[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සිය විසිඅට වසරක් සපිරුණු මාතර මහා මන්තින්ද පිරිවෙන් පින්බිම (1893-2021)

එක්සිය විසිඅට වසරක් සපිරුණු මාතර මහා මන්තින්ද පිරිවෙන් පින්බිම (1893-2021)

එක්සිය විසි අට වසරක් ප්‍රෞඪ වූත්, අභිමානවත් වූත් දිගු ඉතිහාසයකට උරුමකම් කියන දකුණු ලක අද්විතීයතම තක්සලාව වන්නේ මාතර මහා මන්තින්ද පිරිවෙන් විදු බිමයි......

යම් ආයතනයක් අඛණ්ඩ ව ශතාධික කාලයක් අතිශය සාර්ථක මට්ටමකින් පවත්වා ගෙන ඒම භාරධූර මෙන් ම ආශ්චර්යවත් කරුණකි. ආදි කර්තෘ යතිවරයන් වහන්සේලාගේ අකලංක චේතනාවත්, අප්‍රතිහත ධෛර්යයත්, කැපවීමත් යන කරුණු එක්තැන් කොට බැලූ විට එම ආශ්චර්යවත් කරුණේ රහස අවබෝධ කර ගැනීම උගහට නොවේ. මෙම අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය ආරම්භ කොට 2021 ජුනි 23වන දිනට වසර 128ක් සපිරෙන අතර එහි ආරම්භය, විකාශනය හා වත්මන පිළිබඳ සංක්ෂිප්ත ආවරණයක් කිරීම මෙහි ලා අරමුණයි.

18වන සියවසේ අගභාගය යනු කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ධර්ම ශාස්ත්‍රීය ආලෝකය හොඳීන් වැටී තිබුණු අවධියකි. එහෙත් දකුණු රට තත්වය ඊට හාත්පසින් ම වෙනස් විය. දකුණු රට අඳුරට ගොස් තිබූ යුගයක් විය. මෙකී තත්වය හමුවේ දකුණුලකට ධර්ම ශාස්ත්‍රීය ආලෝකය ලබා දෙන තක්සලාවක අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. මෙම යුගය වන විට පෑලියගොඩ විදුලකර පිරිවෙනින් අධ්‍යාපනය ලබා, තත් පිරිවෙනෙහි ම කීර්තිමත් ආචාර්යවරයකු වශයෙන් කටයුතු කොට දකුණු රටට වැඩම කොට සිටි දක්ෂ, තරුණ හිමිනමක් විය. උන්වහන්සේ නමින් “වාදිභසිංහ බැදිගම ශ්‍රී රතනපාල නාහිමිපාණන් වහන්සේ වූ හ.

මෙම දක්ෂ, උගත්, තරුණ හිමිනම එවකට වැඩ සිටියේ දික්වැල්ල “තැනුම්පත” නම් රජමහා විහාරස්ථානයේ ය. එවකට මාතර ප්‍රදේශයේ සිටි “අංගනෙත්තා සුසානා ඉලංගකෝන් පිලිප් පණ්ඩිතරත්න” හාමු මැතිණිය ප්‍රමුඛ මහ මැතිඳු මඩුල්ලක් එහි ගොස් දකුණුලකට පිරිවෙනකට අවශ්‍යතාවක් ඇති බැවින් එය මාතර නගරය ආසන්නයේ ආරම්භ කිරීමට උන්වහන්සේට ආරාධනා කරන්නට වූහ. එම සුවිශේෂී ආරාධනාව බැදිගම ශ්‍රී රතනපාල නම් තරුණ, කාර්යශූර භික්ෂුන් වහන්සේ සතුටු සිතින් භාර ගත්හ.

ඒ අනුව 1883 ජුනි 23 වැනි දිනට යෙදුණු සුබ මොහොතින් මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය එවකට සිටි මහා මැතිඳුන්ගේ ඇරයුමෙන් ආරම්භ විය. එසේ මහා මන්ත්‍රීශ්වරුන්ගේ ආරාධනාවෙන් ආරම්භ වූ හෙයින් ම “මහා මන්තින්ද” යන නාමය ඊට තබන්නට විය.

එසේ ආරම්භ වූ මෙම විදුබිම සුවිශේෂී යුග ගණනාවක් පසු කරන්නට විය.

වාදීභසිංහ බැදිගම ශ්‍රී රතනපාල නාහිමිපාණන් වහන්සේගේ යුගය (1883 - 1917), බඹරැන්දේ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ යුගය (1917 -1949), කඹුරුපිටියේ ශ්‍රී බෝධිගුත්ත නාහිමිපාණන් වහන්සේගේ යුගය (1949 - 1987), ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේගේ යුගය (1987 - 2016), තිස්සමහාරාමයේ ඉන්දානන්ද මාහිමිපාණන් වහන්සේගේ වත්මන් යුගය

(2016 සිට.....)

ආරම්භයේ සිට පසු කළ සෑම යුගයකම වැඩ සිටි එම යුග පුරුෂයන් වහන්සේලා තම යුතුකම හා වගකීම මැනවින් ඉටු කළේ තමාගේ දෙවන පෙළ නායකත්වයට ද ආදර්ශවත් වෙමිනි. මේ යුග අතර මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති ව වැඩ සිට අපවත් වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රාචාර්ය ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේගේ යුගය සුවිශේෂී වේ. ඊට හේතුව වන්නේ ආදි කර්තෘන් වහන්සේලා ආරම්භ කළ මෙම පින් බිමේ ස්වර්ණමය යුගය බිහිකරන්නේ උන් වහන්සේ නිසාවෙනි. ඒ වෙනුවෙන් උන්වහන්සේ කළ කැපකිරීම් අපමණ ය. එසේ උන්වහන්සේ ආරම්භ කළ අනුර විද්‍යාලය හා අනෙකුත් අධ්‍යාපනික විද්‍යා ආයතන අදට ද දැයෙහි අසරණ දරුවන්ට පිහිට වන්නේ උන් වහන්සේ සිදුකළ අධ්‍යාපනික මෙහෙවරට තව තවත් සාක්ෂි දරමිනි. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව මෙම පින් බිමේ නායකත්වයට පත් වන්නේ දක්ෂ, කාර්යශූර තරුණ හිමි නමකි. ඒ ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ ඉන්දානන්ද මාහිමිපාණන් වහන්සේ ය.

උන්වහන්සේ වර්තමානය වන විට මාතර, කොටුව මිගදාය ධර්මායතනය හා මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය යන ආයතන ද්විත්වයෙහි ම අධිපතීත්වය දරති. එසේම මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයට අනුබද්ධිත අනුර විද්‍යාලයේ සාමාන්‍යාධිකාරී තනතුර හොබවනු ලබන්නේ ද උන් වහන්සේම ය.

එසේ ම වර්තමානය වන විට උන්වහන්සේ ආදි කර්තෘන් වහන්සේලාට නොදෙවනි ව ආගමික මෙන්ම සමාජයීය, අධ්‍යාපනික හා සංස්කෘතික දැවැන්ත මෙහෙවරක් සිදු කරනු ලබති.

මීට අමතරව උන්වහන්සේගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මාර/ මහා මන්තින්ද විද්‍යායතන පිරිවෙනෙහි පැවිදි ගිහි සිසුන් මේ වන විට දහසකට අධික සංඛ්‍යාවක් ද, ඊට අනුබද්ධිත මාර/අනුර විද්‍යාලයෙහි දූ පුතුන්, දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ද අධ්‍යාපනය ලබති. එසේම මෙම විදු පියසෙන් ලොවට දායාද කළ පඬිරුවන් අපමණ ය.

තවද මහා මන්තින්දයට එක්සිය විසිඅට වසරක් සපිරෙන මේ මොහොතේ සිහිපත් කළ යුතුම පිරිසකි. ඒ අනුව අපවත් වී වදාළ ආදි කර්තෘන් වහන්සේලා, කෘත්‍යාධිකාරීන් වහන්සේලා, පරිවෙණාධිපතින් වහන්සේලා හා මෙය ගොඩනඟන්නට ඇප කැප වී අභාවප්‍රාප්ත මහා මන්ත්‍රීශ්වරුන් ආදී සියල්ලෝ ම සිහිපත් කරන්නේ පුණ්‍යානුමෝදනා පූර්වකවයි.

එක්සිය විසිඅට වසරක් අනභිබවනීය ලෙස දකුණුලක අභිමානවත් තක්සලාව වෙමින් වොරැඳුණු මහා මන්තිදු විදු බිම තව තවත් ශතාධික කාලයක් යෙහෙන් වැජඹේවා යැ’යි පතමි.

(2021 ජුනි 23වන දිනට එක්සිය විසිඅට වසරක් සපිරීම නිමිත්තෙන් පළ කරන්නකි)


මහා මන්තින්ද ආචාර්ය මණ්ඩලය


මන්තින්ද කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම

  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]