[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සරෝජනීගේ ගීතය

ඉර හඳ පෑයුව නිලඹර
රන් තරු පෙළ දිලිහුනාට
හඳහාමී හිනැහුණාට
රෑන් රෑන් සමනලයෝ
ඉගිලුණාට ගුවන් ගැබේ
ඒ කිසිවක් මා දකින්නේ නෑ.
උණුසුම සීතල දැනේය
සියොතුත් ගී කන වැකේය
සැනසෙමි මඳ නල පවනින්
රැය දහවල දෙකම එකය
කිසි වෙනසක් නොදැනේ මට
මල්වර වයසේ පසුවන
යෞවනියකි මං
බෝපත් ලෙළදෙන සද්දේ
මගෙ දෙසවනටත් ඇද්දේ
ගණ්ඨා නාදය වෙහෙරේ
සවනත රැව් පිළිරැව් දේ
සැදැහබර හදින් නිතියෙන
සාධු කියන්නම්.....

****

බුදු සමිඳු

කරුණා දයා මෙත් මුදිතා ගුණ සමුදා
හැමුවා දෙරණ සිපගෙන පෙර දිනක එදා
තණ්හා රති රඟා මර දූවරු පරදා
මැවුවා දහම් පුරයක් බුදු හිමි වෙරදා

****

නිවනට මඟ

ගෙබිම මල් පලස් හා බුමුතුරුණු අතුරලා
අනගි නිමැවුම්වලින් නිවහනම සරසලා
කාසි මලු ඉසුරු සැප හැමතැනම ඉතිරිලා
කිමද? සිත්සතන් තුළ දැහැමිකම් ගිලිහිලා

ගතට රන් අභරණය ලොවම බබළන පිළිය
රස බොජුන් වළඳමින් නටන ගයනා සැටිය
මී විතෙන් මත් වෙලා ඇයිද, ඔය සැණකෙළිය
පුරවන්න යදින පොඩි මිහිහගේ හිස් තළිය

සූවිසි බුදුවරුන් වැඩ විසූ ලෝ තලේ
ඒ උතුම් දැහැමි ගුණ සත්වගට වදහළේ
පෙර පිනේ මහිමයෙන් දිනූ මිනිසත් කුලේ
දැහැමි කම් වඩනු මැන එයයි නිවනට බලේ

****

ලෝකය

හිරු එක පැත්තක
සඳු තව පැත්තක

එළිය එක පැත්තක
අඳුර තව පැත්තක

උපත මරණය
සෑම මොහොතෙම
සෑම පැත්තෙම

****

සුපහන් හැඟුම්

කෙනෙක් මනාලෙස මේ සදහම්
දකීද හේ දකිනව මා නම්
සමිඳුනි අප ඇසූ ඒ මනරම්
දෙසුමින් අප සිත් වේ සුපහන්

අරි අටෙඟ් පියවර ඔසවන්
දාන ශීල භාවනා කරන්
මැඳුම් පිළිවෙතෙහි අගය සොයන්
යා යුතු මඟ සමිඳුනි සුපහන්

****

කඳුළ

සැකි කුල උතුම් පරපුරකට උරුම වෙලා
පිබිදෙයි සොඳුරු දරු උපතක පැතුම වෙලා
ඒ සුන්දර දිනේ සොම්නස ඉවත හෙළා
හිමියනි ගියේ ගන්න ද බුදු පදවි නෙළා

සුමේධ ඉසිවර ව විවරණ ලබන විට
බැඳගත් සෙනේ මෙතුවක් දුර කඩ නොකොට
හිමියනි රැක ගතිමි ඔබ පිය සෙවන යට
අද මේ සොඳුරු දින ඉවසිය නොහැක මට

පා පියවිලි මතින් විඳ පසතුරු සද්දේ
පති කුලයට ආමි ගරු හරසර මැද්දේ
පෙර කළ මහ පිනෙනි මව් පදවිය ලද්දේ
එනමුදු අද තැවෙමි සෝ දුක් ගිනි මැද්දේ

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]