[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බත්මුල පිදීමේ විපාකය

බත්මුල පිදීමේ විපාකය

හෙළදිව එක් මිනිසෙක් බත් මුලක් බැඳගෙන ගමනක් ගියේ ය. අතර මගදී සාගින්නෙන් පෙළී දුර්වල වූ භික්ෂුන් නමක් දැක මට ආහාර නැතිව ගියත් මේ භික්ෂුවට දන් දෙමි සිතා ස්වාමිනි, ගසක් මුලට වඩින මැනවැයි කීය.

ඒ ඉල්ලීම මත ගසක් මුලට පැමිණි ඒ භික්ෂුවගේ පාත්‍රය ගෙන පැන් ගෙනවුත් සෝදා ආහාරය පාත්‍රයේ දමා දී සකසා වැන්දේ ය. තෙර නම වැළඳීය.හෙතෙම හවස ගමට යනු කැමැති වුවත් යා ගත නොහැකිව අතර මඟ නිදා ගත්තේ ය. එහි ඔහු අඳුනන කිසිවෙක් නොවීය. නෑයෝද නො වූ හ. එබැවින් බලවත් වේදනාවෙන් පෙළී මරණයට පත්ව මානවක ගමේ ඇමැති පවුලක පිළිසිඳ ගත්තේ ය.

එතැන් පටන් ඇමැති කුලයට අභිවෘද්ධියක් සිදු වූයේ ය. එහි උපන් හෙතෙම මහත් සත්කාරයෙන් වැඩුණි. ඒ ගෙය කරා එක් තෙර නමක් පැමිණේ.

ළදරුවා තෙරුන් කෙරෙහි දැඩි ප්‍රේමයක් ඇතිව ටික ටික බණ අසයි. පසුව පැවිදි වීමට සිතක් උපදවාගෙන මව්පියන්ගෙන් අවසර ලබා දොළොස් හැවිරිදි කල්හි පැවිදි විය. පැවිදි වී සත් දිනකින් රහත් විය. උන්වහන්සේගේ උපාධ්‍යාය තෙර නමත් රහත් නමකි. කල් ඇවෑමෙන් උන්වහන්සේ මහ තෙරනමක් විය. මලයවාසී මහා සංඝරක්ඛිත තෙරුන්ගේ ශිෂ්‍ය වූ තුන්සිය නමක් රහතන් වහන්සේ වූහ. ග්‍රාමවාසී සංඝරක්ඛිත තෙරුන්ට ද, අරියවිරියවාසී ධම්මගුප්ත තෙරුන්ට ද, සිතුල්පව්ව වැසි දීඝභානකඅභය තෙරුන්ට රහත් ශිෂ්‍යයෝ තුන්සීයය බැගින් වූහ. ඒ ඒ විහාරවල රැස් වූ ෂඩ්භිඥා ඇති ඒ තෙරවරුන්ට හෙට කො තැනක පිණිස යන්නෙමුදැයි විතර්කයක් උපදී.

සියලු දෙන දාන තෙරුන්ගේ පින විමසන්නෙමුයි කතාකොට ගෙන පසුදා මහ තෙර සතර නම පිරිවර භික්ෂූන් සමග මනා සේ හැඳ පොරවාගෙන අහසින් එතැනට ආහ. ඒ අවස්ථාවේ දාන තෙර චෛත්‍යයට නැගෙනහිර දෙස චිත්තමාලක නමැති මළුවේ උන්නේ. තෙරවරු දැක දවල් වූ කල්හි පැමිණියාහයි කියමින් කැඳ සපයන පන්සල ඉදිරියේ වූ මාලගස මුල සිටියේ ය.

සර්වාලංකාරයෙන් සැරසී සිටි දේවතාවා තෙරනම මේ ගස යට පැමිණියේ මා විමසීමට විය යුතු යැයි සිතීය. තෙර නම ඔහුගේ සිතිවිල්ල දැන පිරිවර සහිත තෙර සතර නම කැටිව ගං ඉවුරට පැමිණියේ ය. ඒ විහාරය පිහිටියේ ගං ඉවුරක ය.

නා රජ තෙරවරු වැඩියායි දැන සත්රුවන් මණ්ඩපයක් මවා නා නා විධ විසිතුරු මල්දම් එල්ලා නොයෙක් කැවිලි සහිත දානයක් පිරිනැමීය. සවස් වරුවේ හැමදෙනා වහන්සේ එක්ව මෙය කුමන කුසල කර්මයකගේ ඵලයදැයි ඇසූහ. දාන තෙර ‘බත්මුල දීම විපාක’ යැයි කීහ.

(ඉතා පැරැණි සිංහල බණ කතා ග්‍රන්ථයෙනි)

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]