යක්ෂම පරිපාලනය නිසා ශාසනය පරිහානියට පත් විය. සිල්වත් භික්ෂුවක් සොයා ගැනීමට පවා දුෂ්කර විය. බබළමින් තිබූ සංඝ සමාජය “ගණින්නාන්සේලා” ගේ ග්‍රහණයට යොමු විය. පාලි ගාථාවක් සරල අදහසට පරිවර්තනය කළ හැකි භික්ෂුවක් නොවීය. ශාසනය මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ද අන්ධකාරයේ නිමග්න විය. සෑම කළු වලාවක ම රිදී රේඛාවක් මතු වන්නා සේ ජාතියේ සහ ශානයේ පිනට පහළ වූ වැලිවිට සරණංකර හිමිපාණන් ඉතා දුෂ්කරතා මැද පාලි භාෂාව ධර්ම ශාස්ත්‍ර හදාළහ.

තමන් වටා පැවිදි කරගත් පිරිස සමඟ සිල්වත් සමාගම පිහිටවූහ. නියමකන්දේ පිරිවෙනක් පිහිටුවා ධර්ම ශබ්ද ශාස්ත්‍ර ඉගැන්වූහ. විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, විමලධර්මසූරිය වැනි රජ දරුවන්ගේ ආශිර්වාදය ලැබ ශාසනික පුනර්ජීවනය උදා කළහ. සියමයෙන් උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් ගෙන්වා උපසම්පදාව යළි අරඹා ශාසනික නවෝදය ජනිත කළහ. තමන් සංඝරාජවරයෙකු වී පරිහානිකරව තිබූ ශාසනය පුනර්ජීවනයට ලක් කළහ. ග්‍රන්ථ රචනා කළහ. සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස් රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන පිහිට විය. 1873 දී රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමියෝ විද්‍යාලංකාර මහ පිරිවෙන ආරම්භ කළහ.

එම පිරිවෙන් දෙක එදා මහා විහාරය හා සමාන විය. බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් මෙන් මහා පඬිවරුන්ගෙන් සෝභමාන විය. එම පිරිවෙන් දෙකෙහි සියම්, අමරපුර, රාමඤ්ඤ නිකායත්‍රයේ ම භික්ෂූන් ධර්මශබ්ද ශාස්ත්‍ර හදාරා අද වන විට, ශාඛා, ප්‍රශාඛා පිරිවෙන් 820 ක් බිහි කොට ඇත. මූලික පිරිවෙන්, ද්වීභාෂා සහ භික්ෂුණී පිරිවෙන්ද වේ. ගිහි පැවිදි ශිෂ්‍ය දෙ පිරිසම පිරිවෙන්වල ඉගෙනුම ලබති. විද්‍යායතන පිරිවෙන්වල පාසල් විෂය මාලාව ක්‍රියාත්මක වේ. මූලික සහ මහ පිරිවෙන් ආශි‍්‍රතව අපේ ප්‍රාචීන අධ්‍යාපනය සුරක්ෂිත කොට ශාසනානුලෝමී භික්ෂු ශිෂ්‍ය පිරිසක් ශාසනයට දායාද කිරීම මූලික අභිප්‍රාය වේ.

විද්‍යායතන පිරිවෙන් හැරුණු විට විද්‍යෝදය විද්‍යාලංකාර මහ පිරිවෙන් දෙකෙහි ප්‍රාචීන විෂය ධාරාවෝ හදාරණ භික්ෂූහු විශාල පිරිසක් ඉගෙනුම ලබති. ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදායට අනුගත වූ විශිෂ්ට පිරිවෙන් රාශියක් ද ඇත. සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය රැක ගත යුතු ය. එසේම පාලි, සංස්කෘත භාෂා, අටුවා, ටීකා, සන්න ගැටපද පරිකථා සහිත අපේ හෙළ සාහිත්‍යය, ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කිරීමට කැප වූ ආයතනය පිරිවෙන බව අමතක නොකළ යුතු ය. අපේ භික්ෂු සමාජය නූතන භාෂා, තාක්ෂණික විෂය, විදේශ භාෂා දැනුම ලබා ගත යුතු ය. ඒ අපේ උරුමය රැක ගැනීම වෙනුවෙනි.

සම්බුදු දහම පාලි සාහිත්‍ය ගැන අපරදිග පඬුවෝ අදටත් විවිධ පර්යේෂණ කරන බව ඔබ දන්නෙහි ද? ඒ අපේ උරුමය ඔවුන්ට නව සොයා ගැනීම් විෂයෙහි වටිනා නිසාවෙනි. සම්භාව්‍ය අධ්‍යාපනය තුළ පිරිවෙන් අධ්‍යාපනය අපේ ජාතික අධ්‍යාපනයේ අනන්‍ය වූ හර පද්ධතිය බව සිහිපත් කරමු.

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]