[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

ජඹුරේගොඩ ශ්‍රී සුමනතිස්ස නා හිමි

ධර්ම විනයට අනුගතව තම පැවිදි ජීවිතය සුසංවර කරගත් භික්ෂූන් වහන්සේලා සම්බුදු සසුන ශෝභාමත් කරන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙයට තෙමසකට පෙර අපවත් වී වදාළ ජඹුරේගොඩ ශ්‍රී සුමනතිස්ස නායක හිමිපාණන් වහන්සේ ද එවැනි මහායතිවරයන් වහන්සේ නමකි.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයට අයත් ගොවිතැනින් සශ්‍රීක වූ ජඹුරේගොඩ ගමේ දී 1939.01.25 දින ජඹුරේගොඩ ගමාච්චිගේ සුගතපාල නමින් ජන්ම ලාභය ලද මෙම පින්වත් කුල කුමරු එවකට හොරදුගොඩ ශ්‍රී සුමේධාරාමාධිපති ව වැඩ සිටි අක්මීමන මේධංකර නායක හිමිපාණන් වහන්සේගේ හා මාලිම්බඩ ජිනරතන හිමිපාණන් වහන්සේගේ ද ශිෂ්‍යයකු ලෙස ජඹුරේගොඩ සුමනතිස්ස නමින් 1950.09.27 දින ශාසනික ජීවිතයට ඇතුළත් විය.

පැවිදි ජීවිතයට අවශ්‍ය මූලික අධ්‍යාපනය සඳහා කනංකේ රජමහා විහාර පිරිවෙනට ඇතුළත් වූ සුමනතිස්ස සාමණේරයන් වහන්සේ රාජකීය පණ්ඩිත කනංකේ ශ්‍රී ඤාණාලෝක නා හිමිපාණන් වහන්සේගේ ඇසුරින් මූලික බණ දහම් හා භාෂා ශාස්ත්‍ර ඉගෙන 1963.05.23 දින මහනුවර මල්වතු මහා විහාරයේ දී අති උතුම් උපසම්පදා ශීලයට පත්වූහ. උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල මහමෝදර ශ්‍රී ගුණෝදය මහ පිරිවෙනට ඇතුළත්ව ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කොට විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද හිමි කර ගත්හ. මෙසේ උගත් තරුණ යතිවරයන් වහන්සේ නමක් ලෙස තම ගුරු දේවයන් වහන්සේලාගේ හා දායක දායිකාවන්ගේ ප්‍රසාදයට පත් වූ සුමනතිස්ස හිමියෝ මොරවක මහා විද්‍යාලය මඟින් ගුරු සේවයට පිවිස, ඉමදුව බටේමුල්ල ජාතික පාසල, දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලය ආදී විදුහල් කීපයකම දක්ෂ ගුරුවරයකු වශයෙන් කටයුතු කරමින් සුවහසක් දරු දැරියන්ගේ ගුණ නැණ වර්ධනය කළහ.

දේශීය වෛද්‍ය විද්‍යාවේ ද හසල දැනුමක් ලබාගෙන සිටි සුමනතිස්ස හිමියෝ එමඟින් ගිහි පැවිදි අපමණ පිරිසකට සුවසෙත ලබා දුන්හ. තම ගුරු දේවයන් වහන්සේලාගේ අපවත් වීමෙන් විහාරස්ථාන දෙකෙහි ම විහාරාධිපති පදවියට පත්ව එම විහාරස්ථානවලට නව අංග එක් කරමින් රමණීය පුණ්‍ය භූමි බවට පත් කළහ. ශාසනයේ අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීම පිණිස රාජකීය පණ්ඩිත හල්ලල සාසනරතන හිමියන් ඇතුළු වටිනා ශිෂ්‍ය පිරිසක් ද ශාසනයට ලබා දී ඇති සුමනතිස්ස හිමියෝ විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ද ගෞරවය දිනාගෙන සිටියහ. ධර්ම විනයට අනුගත සරල අපිස් පැවිදි ජීවිතයක් ගත කළ උන්වහන්සේ ලොකු කුඩා සෑම දෙනාටම කාරුණික පි‍්‍රයමනාප ලෙන්ගතු ආදර්ශ සම්පන්න මහා යතිවරයාණන් වහන්සේ නමක් වූහ.

තම දායක දායිකාවන්ගේ ආගමික කටයුතු ඉතා කැපවීමෙන් ඉටුකර දීම ද උන්වහන්සේ තුළ තිබූ වටිනා ලක්ෂණයකි. සුමන තිස්ස හිමිපාණන් වහන්සේගෙන් සිදුවන උදාර සේවාව අගය කළ මහනුවර මල්වතු මහා විහාරයේ මහා නායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව මඟින් ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනමා තිබුණි. පහතරට කීර්තිමත් සඟ පරපුරක් වන අගලකට සඟ පරපුර ශෝභාමත් කරමින් පුරා වසර හැත්තෑ එකක උතුම් පැවිදි ජීවිතයක් ගත කළ ජඹුරේගොඩ සුමනතිස්ස නා හිමිපාණන් වහන්සේ 2021.02.01 දින අපවත් වූහ.

උන්වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම් මාලාව මැයි මස 01, 02 යන දිනවල දී පැවැත්විණි.

ජඹුරේගොඩ ශ්‍රී සුමනතිස්ස නා හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා.

****

වේපතඉර චදන්දරතන නා හිමි

මාතර, හක්මන, වේපතඉර ග්‍රාමයේ දී අබේවික්‍රම බමුණුසිංහ කංකානම්ගේ කරුණාවතී මාතාවට සහ අතුකෝරළ ආරච්චිගේ සාමි අප්පුහාමි මහතාට පුත්‍ර රත්නයක් ලෙස සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුක්ත පවුලේ තුන්වැනියා ලෙස 1951 ජූනි මස 15 වන දින අතුකෝරළ ආරච්චිගේ ආරියදාස කුල දරුවා මෙලොව එළිය දුටුවේ ය.

මව්පිය සෙනෙහස හා දයාව ඇසුරෙහි වැඩෙන කුමරු සුදුසු කල අධ්‍යාපනය සඳහා වේපතඉර ගුණසේකර මහා විද්‍යාලයට ඇතුළත් විය. පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම පැවිද්දට ආශා කළ මේ කුල දරුවා වේපතඉර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ පොත්ගුල් මහා විහාරය වෙත පැමිණ පැවිද්දට අවශ්‍ය මූලික වත් පිළිවෙත් ඉගෙන, විහාරාධිපතිව වැඩ විසූ අක්ෂි වෛද්‍ය විශේෂඥ වේපතඉර සාරානන්ද කිරින්දේ සෝමානන්ද යන නාහිමිවරුන්ගේ ශිෂ්‍යවරයකු ලෙස 1964 මාර්තු මස 05 වන දින වේපතඉර චන්දරතන හිමි නමින් පැවිදි දිවියට පත් විය.

නාකියාදෙණිය ශ්‍රී සරණපාල මහ පිරිවෙන කුඹල්වැල්ල ශ්‍රී රේවත මහ පිරිවෙන යන විද්‍යාස්ථාන තුළින් පැවිදි අධ්‍යාපනය ලබා ගාල්ල, බෝගහගොඩැල්ල ශ්‍රී සුදර්ශන පරමානන්ද මහා විහාරයට පැමිණ තත් විහාරාධිපති ගාලු දිස්ත්‍රික්කයේ ද්විතීය අධිකරණ සංඝනායක, ශාස්ත්‍රවේදී පණ්ඩිත ගෝනදෙණියේ හේමාලෝක නාහිමියන්ගේ සහ නාගොඩ, මුලන ශ්‍රී ආනන්දාරාමාධිපති, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ගාලු ගඟබඩ පත්තුව ඇතුළු බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, නියාගම චන්දවිමල නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1973 මැයි මස 18 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබා ගත්හ.

රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව දෑ අවුරුදු ගුරු පුහුණුව නිම කරමින් ප්‍රවීණාචාර්යවරයකු බවට පත් වූ උන්වහන්සේ 1987 වසරේ දී උඩුගම විද්‍යා නිකේතන පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස පත් වූහ. 1987 ඔක්තෝබර් මස 18 දින මුලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ධූරයට පත්ව එම විහාරස්ථානයට විදුලිය සහ දුරකතන පහසුකම් ලබාදීම, ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම ආදී විහාරස්ථානයේ දියුණුවට වටිනා සේවාවක් සිදු කළහ. 1990 වසරේ දී මාතර වෙහෙරහේන සිරි රේවත මහ පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස පැමිණ 1997 වසරේ සිට 2009 ජුනි මස 15 වන දින විශ්‍රාම යනතෙක් නියෝජ්‍ය පරිවේනාධිපති ධූරයෙහි කටයුතු කළහ.

දඹදිව බුද්ධ භූමි වන්දනා කිරීම 2000 වසරේ දී ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කෝට්ටේ සන්තින්ද්‍රිය හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන ගිය දහම් නිකේතනයට වැඩම කොට ධර්ම දූත සේවාවේ ද නිරත වූහ.

පිළියන්දල, වෑවල උද්යෝගිපුර ශ්‍රී විජයාරාමාධිපති ශ්‍රී රෝහණ පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක නාහිමියන්ගේ ආරාධනාවෙන් 2011 ජනවාරි මස 01 වන දින වේපතඉර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ පොත්ගුල් මහා විහාරස්ථානයට පැමිණ විහාරාධීපතිධූරයට පත්ව විහාරස්ථානයට නව ජීවයක් ලබා දීමට චන්දරතන නාහිමියෝ සමත් වූහ.

පැවිදි දිවියට ඇතුළත්ව පනස් හත් වසරක් ද උපසම්පදාවෙන් 47 වසරක් ද උපතින් වසර 70 වක් ද සපුරණ අප නායක මාහිමියන් වහන්සේ පරෝපවාද රහිත නිකැලැල් භික්ෂු ජීවිතයක් ගත කරන සංඝ සෝභන ගුණයන්ගෙන් හෙබි මහ තෙර නමකි. වේපතඉර චන්දරතනාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.

****

වෛද්‍යාචාර්ය කර්මාචාර්ය සාමවිනිසුරු බෝගමුවේ ඉන්දරතන හිමි

අපවත් වී වදාළ ස්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය තෝරදෙණිය වෙද පන්සලේ විහාරාධිපති හිටපු පරිවේනාචාර්ය වෛද්‍යාචාර්ය සාමවිනිසුරු බෝගමුවේ ඉන්දරතන හිමියෝ සුපේශල ශික්ෂාකාමි ධර්ම ධර, විනය ධර සමාජශීලී තෙර නමකි.

අස්ගිරිය මහා විහාරයීය සමාජ සත්කාර පදනමේ නිර්මාතෘ වූ ඉන්දරතන හිමි එම පදනම මුල්කරගෙන ආගමික, ශාසනික, දහම් අධ්‍යාපනික, ආයුර්වේද සංරක්ෂණ හා විවිධ සමාජ සත්කාර සේවාවන් රැසක් ඉටුකර මහජන සෙත සලසා ඇත. තවත් විශේෂතාවයක් වූයේ මහනුවර ඇසළ මහා පෙරහර සමයේ දවල් පෙරහර දින ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයේ පවත්වන ලද දන්සලයි. සුනාමි ව්‍යසනයට පත්වූ අයට පින් අනුමෝදන් කිරීම් වස් දෙසැම්බර් මස ශ්‍රී දළදා මාලිගාවේ මහා දළදා පූජාවක් පවත්වා මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීම ද අඛණ්ඩව සිදු කළහ. උන්වහන්සේ ශාසනිකව සිදුකරන ලද සේවාවන් විශාල ය. ශ්‍රී දළදා සමිඳු උදෙසා අවස්ථා ගණනාවක දී ම දළදා සමිඳු තේවාව සිදුකර ඇති අතර කඨින පින්කමේ ආනිසංශ මැයින් පොත් පිංච ගණනාවක් එළි දක්වා ඇත. මහනුවර මහ රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් සංග්‍රහ කිරීමත්, පාසල් දරු දැරියන්ට පාසල් පොත් පත් උපකරණ ලබාදීම, ආයුර්වේද වෛද්‍ය සායන පවත්වා රෝගීන්ට ප්‍රතිකාර සැලසීම වැනි වෛද්‍ය සේවාවන් ද නිරෝගිමත් ගිහි සමාජයක් ඇති කිරීමට කටයුතු කරන ලද මහනුවර ගඟවට කෝරළයේ ආයුර්වේද

සංරක්ෂණ සභාවේ සභාපති වශයෙන් ඉන්දරතන හිමිගේ වෛද්‍ය සේවය අගය කළ ආයුර්වේද සංරක්ෂණ සභාව අවුරුදු ගණනාවක්ම ඉන්දරතන හිමි එහි සභාපති පදවියට නිතරගයෙන් පත් කර ගන්නා ලදී. සිය ජීවන ගමනේ දසත හතරක පමණ කාලයක් තිස්සේ සිදුකරන ලද පින්කම්වල පින්බලයෙන් ඉන්දරතන හිමිපාණන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

පොසොන්
අව අටවක

ජූලි 01 බ්‍රහස් අ.භා 14.01 අව අටවක ලබා 02 සිකුරා අ.භා 15.28 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]